වැසි වනාන්තර අතරින් ගලායන
සුන්දර ඇමසන් නදිය

ඇමසන් ගංගාව ලෝකයේ ඇති ගංගා අතරින් දෙවැනි තැන දිනා ගන්නා ගංගාවයි. එය දෙවැනි වන්නේ නයිල් ගංගාවට පමණකි. ඇමසන් ගංගාව දකුණු ඇමරිකාවේ අන්දිස්‌ කඳු පාමුලින් පටන්ගෙන දැවැන්ත ඇමසන් නිම්නය හරහා ගලා බසිමින් සැතපුම් 4000 ක්‌ ගෙවා දකුණු ඇමරිකාවේ බටහිර වෙරළින් අත්ලාන්තික්‌ මුහුදට ගලා බසී.

ලංකාවේ දිගම ගඟ වන මහවැලි නදියේ දිග සැතපුම් 206 කි. ඒ හා සමකරන විට ඇමසන් ගඟ මොන තරම් දිගු ගමනක්‌ යන්නේදැයි ඔබට සිතා ගත හැකියි.

මේ දුර ප්‍රමාණය විවිධ දේශගුණ තත්ත්වයන්ගෙන් යුතු වන අතර ගංගාවේ පළල ද බොහෝ තැන්වලදී වෙනස්‌ වෙයි. ඇතැම් තැන්වල දී ගඟ සැතපුම් 6 ක්‌ පළල වෙයි. තවත් තැනකදී සැතපුම් 24 ක්‌ වන අතර ගංගාව අත්ලාන්තික්‌ සයුරට වැටෙන මායිමේ දී එහි පළල සැතපුම් 150 ක්‌ පමණය.

ගඟෙහි ඇතැම් තැන්වලදී එක්‌ ඉවුරක සිට අනික්‌ ඉවුර නොපෙනෙන තරම් ගඟ පළලය. මේනිසා ප්‍රදේශවාසීන් ඇමසන් ගඟ හඳුන්වන්නේ සාගර ගංගාව River Sea යනුවෙනි.

මුලින් සඳහන් කළ පරිදි දේශගුණික තත්ත්වයන්හි විවිධත්වයක්‌ දක්‌නට ලැබෙනවා. කි.මී. 1 ක්‌ යනතුරු වියළි දේශගුණයක්‌ හරහා ද, කි.මී. 40 කින් පසු වැසි සහිත සිසිල් දේශගුණයක්‌ හරහා ගඟ ගලා බසිනවා.

ගඟෙහි ආරම්භය වන්නේ සේරු ප්‍රදේශයේ කඳු යාය වන Peruvian Andes පෙරුවියන් අන්දිස්‌හි සිටයි. මෙම කඳු මුඳුන් ජාතික භූගෝල විද්‍යා සංගමය විසින් නම් කරනු ලැබුවේ නිවේඩා මිස්‌මි Neveda Mismi යනුවෙනි. එම කඳු මුදුන් හිමවලින් වැසී ඇති ඒවා.

නැගෙනහිර පේරු දේශයෙන් උකායලි Ucayali ගඟද, අපරිමැක්‌ ගඟ Aparimac එකතුවීමෙන් අනතුරුව එය මැරන්මන් Maranan ගඟ හා යාවී ඇමසන් ගඟ නිර්මාණය වෙනවා.

මේ අතර තවත් සිය ගණන් ජලධාරා මේ ගඟ හා එකතු වෙනවා. ගඟ ගලා බසින ඇමසන් තටාකය Amazon lsasin බ්‍රසීලය, පේරු, කොළොම්බියාව, වැනිසියුලාව හා බොලිවියාවට මැදිවී තිබෙන දැවැන්ත නිම්නයක්‌. මෙහි වපසරිය වර්ග කි.මී. මිලියන 2.5 ක විශාල එකක්‌.

ලෝකයේ ඇති අනෙකුත් ගංගාවලට වඩා විශාල ප්‍රමණයක්‌ අතු ගංගා ඇමසන් ගඟ හා එකතු වෙනවා. එයින් අතු ගංගා 13 ක්‌ දැනට හඳුනාගෙන තිබෙනවා. එම අතු ගංගා කි.මී. 966 සිට කි.මී. 3211 දක්‌වා දිග ප්‍රමාණය වෙනවා.

ඉන් දිගම අතු ගංගා දෙකක්‌ වන්නේ පේරුස්‌ කි.මී. 3211 හා ජාපුරා Japura කි.මී. 2414 යන ගංගා දෙකය.

ඇමසන් ගංගාව ලොව ඉතා පිරිසිදු ජලයෙන් යුක්‌ත ගංගාවක්‌ ලෙස නම් දරයි. එහෙත් මුහුද ආසන්නයට එත්ම එම ජලය මඩ සහිත වර්ණ ස්‌වරූපයක්‌ ගනී. එයට හේතුව වී ඇත්තේ ගංගා දෙපස වූ ඇළ මාර්ගවලින් අපවිත්‍ර දේ ගංගාවට එකතු වීමයි.

