මීරිගම ලෑන්ක්‌ෂයර් විශ්ව විද්‍යාලය පිහිටුවීම ජනපති හා චාල්ස්‌ කුමරු අතින් අරඹනවා
ඇමැති එස්‌. බී. දිසානායක

නිදහස්‌ අධ්‍යාපනයට පහසුකම් සැලසීමට පෙර පෞද්ගලික විශ්වවිද්‍යාල කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසු නැහ
අකිල විරාඡ් කාරියවසම්

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්‌ ඉදිකිරීම සතුටක්‌
ඇමැති ලසන්ත අලගියවන්න

අධ්‍යාපනය උකස්‌ කරන ආණ්‌ඩුවක්‌
අනුර කුමාර දිසානායක

කුෂාන් සුබසිංහ -අජිත් අලහකෝන්

මිරිගම ලෑන්ක්‌ෂයර් විශ්ව විද්‍යාලය පිහිටුවීම පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව අවස්‌ථාවේදී ජනාධිපතිවරයා සහ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු අතින් ආරම්භ කරන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළ ගැසට්‌ නිවේදනය අනුමත කිරීම සඳහා පැවැති විවාදයේදී ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (09) පස්‌වරු 1.00 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා ලිපිලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණි. එම නිවේදනය ඉදිරිපත් කරමින් ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

රටේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ඉතා වැදගත් ආයෝජනයක්‌ ලෙස මීරිගම අපනයන කලාපයේ ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ ගැසට්‌පත්‍රය ඉදිරිපත් කළා. රටක ආයෝජනයන් ශක්‌තිමත්ව ඇති කිරීමට එරටේ දේශපාලන ස්‌ථාවරභාවය වැදගත්. මුළු ලෝකයේම රටවල් සමග සැසඳුවාම හොඳ දේශපාලන ස්‌ථාවරයක්‌, සාමයක්‌ වගේම ඉහළ මට්‌ටමේ යටිතල පහසුකම් අප රටේ තිබෙනවා. ආයෝජකයකුට ඉතා ඉක්‌මනින් මාස දෙකක්‌ තුළ අනුමැතිය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. අද ආණ්‌ඩුව ශක්‌තිමත්. ඒත් කනගාටුව විපක්‍ෂය දුර්වල මට්‌ටමක පැවතීමයි. යුද්ධය අවසන් වූ වහා උතුරේ ඡන්දය පැවැත්වූවා නම් ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රමාණය අඩුවෙන්න තිබුණා. වසර හතරක්‌ තුළ අවතැන්වූවන් යළි පදිංචි කරවලයි අපි ඡන්දය පැවැත්වූයේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පෙළපාළියකින් පන්දහසක්‌ පමණ ඇවිත් ජනාධිපතිවරයාට පෙත්සමක්‌ භාරදීමේ හැකියාව අද තියෙනවා. ඒත් දෙවුන්දර සිට මාතරට පෙළපාළියකින් එන්න විපක්‍ෂය ඉඩ දෙන්නේ නෑ. අද විපක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නෑ.

වසරකට මෙරට දරු දැරියන් 16,500 ක්‌ උසස්‌ අධ්‍යාපනය සඳහා වෙනත් රටවලට ඇදී යන බව ඔබ දන්නේද? මෙහි වඩාත් බරපතළ කරුණ වන්නේ මෙම ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යාමයි.

එම ප්‍රමාණය 2006 වසර තුළ 11042 ක්‌ද, 2007 වසර තුළ 12975 ක්‌ද, 2008 දී 15270 ක්‌ද, 2009 දී 16195 ක්‌ද, 2010 දී 16510 ක්‌ බවට යුනෙස්‌කෝ තොරතුරු සඳහන් කරයි.

අපි දන්නවා යටත් විජිත සමයේ සිට මෙරට ප්‍රභූවරුන්ගේ දරුවන් හා ධනපති පංතියේ දරුවන් එක්‌සත් රාජධානිය, ඇමරිකාව වැනි දියුණු රටවල අධ්‍යාපනයට යොමු වුණා. එහෙත් මේ වනවිට මෙම පිරිසට වඩා වැඩි ප්‍රමාණයක්‌ මෙරට රජයේ රැකියාවන්හි නිරතවූවන්ගේ මධ්‍යම පාංතික දෙමාපියන්ගේ දරුවන් බොහෝ විදේශ විශ්වවිද්‍යාලවල උසස්‌ අධ්‍යාපනය සඳහා යොමුවනවා.

