අපේ වෙදැදුරු
අඳ නෙත් පහන් කරන බෙම්මුල්ලේ ඇස්‌ වෙදකම

විමලසිරි අගලකඩ

අපේ පරපුරේ මුතුන් මිත්තො වැඩිහරියක්‌ම ඇස්‌ වෙදකම කළේ විදීම් හා පිළිස්‌සුම් ක්‍රමවලින්. ඒ වුණාට අපේ අප්පච්චිත් ඒ ක්‍රම දෙකට අමතරව නිල ඇල්ලීම් හා රහස්‌ ක්‍රම වලින්ද ප්‍රතිකාර කළා. මම මේ ප්‍රතිකාර ක්‍රමවලට අමතරව ශාන්තිකර්මත් උපයෝගී කරගෙන ප්‍රතිකාර කරනවා. ඒකෙන් ලබන ප්‍රතිඵල අනන්තයි.

බෙම්මුල්ලේ වෙදගෙදරදී ඇස්‌ රෝගීන් ලක්‍ෂ ගණනකට ප්‍රතිකාර කළ ධර්මසේන වෙදැදුරු අත්දැකීම් දිගහරිමින් කීවේ අප්‍රමාණ සතුටකිනි.

"ඇස්‌වල රෝග විවිධාකාරයෙන් හට ගන්නවා. එකක්‌ තමා තද හිසේ වේදනාවත් සමඟ ඇස්‌ රතුවීම. මේකට සිංහල වෙදකමේ කියන්නේ අභිස්‍යන්ධ කියල. සාමාන්‍යයෙන් තද රතුවීමට අභිමන්ත කියල කියනවා. මේ රෝග දෙකෙන්ම තදබල විදිහට ඇස්‌වලට හානි වෙන්න පුළුවන්."

"තවත් රෝගයක්‌ තමයි කඳුළු හා කබ ගැලීම. මීට අමතරව වැළඳෙන නුවන් පිළිකාව හා උල්ලාරව හරිම භයානකයි. සමහර වෙලාවට දෙනෙත් මුළුමනින්ම අන්ධ භාවයට පත්වෙන්නත් පුළුවන්."

"ඇස්‌ උල්ලාරව කියන්නේ දෙනෙත් පැසවල ඉදිරියට නෙරා ඒම. ඒකට නම් අපි ළඟ තියෙන විශේෂ ප්‍රතිකාර ක්‍රමය තමයි ඉදිකටුවකින් උල්ලාරාව විද කපා දැමීම. ඊට පස්‌සෙ තවත් ඖෂධ කිහිපයකින් තුවාලයට ප්‍රතිකාර කරනවා."

"ඇස්‌ පිහාටු ගැලවී යැම තවත් රෝගයක්‌. මේක වෙන්නේ පනුවෙක්‌ගෙන්. ඒකත් කෙම් ක්‍රම හා ඖෂධ ගැල්වීමෙන් මඟහරවා ගන්න පුළුවන්.

කොහොම වුණත් මේ එකකටවත් හරි වෙදකමක්‌ නොලැබුණොත් වෙන්නේ දැඩි හානියක්‌."

බෙම්මුල්ලේ වෙදැදුරු කිසි විටෙක වෙදකමට බිය වන්නේ නැත. රෝගියාට තමාගේ දෙනෙත යම් සේ වටින්නේද, වෙදැදුරාණන්ට ද සිය ප්‍රතිකාරය එසේම වටින්නේය.

"ඇස්‌වලට ප්‍රතිකාර කරන කොට බයවෙලා බැහැ. වැරදුනොත් වැරදුනාම තමයි. එහෙම නම් නිවැරැදි ප්‍රතිකාර කළොත් වරදින්න බෑ. හැබැයි වෙදකම නොදන්නවා නම් ප්‍රතිකාර කරන්න බිය වෙන එක අහන්න දෙයක්‌ නෑ. මෙහෙම ආවාට ගියාට ප්‍රතිකාර අරගෙන වැරදුනු අය මා ළඟට ඕන තරම් ඇවිත් තියෙනවා. ඒ අයත් මම ආපසු යවන්නේ නැහැ. අපේ පරම්පරාවේ ලක්‍ෂණය ඒකයි."

89 වැනි වියේ පසුවන බෙම්මුල්ලේ ධර්මසේන වෙදැදුරු කීවේ සිය මුහුණේ සිහින් සිනාවක්‌ නංවාගෙනය.

