ජනපතිතුමනි, සරෝජනීට අත්වූ ඉරණම තවත් මවකට සිදු නොවන්න වග බලාගන්න
කිරිමැටියේ කුසලානන්ද හිමි

මේ රටට විදේශ විනිමය ලබාදෙන දහස්‌ ගණනක්‌ විදේශ ගතවෙලා ඉන්නවා. මියගොස්‌ සිටි සරෝජිනීත් ඉන් එක්‌ අයෙක්‌. ඇය සිය සැමියා හා එකම පුංචි පුතාගේ ජීවිත සැපවත් කිරීමට මීට වසරකට පෙර සෞදි රටට ගියා. කිසියම් හේතුවකින් ඇය එහිදී මියගොස්‌ තිබෙනවා. එවැනි දිරිය මවක්‌ අකාලයේ මියයැම අභාග්‍යයක්‌. හෙට දින තවත් මවකට එවැනි සිද්ධීන් වීමට ඉඩ නොතබන ලෙසට මහා සංඝරත්නය ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පුංචි කනිෂ්කට මවකගේ සෙනෙහස අහිමිවෙලා. ඒ නිසා ගම්මුන්ගේ වගකීම ඔහුට මවක්‌ හා පියෙකු වීමයි. ඒක ලොකු පිනක්‌. අපි කාටත් සරෝජිනි අද යන ගමන වගේ ගමනක්‌ යන්නට වෙනවා. ඒ නිසා අපේ යුතුකම හා වගකීම විය යුත්තේ ඇයට පින් පමුණුවා ලබන ආත්මයේ අකල් මරණයකට පත්වීම වැළැක්‌වීම" යෑයි බඹරගස්‌වැව විජය

ශ්‍රී ධම්මාරාමයේ විහාරාධිපති පූජ්‍ය කිරිමැටියේ කුසලානන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ මීට මාස හතරකට පමණ පෙර සෞදියේ දී හදිසි අනතුරකින් මියගිය ගලේවෙල, බඹරගස්‌වැව, හීන්නපිටියාය පදිංචිව සිටි සේපාලිකා සරෝජිනී (35) නමැති අයගේ අවසන් කටයුතු සඳහා වැඩම වීමෙන් අනතුරුව පසුගිය 4 දා පැවැති අවමංගල්‍ය උත්සවයේ දීය.

පසුගිය 2012.07.18 වැනිදා සේපාලිකා සරෝජිනී යන අය සිය ආදරණීය සැමියා හා මොරගොල්ල මැදි විදුහලේ 2 වසරේ ඉගෙනුම ලබන කනිෂ්ක නෙත්සර බණ්‌ඩාර (7) තනිකර සෞදියේ රියාද් නගරයට රැකියාවකට ගියේ ඉසුරුමත් අනාගතයකට සිහින දකිමින්ය. නමුත් පසුගිය ජුනි 13 වැනිදා ලැබුණ කනගාටුදායක පුවතකින් ඇගේ සැමියාගේ හා පුංචි පුතුගේ සිහින මාලිගා බිඳ වැටිණි. ඇය පිළිස්‌සී මියගොස්‌ ඇති බවට ඔවුන්ට තොරතුරු ලැබිණ. නමුත් පසුගිය 3 වැනිදා දක්‌වා ඇගේ මළසිරුරු මෙරටට ගෙන්වා ගැනීමට සැමියා වන ආර්. එච්. ජයතිස්‌ස බණ්‌ඩාරට නොහැකි විය. අවසානයේ දී "දිවයින" ඇතුළු මුද්‍රිත මාධ්‍ය කිහිපයක්‌ මගින් සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු පසුගිය තුන්වැනිදා සරෝජිනීගේ මෘත දේහය සීල් කළ පෙට්‌ටියකින් ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවිය. එහිදී මාධ්‍යවලින් සිදුව මෙහෙය ගැන අවමංගල්‍ය උත්සවයේ දී පැවැත්වූ කතාවලදී පැසසුමට ලක්‌විය.

එහිදී ඉබි හාමිනේගම ශ්‍රී බෝධිමළු විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කැකිරියේ හිමියෝද අනුශාසනාවක්‌ කළ අතර මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න (එජාප) මහතා ඇතුළු කීප දෙනෙක්‌ කතා කළහ.

මෙවැනි අවස්‌ථාවකදී විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නියෝජනය කරමින් කිසිම නියෝජිතයකු නොපැමිණීම හා සරෝජිනී මියගිය අයුරු අනාවරණය නොවීම රහසක්‌ වීම ගැන රැස්‌ව සිටි බොහෝ පිරිසකගේ කතාබහට ලක්‌වී තිබිණි.

පසුගිය 4 වැනි දින මළහිරු පතිත වෙද්දී සේපාලිකා සරෝජිනි බඹරගස්‌වැව පොදු සුසාන භූමිය වෙත සීල් කළ පෙට්‌ටියකින් පිය මැන්නේ සිය සැමියා ඇතුළු ඥතීන්ගේ කර මතිනි. ඒ හීන්නපිටියාය ඇතුළු අවට ගම්වාසීන් විශාල පිරිසක්‌ හඬවමින්ය.



ගලේවෙල විශේෂ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.