ඔවුන් වැඩිපුරම අසල්වැසි ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව, රුසියාව වැනි රටවලට ඇදී යන බවක්‌ පෙනී යනවා.

මේ නිසා මෙරට මුදල් විශාල ප්‍රමාණයක්‌ මෙරටට අහිමි වනවා. වසරකට වෛද්‍ය විද්‍යාව සඳහා දරුවන් 1000 ක්‌ පමණ පිටරටට යන බව ගණන් බලා තිබෙනවා. ඔවුන් උපාධිය හදාරන වසර 5 තුළ රු. මිලියන 9945 ක්‌ එම රටවලට ඔවුන්ගේ ගාස්‌තු ලෙස ගෙවනවා. අනෙක්‌ උපාධීන් සඳහා වසරකට පිටත්වන 15000 ක්‌ පමණ දරුවන් ඔවුන්ගේ වසර 3 ක කාලය සඳහා රු. මිලියන 135000 ක්‌ පමණ මෙරටට අහිමි කරනවා.

ඒ අනුව උසස්‌ අධ්‍යාපනය සඳහා වසරකට මෙරටින් පිටරට වලට යන දරුවන් 16000 ක්‌ දෙනා රු. බිලියන 145 ක්‌ එනම් ඇ. ඩො. බිලියන 1.1 ක්‌ මේ රටේ මුදල් පිටරටට ලබා දෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ උසස්‌ අධ්‍යාපනයේ සැඟවුණු සත්‍යය.

යම් ප්‍රමාණයක හෝ ශක්‌තියක්‌ ඇති මධ්‍යම පාංතික දෙමාපියන් තමුන්ගේ තිබෙන දේපල විකුණා හෝ දරුවන්ට උසස්‌ අධ්‍යාපනය ලබාදීමට පෙළඹෙනවා.

එවැනි හැකියාවන් නොමැති දෙමාපියන් කුමක්‌ කරන්නද? ඔවුන් ජීවිතයේ ඉතිරි කොටස ගෙවන්නේ තම දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් කළ නොහැකි වූවන් ලෙස විශාල මානසික පීඩනයකින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම තුළින් මෙරට නිදහස්‌ අධ්‍යාපනයට කිසිදු බලපෑමක්‌ ඇති නොවිය යුතුය. ඒ තුළින් නිදහස්‌ අධ්‍යාපනය තුළ අතරමං වන දරුවාට ගොඩ ඒමට මගක්‌ සැකසිය යුතුය. මහා බ්‍රිතාන්‍ය 5 වැනි විශාලතම විශ්වවිද්‍යාලය වන සෙන්ට්‍රල් ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය ඔවුන්ගේ ශාඛාවක්‌ මෙරට පිහිටුවීම සැබවින්ම කාලීන අවශ්‍යතාවයක්‌ සපුරා දීමක්‌. ඔවුන් මේ තුළ දරුවන් 10,000 කට අධ්‍යාපන පහසුකම් ලබාදෙනවා. ඉන් 4000 ක්‌ මෙරට සිසුන්. මේ අනුව වසරකට 16,000 කට අධික දරුවන් ප්‍රමාණයක්‌ විදෙස්‌ රටවලට යන අතර ඉන් 4000 ක්‌ පමණ මෙරට රඳවා ගැනීමට හැකිවීම සතුටට කරුණක්‌.

සෙන්ට්‍රල් ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය මහා බ්‍රිතානයේ සිසුන් 35,000 කට අධ්‍යාපනය ලබා දෙනවා. ඔවුන්ගේ චීනයේ ඇති ශාඛාවේ සිසුන් 3000 ක්‌ අධ්‍යාපනය ලබයි. සයිප්‍රසයේ ඇති ශාඛාවේ 500 ක්‌ අධ්‍යාපනය ලබයි. දකුණු ආසියාව තුළ ඔවුන්ගේ ප්‍රථම ශාඛාව මෙරට පිහිටුවීම වඩා වැදගත් වනවා.