අක්‍ෂි වෙදකමට කෙතරම් වෛද්‍යවරු සිටියත් කිසියම් රෝගියකු තම ආබාධයට වෛද්‍යවරයකු තෝරා ගන්නේ දැඩි විශ්වාසයකිනි. එනිසාම වර්තමානයේත් ඔහුගේ පිහිට පතා පැමිණෙන්නෝ බොහෝ වෙති.

නිට්‌ටඹුව වතුපිටිවල පස්‌මස්‌ ළදරුවකු බෙම්මුල්ලේ වෙද ගෙදරින් අද දවසේත් ප්‍රතිකාර ගන්නේ දැඩි විශ්වාසයකිනි. දෙනෙත්වල පිහිටා ඇතැයි කියන අධික රුධිර නාල හේතුවෙන් අඳ බව ලැබී ඇතැයි රෝහල්වලින් ප්‍රතික්‍ෂේප කළ මේ දරුවාගේ තත්ත්වය දැනට යහපත් තත්ත්වයට හැරී ඇත.

"මගේ ළඟට ආපු කිසිම රෝගියෙක්‌ මම ආපසු හරවල යවල නැහැ. ඒ හැම කෙනාටම තිබුණේ විවිධ ඇස්‌ ලෙඩ. නමුත් මම දැඩි විශ්වාසයකින් ප්‍රතිකාර කළ නිසා සේරටම සුව වුණා."

"සමහරුන්ට ඇස්‌ රෝග වැළඳුනාම දැඩි හිසේ අමාරුවක්‌ හැදෙනවා. මම ඒ රෝගීන්ට විදි ක්‍රමයෙන් ප්‍රතිකාර කරනවා."

"විsදි ක්‍රමය කියන්නේ නළල කටුවකින් විදල ලේ පිටකරන එක. වාතයෙන්, පිතෙන් හා සෙමෙන් හට ගන්න මේ රෝග හඳුනාගෙන හරිහැටි ප්‍රතිකාර කළොත් සිංහල වෙදකම තරම් වටින දෙයක්‌ තවත් නැහැ."

බෙම්මුල්ලේ ඇස්‌ වෙදකමේදී වෙද කූඩැල්ලන් යොදා ගැනීම තවත් ප්‍රතිකාර ක්‍රමයකි. නළල දෙපැත්තේ හඳුනාගත් රුධිර නාල මතුකර කූඩැල්ලන් ලවා විෂ ලේ ඉවත් කිරීම මේ ක්‍රමයයි.

නළල දෙපැත්තෙ පිළිස්‌සීම තවත් ක්‍රමයකි. මෙයට යොදා ගන්නේ රත්කර ගත් පරාල ඇණයක්‌ හා කෙසෙල් පිති කැබැල්ලකි. එහිදී හඳුනාගත් රුධිර නාලවලට කෙසෙල් පිති කැබැල්ල තබා රත් වූ යකඩය තැබීමෙන් මෙම ප්‍රතිකාරය කරනු ලබයි.

දෙපාවල මහපට ඇඟිල්ලේ නිය මතට ඖෂධ බැඳීම තවත් සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයකි. වම්පස ඇසේ ඇතිවන ආබාධයට දකුණුපයේ මහපට ඇඟිල්ලටත්, දකුණුපස ඇසේ රෝගයට වම්පස පාදයේ ඇඟිල්ලටත් අංශ මාරුකර බෙහෙත් බැඳීම මෙහි විශේෂ ලක්‍ෂණයකි.

"මගේ අප්පච්චි අන්තරා වෙනකොට මට මේව ගැන හරිහැටි අවබෝධයක්‌ තිබුණේ නැහැ. ඒත් අප්පච්චිගේ රහස්‌ වෙද පොත් මට හරිම ප්‍රයෝජනවත් වුණා. කොහොම වුණත් මගේ ඇඟේ තියෙන්නෙ අප්පච්චිගෙ ජාන. එහෙම නම් ඇස්‌ වෙදකම උන්දැ මට කියා නොදුන්නයි කියල මට වරදින්න බැහැ."

වත්මන් බෙම්මුල්ලේ ඇස්‌ වෙදැදුරාගේ අව්‍යාජ සිනහව තුළින් මතුවුණේ සැබෑ දක්‍ෂ සිංහල වෙදැදුරකුගේ ගති ලක්‍ෂණයකි. මීට හොඳම නිදසුන ජර්මන් ජාතික ලුවී හාපර්ගේ අක්‍ෂි රෝගයයි.