ඇමසන් ගංගාව ගලා බසින ඇමසන් නිම්නය ඉතා අධික සීතල දේශගුණයක්‌ ඇති ප්‍රදේශයක්‌. වැසි අධික කාලයේදී එහි ගංගා ඉවුරු වැසි ජලයෙන් පිරී යයි. එවිට අඩි 50 ක්‌ තරම් උසට දෙගොඩ තලා ගලන ජලයෙන් ගම් බිම් යටවී යයි.

එම අධික වැසි සහිත කාලය ආරම්භ වන්නේ මැයි මස මැද හරියේ සිට දෙසැම්බර් මස අවසානය දක්‌වාය.

ඇමසන් ගංගාව දෙගොඩ තලා ගලා යමින් ඒ දිනවලදී තරමක හානියක්‌ සිදු කළද විශේෂිත යහපත් දෙයක්‌ද ඉටුකරයි. එනම් ගඟ දැලෙහි පවතින අපවිත්‍ර ද්‍රව්‍ය සෝදා පවිත්‍ර කරන අතර රොන් මඩ එහි තැන්පත් කරමින් ගොවිතැනට සුදුසු සරුසාර බිමක්‌ බවට එම බිම් සකස්‌ කර දීමයි ඒ.

වසර දහස්‌ ගණනක ඈත අතීතයේ සිට මෙහි සිටින ප්‍රදේශවාසීන් තම ජීවනෝපාය වශයෙන් කෘෂිකර්මාන්තය ප්‍රධාන කොටගෙන වීම නිසා එය ඔවුන්ට මහඟු උදව්වක්‌ වෙයි.

ඒ අතර ලාභදායී හා එකම ප්‍රවාහන කාර්යද මේ ප්‍රදේශයෙන් ඉටුකරනු ලබන්නේ ඇමසන් ගංගාව විසිනි. ගඟ දෙපස පිහිටුවා ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ද්‍රව්‍ය නගර දක්‌වා ප්‍රවාහනය කරන්නේ ගංගා මාර්ගයෙන්. ඒවා අතර දැව කෘෂිකාර්මික අස්‌වැන්න හා විවිධ ඛනිජ වර්ගද තිබෙනවා.

ඇමසන් වැසි වනාන්තර තුළ පවත්වාගෙන යන රන් ආකර කර්මාන්තයද සඳහන් කළ යුතු එකක්‌. ගං පතුලෙන් ලබාගත් වැලි තාච්චිවල දමා ගැරීමෙන් රන් කුඩු සොයා ගැනීම පළපුරුදු කම්කරුවන් විසින් කළ යුතු කාර්යයක්‌ වෙනවා.

ඇමසන් ගංගා තීර විවිධ වර්ගයේ සතුන්ගෙන් ගහනයි. ඔවුන්ගෙන් සමහර සතුන් අනතුරුදායක සතුන්. ඒ අතර විශාල ඩොල්ෆින්ලාද, දිය බල්ලන්ද වෙනවා.

විවිධ කර්මාන්තවල නියෑළී සිටින ජන කොටස්‌ මේ ගං තීරයේ වාසය කරනු දැකිය හැකියි. එයින් සමහර දෙනෙක්‌ එහි පවතින සීතල දේශගුණය දරා ගැනීමට නොහැකිව මිය යන අතර ඇතැමෙක්‌ එහි පවතින ජීවන ක්‍රමයට හැඩ ගැසී තම කටයුතුවල යෙදෙනු දැකිය හැකියි.

ඇමසන් වනාන්තර ආශ්‍රිතව 1000 කට අධික ගෙඹි වර්ග දක්‌නට ලැබෙනවා. මිහිමත ඉන්නා ඉතා විෂ සහිත ගෙම්බන් ඒ අතර සිටිනවා.

මෙම වනාන්තරවල දැවැන්ත සිරුරු සහිත ක්‍ෂීරපායි සතුන් 10,000 කට අධික ප්‍රමාණයක්‌ වාසය කරන බව සොයාගෙන තිබෙනවා. 1500 ක්‌ පමණ කුරුලු වර්ගද 3000 ක්‌ පමණ මත්ස්‍ය වර්ගද ඇමෂන් ගඟ හා ඒ ආසන්න වැසි වනාන්තරවල ජීවත් වෙනවා.

පේරු, ඉන්කා වැනි ඉතා පෞරාණික මනුෂ්‍ය ගෝත්‍රික කොටස්‌ද ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙනවා. විශේෂයෙන් ඉන්කාවරුන්ගේ ශිෂ්ටාචාරය ඉතා ඈත අතීතය දක්‌වා දිව යන එකක්‌.

Ö ලීලානන්ද වික්‍රමසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.