ශ්‍රී ලංකාවේ මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා මීරිගම ප්‍රදේශයේ අක්‌කර 120 ක භූමියක්‌ ලබාදී තිබෙනවා. ඒ සඳහා ඔවුන් ඇ. ඩො. මිලියන 100 ක මුදලක්‌ ආයෝජනය කරනවා. එහිදී සෘජු රැකියා 750 කට වැඩි ප්‍රමාණය බිහිවනවා. මහා පරිමාණ නව විශ්වවිද්‍යාලයක්‌ බිහිවීම තුළින් එම ප්‍රදේශයේ විශාල සංවර්ධනයක්‌ අපේක්‍ෂා කළ හැකියි. ඊට සමගාමීව වක්‍ර රැකියා අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ ජනිත වනවා.

දේශීය දරුවන්ට නොමිලේ ශිෂ්‍යත්ව ලබාදීමට එකඟ වී තිබෙනවා. එසේම මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වලදී වැඩිදුර අධ්‍යයන සඳහා විදේශ විශ්වවිද්‍යාල පහසුකම් ලබාදීමටත් ඔවුන් බලාපොරොත්තු වනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) අකිල විරාඡ් කාරියවසම් මහතා -

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරනවාට අපි විරුද්ධ නෑ. අපි විරුද්ධ මේ විශ්වවිද්‍යාල ඇති කරන ක්‍රමවේදයටයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට දමා ඇඟළුම් කම්හල් වගේ ගෙන ඒම වරදක්‌. මෙහි ප්‍රතිඵලය එතරම් හොඳ වෙන්නේ නෑ. රටේ නිදහස්‌ අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පෙර පෞද්ගලික විශ්වවිද්‍යාල කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසු නෑ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ හැකියාව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට හිමිවන්නේ නෑ. එනිසා වෙනත් රටවල මෙන් පහසු ණය යෝජනා ක්‍රම ඇති කළ යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ගිවිසුම් අත්සන් කරන අවස්‌ථාවේදීම සියයට 20 ක්‌ ශිෂ්‍යත්ව දීමේ කොන්දේසිය ඇතුළත් කළ යුතුයි.

ඉදිකිරීම්, ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා -

බදු සහන ලබා දීමට අනුමැතිය ලබා ගැනීමේ පනත් කෙටුම්පතක්‌ උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඉදිරිපත් කරන්න බැහැ. අධ්‍යාපනයෙන් උසස්‌ තත්ත්වයකට පැමිණ තිබෙන ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළ මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම ගැන සතුටුයි. අධිවේගී මාර්ග පද්ධතිය සමග මීරිගම ප්‍රදේශයට විශාල දියුණුවක්‌ ලැබෙනවා. ගුවන් තොටුපළේ සිට එන අයෙකුට පැය භාගයක්‌ යද්දී විශ්වවිද්‍යාල භූමියට යාහැකි පහසුකම් ලැබෙන නිසා ජාත්‍යන්තර වශයෙන් ඉතාම වැදගත් විශ්වවිද්‍යාලයක්‌ බවට මේ විශ්වවිද්‍යාලය පත්වේවි. විශ්වවිද්‍යාලයේ අධික්‍ෂණ කමිටුව මේ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය ගැන සහතික වෙනවා. අලුත් පාඨමාලා හඳුන්වාදීමේදී මානව සම්පත පිළිබඳ ප්‍රශ්නයක්‌ අපේ රටට තිබෙනවා. එනිසා විදේශ ආචාර්ය මහාචාර්යවරු පැමිණ පාඨමාලා අරඹනවා.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (එජාප) -