එවකට තිස්‌ හැවිරිදි හැරී හාපර් ජර්මන් ජාතික කතෝලිකයෙකි. පසුව බුදු දහම වැළඳගත් ඔහුගේ වම් ඇසෙහි දුඹුරු පාට ලපයක්‌ ඇති වූයේ නරක ග්‍රහයකුගේ බැල්ම වැටුණාක්‌ මෙනි. මින් දැඩි පීඩාවකට පත් වූ ලුවී වෛද්‍ය උපදෙස්‌ පතා රෝහලකට ඇතුළත් විය.

"මේකට ඔපරේෂන් එකක්‌ කරන්න වෙයි." දෙනෙත දැඩි පරීක්‍ෂාවට ලක්‌කිරීමෙන් පසු වෛද්‍යවරු කීහ. ඉන්පසු මාස දෙකක්‌ පමණ රෝහල්ගතව සිටි හැරී ඉන් පිටව පැමිණියේ යළි ලෝකය දැකීමේ මහත් අපේක්‍ෂාවෙන් ය.

එහෙත් ඔහු සිතුවා වැරදිය. මේ ලෝකයේ සුන්දරත්වය දකිනවා වෙනුවට ඔහුට පෙනුණේ අඳුරු වී යන ලෝකයකි. හැරී හාපර් යළිත් රෝහලට ගියේ ඒ සුන්දර ලෝකය නැවත දකින්නට සිහින මවමිනි.

"මිස්‌ට හාපර් ඔබට තියෙන්නේ ඇස්‌ අමාරුවක්‌ නොවේ. සෙම් අමාරුවක්‌. ඒ සෙම් ගෙඩිවල සැරව ඔබගේ ඇස්‌වලට යනවා. ඒකයි මේ දොaසෙ. වෛද්‍යවරු කඩතුරාවකින් ඔහුගේ දෙනෙත් වසා දැම්මේ එසේ කියමින් ය.

දින 14 කට පසු තාවකාලිsක සුවයක්‌ ලැබූ හැරී නිවසට ගොස්‌ ගත වූයේ මාසයක පමණ කාලයකි. යළිත් දෙනෙත් නොපෙනී ගිය ඔහු නැවත වෛද්‍ය විශේෂඥයන් කීපදෙනකුම මුණ ගැසුණේය. ඒ වන විට ඔහුගේ අනෙක්‌ ඇසට ද රෝගය බෝවී හමාරය.

"ඔබට ක්‍ෂය රෝගය තිබෙන නිසා මේ ඇස්‌ රෝගය හටගෙන තිබෙනවා. ඒකටත් අපි ප්‍රතිකාරයක්‌ කරලම බලමු."

එහෙත් එම ප්‍රතිකාරයත් සමඟ හැරීගේ වම් ඇස මුළුමනින් ම නොපෙනී ගියේය. බුදුÊදහම කෙරෙහි දැඩි භක්‌තියකින් කටයුතු කළ ඔහු හැම විටම එහි නියෑළෙමින් පිහිට ද පැතුවේය. මේ කාලයේදීම ජපානයේ සරසවියකින් බෞද්ධ දර්ශනය හැදැරීමට ශිෂ්‍යත්වයක්‌ ලැබූ ඔහු ජපානයට ගියේ තවත් නැවුම් අපේක්‍ෂාවක්‌ සිතෙහි පුරවාගෙනය.

ජපන් සරසවියේදී බෞද්ධ දර්ශනය ගැඹුරින් හැදැරූ ඔහුට ජපන් වෛද්‍යවරු කීවේ දෙනෙත් අන්ධවීම කිසිසේත් නතර කළ නොහැකි බවය.

බෞද්ධ දර්ශනය තුළින් මිනිස්‌ ආත්මය ගැන ගැඹුරින් වටහා ගත් ඔහු ජපන් රටෙන් පිටවී සිය මවුබිමට යද්දී කොළඹට ගොඩවීමට තීරණය කළේ දෙනෙත් වැසී යන්නට මත්තෙන් සිය කලණ මිතුරකු දැක ගැනීමේ මහත් අපේක්‍ෂාවෙනි.

දෙනෙත පිරී ගිය සැරවත් සමඟ හැරීගේ මුහුණ දුටු මිතුරාගේ නෙතට කඳුළු උනන්නට පටන් ගත්තේ දරාගත නොහැකි වේදනාවත් සමගය.

