සෞදි ගිය තිදරු මවගේ මළ සිරුර
මාස පහකට පසු ඥතීන්ට

බෙන්තොට - දර්ශන කරුණාරත්න,
ඌරගස්‌මංහන්දිය විශේෂ - නිශ්ශංක සංජීව

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතවීමට ගිය තිදරු මවකගේ මළ සිරුර මාස 05 කට පසුව සිය ඥතීන් වෙත භාර දී තිබේ. 2013 මැයි මස සිදුවී ඇති බව කියන මෙම මරණය පිළිබඳව ඥතීන් පසු වූයේ දැඩි සැකයකිනි. මෙසේ මියගොස්‌ ඇත්තේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සව්සිරි උයන, මිරිස්‌වත්ත ලිපිනයේ පදිංචිව සිටි දොඩම්ගොඩගේ රේණුකා මල්කාන්ති නමැති 27 හැවිරිදි තිදරු මවකි.



මෙම මියගිය කාන්තාව 2013 මැයි 12 දින සෞදි අරාබියාව බලා පිටත්ව ගොස්‌ ඇත. ඇය ගල්කිස්‌ස ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක ආධාරයෙන් මෙම ගෘහ සේවයට ගොස්‌ තිබේ. මියගිය රේණුකා මල්කාන්තිගේ සැමියා වන හල්තොටගේ ජයම්පති ප්‍රියදර්ශන (34) යන අය විසින් පවසා සිටි පරිදි සිය බිරිඳගේ මරණයට හේතුව සැක සහිතය. ඇය තම සැමියා වෙත මැයි මස 15 දා ලබා දුන් දුරකථන ඇමතුමට අනුව තමන් සේවය කරන නිවසේ දෙදෙනකු තමාට හිරිහැර කරන බවත් ඒ නිසා තමා ව කඩිනමින් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා තිබූ බව සඳහන් වේ.

ඇයගේ මරණය සම්බන්ධව සැක පවතින අතර මියගිය රේණුකා මල්කාන්තිගේ ඥතීන් වෙත ඔක්‌තෝබර් මස 10 දා පෙරවරුවේ මළ සිරුර භාරදී තිබේ. "දිවයින" මගින් 2013.05.30 දින මෙම පුවත වාර්තා කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.