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යම් නීතිමය පදනමක්‌ ලබා දීමටයි ආණ්‌ඩුව මේ සැරසෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස නම් නොකර උසස්‌ අධ්‍යාපන ආයතන ලෙස හඳුන්වා දී පසුව ඒවාට උපාධි පිරිනැමීමේ අයිතිය හිමි කර දෙනවා. පිටිපස්‌ස දොරෙන් ගෙනැවිත් ජනතාවට හොරෙන් තමයි මේ දේවල් සිදු වෙන්නේ. මෙවැනි ප්‍රමිතිය නැති උසස්‌ අධ්‍යාපන කඩසාප්පු බොහෝමයක්‌ මේ හරහා රට තුළ ඇති වෙන්න පුළුවනි. රජයේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය අඩුවීමටත් මෙවැනි අධ්‍යාපන ආයතන බලපානවා. අධ්‍යාපනයට සුදුසු ප්‍රමිතිය මේ විශ්වවිද්‍යාල වල නැහැ. ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ වෙනවා යනු සිහිනයක්‌ බවට මේ කාරණා නිසා තහවුරු වෙනවා. උසස්‌ අධ්‍යාපනය ලබන පිරිස සියයට 5 ක්‌ පමණයි අපේ රටේ ඉන්නේ. අපේ රටට අවශ්‍ය මේ වගේ විශ්වවිද්‍යාල නොවේ.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා (එජාප)

පසුගිය උසස්‌ පෙළ විභාගයෙන් සිසුන් එක්‌ ලක්‍ෂ දහනමදහසක්‌ සමත් වුණා. ඒත් විශ්වවිද්‍යාල වරම් ලැබුවේ සිසුන් 26000 ක්‌ පමණයි. වාර්ෂිකව උසස්‌ පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 95000 කට පමණ සරසවි වරම් අහිමි වෙනවා. මෙසේ උසස්‌ පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් නොලැබුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝමයක්‌ විදේශගතවී අධ්‍යාපනය ලැබීමට යනවා. ඒ වගේම තවත් පිරිසක්‌ රටේ වෙනත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හැදැරීමට යොමු වෙනවා. ලංකාවේ තිබෙන හොඳම විශ්වවිද්‍යාලයට ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල හිමිවෙන්නේ

2150 වැනි ස්‌ථානයයි. සෙන්ට්‍රල් ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය ඒ අතින් එහි 1690 වැනි ස්‌ථානයේ පසු වෙනවා. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය ගැන බිය වෙන්න දෙයක්‌ නැහැ.

පත් කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ප්‍රජාස) - රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙහිදී ප්‍රශ්නයකට ලක්‌ වෙනවා. ක්‍ෂිතිජයෙන් එහා පෙනෙන දරුවෙක්‌ නිර්මාණය කරනවා යෑයි ආණ්‌ඩුව පුරාෙ-රු දෙඩුවත් එලොව පොල් පෙනෙන දරුවන් තමයි මේ අධ්‍යාපන ක්‍රමය යටතේ බිහි වෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයට දෙමව්පියන් මෙතරම් වෙර දරන්නේ තම දරුවාට හොඳ පාසලක්‌ ලබා ගැනීමටයි. මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට වැඩියෙන්ම ඉල්ලීම් ලැබෙන්නේ දරුවන්ට හොඳ පාසලක්‌ ලබා ගැනීමටයි. ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම මෙයින් පැහැදිලි වෙනවා. අධ්‍යාපනය උකස්‌ කළ ආණ්‌ඩුවක්‌ තමයි මේ රටේ දැන් තිබෙන්නේ. අරක්‌කු පිටරටින් ගෙන්වන්න ශ්‍රී ලංකාව වසරකට සෑහෙන මුදල් ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව වැය කරනවා. ලෝකය වටා අධ්‍යාපනය සංසරණය වෙනවා. ඇමරිකාවේ දරුවා එංගලන්තයට, එංගලන්තයේ දරුවා ඔස්‌ටේ්‍රලියාවට, ශ්‍රී ලංකාවේ දරුවා එංගලන්තයට යනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් කැරට්‌ අලයක්‌ මේ ගැසට්‌ නිවේදනය මගින් ලබා දීලා තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ටියුෂන් කඩකාරයන් කරන්න එපා. නිදහස්‌ අධ්‍යාපන අයිතිය ආරක්‌ෂා කර ගැනීමට අපි පියවර ගත යුතුයි. අධ්‍යාපනය බුල්ඩෝසර් කරන අධ්‍යාපන ක්‍රමයක්‌ ආණ්‌ඩුව ඇති කරගෙන යනවා. ණය මත යෑපෙන රටක්‌ අපිට උරුම වී තිබෙනවා. ණය මත යෑපෙන ණය මත දුවන අපේ රට ණය අවදානම් තත්ත්වයට පත් වී තිබෙනවා. සියලු සහනාධාර කපා හරින්න සිදු වෙනවා. සෞඛ්‍ය සේවා කපා හැරියා සේ අධ්‍යාපනයත් කපා හරින්න සිදු වෙනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වසන්ත සේනානායක මහතා (එජනිස) - ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලයේ ශාඛාවක්‌ මීරිගම ප්‍රදේශයේ ඇති කිරීමට ආණ්‌ඩුව ගත් තීරණයට එහි ජනතාව වෙනුවෙන් අපගේ ප්‍රණාමය හිමි වෙනවා. අධ්‍යාපනය අතින් අපි එක තැන පල් වෙද්දී ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව එහි ඉදිරියට ගියා. අපිට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. ඒත් අපි මෙතනම ඉන්නවාට ඇතමුන් කැමැතියි. පස්‌ස දොරෙන් කරන වැඩ මේ රජයේ නැහැ. අධ්‍යාපනයට අවමාන කරන අය අවිද්‍යාවෙන් පිරුණු අයයි.

ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා - නිදහස්‌ අධ්‍යාපන පනත හරහා මේ රටේ අධ්‍යාපනයේ ඇති වූ පිබිදීම අති මහත්. අධ්‍යාපනයට එවැනි පරිවර්තනයක්‌ ඇති කළ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා මේ යුගයේ ශ්‍රේෂ්ඨයෙක්‌ ලෙස හැඳින්විය හැකියි. ඒ වගේම සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියත් පාසල් රජයට පවරා ගෙන අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙයක්‌ ඉටු කළා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දැන් ඇති වී තිබෙන තරගය ප්‍රබල වී තිබෙනවා. උපාධිය ලබාගන්නා හැම දෙනාටම රජයේ රැකියා හිමි විය යුතු යෑයි නියමයක්‌ නැහැ. අධ්‍යාපනය අද ජාත්‍යන්තරකරණීය වී තිබෙනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - බාල සිමෙන්ති, බාල පෙට්‍රල්, විෂ සහිත කිරි පිටි සහ බෙහෙත් වැනි දේ මේ රටට දැන් පිළිලයක්‌ වී තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ උඩ මේ විශ්වවිද්‍යාලයේ පිළිගත් මට්‌ටම ගැනත් ජනතාව සාධාරණ බියක්‌ ඇති කර ගනීවි. ස්‌වාධීන කොමිෂන් සභා අධිකරණයට, පොලිසියට, රාජ්‍ය සේවයට ඇති කළ යුතුයි. එක පුද්ගලයකුගේ වුවමනා එපාකම්වලට අනුව රට හැසිරවිය යුතු නැහැ. මෙවැනි විශ්වවිද්‍යාල අප රටට ගෙන එනවා නම් ස්‌වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවකුත් අවශ්‍ය වෙනවා.

සමාජ සේවා ඇමැති ෆිලික්‌ස්‌ පෙරේරා මහතා - මෙය විශ්වවිද්‍යාලයක්‌ නොවේ. උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌. එය වරදවා වටහා ගන්න එපා. අපේ රටේ බිහි වුණු පළමු පෙළ නායකයින් වන ඡේ. ආර්. චන්ද්‍රිකා, ලලිත්, ගාමිණී මේ හැම දෙනාම පාහේ පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරූ බව අමතක නොකළ යුතුයි. පිටරට විශ්වවිද්‍යාල මෙරට තුළ ඇති කිරීමෙන් සංචාරක ව්‍යාපාරයටද පිටිවහලක්‌ සිදු වෙනවා.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඡේ. ශ්‍රී. රංගා මහතා (එජාප) - 1960 දශකයේදී කොළඹ විශ්වවිද්‍යාලය ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් ඉහළ ස්‌ථානයක රැඳී සිටියා. අද ඒ තත්ත්වය සිංගප්පූරුවේ විශ්වවිද්‍යාල ලබාගෙන තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අනිසි බියක්‌ ඇති කර ගන්න එපා.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී හුරෙනස්‌ ෆාරුක්‌ මහතා (එජනිස) - මෙවැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම රටේ සිසුන්ගේ වාසනාවක්‌ ලෙස සැලකිය හැකියි. ඒවා රට පුරා ව්‍යාප්ත වනු දැකීම අපේ අරමුණයි. ඉන්දියාවේ මෙවැනි විශ්වවිද්‍යාල වැඩි ප්‍රමාණයක්‌ තිබෙනවා.