"මගේ රටේ වෛද්‍යවරු පමණක්‌ නොවෙයි ජපන් රටේ වෛද්‍යවරුන්ගෙනුත් ප්‍රතිකාර ගත්තා. ඒත් ඒ අය කිව්වේ ඇස්‌ දෙක අන්ධ වෙන එක කොහොමටත් නතර කරගන්න බැරි වෙයි කියලා."

හැරීගේ දුක්‌බර කතාවට සවන් දුන් කොළඹ මිතුරාගේ දෙනෙතින් ගලා යන කඳුළු ඔහුට යාන්තමට පෙනෙද්දී දෙදෙනාම ඔවුනොවුන් වැළඳ හඬන්නට පටන් ගත්හ.

"මම උඹේ ඇස්‌ දෙක සනීප කරනවා." කොළඹ මිතුරාගේ වචන හැරීගේ දෙසවනට ඇතුළු වී ලේ නහර ඔස්‌සේ ඇටමිඳුළුවලට කි¹ බසිද්දී දැනෙන සතුට ජීවිතයේ කිසි දිනෙක නොලද්දක්‌ බව ඔහුට සිතිනි.

"ලෝකෙ ඉන්න අති දක්‍ෂ විශේෂඥ වෛද්‍යවරු බැහැයි කියපු දේ කොහොමද උඹල කරන්නෙ. අදහාගත නොහැකි පුදුමයෙන් හැරී ප්‍රශ්න කළේ වැලි කතරක පිපාසයෙන් අතරමංව සිටි අයෙකුට දිය පොදක්‌ ලැබුණාක්‌ මෙනි.

පාරම්පරික සිංහල වෙදකමට සුව කරන්න බැරි රෝගයක්‌ නෑ. ඒ හැම දෙයටම ප්‍රතිකාරයක්‌ තිබෙනවා. මම දන්නවා උඹ වගේ බුදු දහම හිස්‌ මුදුනින් පිළිගන්න දැහැමි පුද්ගලයකුට කොහොමවත් මේ වෙදකම වරදින්න බෑ.

මහත් අමන්දානන්දයට පත් හැරී තවත් තත්පරයකුදු නිකරුණේ අපතේ නොයවා වහා බෙම්මුල්ලේ ඇස්‌ වෙදගෙදරට ගියේ නැවත ලෝකය පියවි ඇසින් පෙර දුටුවා සේ දකින්නටය.

"මිනිසුන්ගේ පංෙච්Jද්‍රියන්ගෙන් ඇස්‌දෙක බොහොම ඉක්‌මනට දුර්වල වෙනවා. ඒකට හේතුව ශරීරයේ ඇතිවන උෂ්ණත්වයයි, සෙමයි. ඒත් බය වෙන්න දෙයක්‌ නෑ. අපි ළඟ මේකට වටිනා ප්‍රතිකාර තියෙනවා." බෙම්මුල්ලේ ඇස්‌ වෙදැදුරු කීවේ හෙට හිරු පායනවාක්‌ මෙන් දැඩි විශ්වාසයකිනි.

හැරීට උන්හිටි තැන් අමතක විය. මේ රටේ සිටින්නේ වෙදවරු නොව දෙවිවරු නොවේ දැයි ඔහුට සිතිනි. තමා උගත් බුදු දහමේ යථාර්ථය දැන් තමා ඉදිරිපිටය.

හැරීට වැළඳී තිබුණේ 'සෙංකාව' නමැති භයානක අක්‍ෂි රෝගයකි. එය හොඳින් හඳුනාගත් බෙම්මුල්ලේ ඇස්‌ වෙදැදුරා කසාය නැලි 8 ක්‌ චූරණයක්‌ හා නස්‌නයක්‌ නියම කරමින් සති තුනක්‌ වැනි කෙටි කාලයකින් සම්පූර්ණ සුවය ඔහුට ලබා දුන්නේය.

බුදු දහමින් පෝෂණය වන දෙවිවරු වන් වෙදවරු සිටින මේ හෙළයේ මෙතරම් වටිනා පරම්පරාගත ප්‍රතිකාර ක්‍රම තිබීම ගැන මහත් ප්‍රමෝදයට පත් හැරී හාපර් ආපසු සිය රට බලා ගමන් ගන්නට පෙර මේ ලක්‌ පොළවට කිහිපවරක්‌ වැඳ නමස්‌කාර කරන්නට අමතක කළේ නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.