පත් කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා (එජනිස) - අපේ රටේ විශ්වවිද්‍යාල සහ කන්නන්ගර මහතා ස්‌ථාපිත කළ විද්‍යාල ජවිපෙ විසින් විනාශ කළා. දැන් අපි විශ්වවිද්‍යාල පද්ධතියේ පුනරුදයක්‌ ඇති කරමින් සිටිනවා. අප රටේ ජාතික අධ්‍යාපනයට ගුණාත්මක බවක්‌ ගෙන දීම මීරිගම ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාල ව්‍යාපෘතියෙන් සිදුවෙනවා.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා - ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය සඳහා කරන්නේ විශාල ආයෝජනයක්‌. මේ ආයෝජනය වේගයෙන් ඉක්‌මන් කරලා අවශ්‍ය නීතිරීති හදලා පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව අවස්‌ථාවේදී අපේ ජනාධිපතිතුමා සහ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු අතින් ආරම්භ කරනවා.

මේ ලෑන්ක්‌ෂයර් විශ්වවිද්‍යාලය ඇතැම්විට ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයට වඩා ඉහළින් යනවා. මහා බ්‍රිතාන්‍යයේ ජාතික පාපන්දු කණ්‌ඩායම, ක්‍රිකට්‌ සහ ඔලිම්පික්‌ කණ්‌ඩායම මාස ගණනක්‌ නැවතී මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මෙය වාසනාවක්‌.

මේ විශ්වවිද්‍යාලය හරහා අපේ නිදහස්‌ අධ්‍යාපනය ශක්‌තිමත් වෙනවා. පකිස්‌තානය වැනි රටවල දරුවන්ට අද යුරෝපය ඇමරිකාව අහිමිවී යනවා. ඒ දරුවන්ට පුළුවන් වෙනවා මීරිගම විශ්වවිද්‍යාලයට එන්න.

නේවාසිකාගාර හැටක්‌ මේ වසර අවසානයේදී අපේ විශ්වවිද්‍යාලවල ඉදිවෙනවා. අපේ විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිකරන ගමන් අපේ නොවන විශ්වවිද්‍යාලවලටත් පහසුකම් ලබාදෙනවා. තවත් මෙවැනි විදේශ විශ්වවිද්‍යාල පහක්‌වත් ගෙන්වා ගන්නයි අපේ ඉලක්‌කය.

පාර්ලිමේන්තුව අද (10 දා)

පස්‌වරු 1.00 දක්‌වා කල් තැබිණි.

කල් ඉල්ලා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීමට මාසයකට එක්‌ දිනයක්‌

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අසන ලදුව පිළිතුරුදීම සඳහා කල් ඉල්ලා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා මාසිකව එක්‌ දිනයක්‌ ලබා දීමට පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව කල් ඉල්ලා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදී ගොඩ ගැසී ඇති ප්‍රශ්න අවසන් කිරීමට හැකිවන බව පක්‍ෂ නායකයන් මෙම රැස්‌වීමේදී ප්‍රකාශ කර ඇත.

ඇතැම් ඇමැතිවරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට සතියක්‌, මාසයක්‌, මාස තුනක්‌ ආදී වශයෙන් කල් ලබා ගන්නා අතර ඉන්පසු එම ප්‍රශ්න යළි පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් වන්නේ කලක්‌ ඉක්‌ම ගිය පසුවය.

එම නිසා මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තුව මාසිකව රැස්‌වන දින අටෙන් එක්‌ දිනයක්‌ වෙන් කිරීමට පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත.

කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට පක්‍ෂ නායකයෝ එකඟත්වය පළකර ඇත.

කථානායකවරයා විසින් ගත් මෙම ඓතිහාසික තීන්දුව අනුව මන්ත්‍රීවරුන්ට ඉක්‌මනින් සිය ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මේ නිසා කල් ඉල්ලා සිටින ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙනු ඇතැයි මන්ත්‍රීවරුන් සැක උපදවා ගත යුතු නැතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතාද පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.