සංස්‌කරණය : නාරද නිශ්ශංක

අසහාය නිළි
ගීත කෝකිලාවිය රුක්‌මණී දේවි


2013.10.28 වෙනි දිනට යෙදෙන 35 වැනි ගුණානුස්‌මරණය වෙනුවෙනි

උඩවලව ජලාශයේ ඉදිකිරීම් නිමකර මංගල දියවර නිකුත් කිරීමේ උත්සවය නිමිතිකොට 1968 අගෝස්‌තු මස 28 වැනි දින දකුණු ඉවුර අබියස සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට ගංගා නිම්න සංවර්ධන මණ්‌ඩලය සංවිධානය කරන ලදී. විවෘත වේදිකාවක්‌ මත මයික්‍රෝපෝනයක්‌ සිටුවා අවට ගස්‌වල බඳින ලද ශබ්ද විකාශන යන්ත්‍ර යුගල කීපයක්‌ද විය. තාක්‌ෂණය එතරම් දියුණු නොවූ කාල වකවානුවක්‌ වූ බැවින් සැරසිලි හා ශබ්ද විකාශන ක්‍රම සරල හා ස්‌වාභාවික විය. අගනුවර සිට ගායක ගායිකාවන් ප්‍රවාහනය කරන ලද බස්‌ රථයද වේදිකාව අසල නවතා තිබිණි. ගායන ශිල්පීන් ඔවුන්ගේ වාරය එනතුරු බස්‌ රථයේ රැඳීසිටිමින් වාරය පැමිණි වහාම බස්‌ රථයේ සිට වේදිකාවට සම්ප්‍රාප්ත වී ගායනය ඉදිරිපත් කිරීම එදා සිරිත විය.

රුක්‌මණී දේවී ඇතුළු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගයක්‌ පවත්වන බව ඊට දින කීපයකට පෙර ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබුණ බැවින් විශාල පිරිසක්‌ එම ස්‌ථානයට එක්‌රොක්‌ වී සිටියහ. එදා ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය නිළිය හා ගායිකාව ලෙස රුක්‌මණී දේවිය සියල්ලෝම පිළිගත්හ. ගී දෙක තුනක්‌ ගැයීමෙන් පසු රුක්‌මණී දේවි වේදිකාවට පැමිණෙන බව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ප්‍රචාරය වීමත් සමඟ ප්‍රේක්‌ෂකයන්ගේ අත්පොළසන් මධ්‍යයේ ඇය වේදිකාවට ප්‍රවිෂ්ට වූවාය.

ස්‌ත්‍රී ලාලිත්‍යයෙන් හා පිරුණු දේහ විලාශයක්‌ ඈ සතු වූ අතර පංච කල්‍යාණියකගේ ශාරීරික ලක්‌ෂණ නොඅඩුව පැවැති බව කිවයුතුය. තළඑළලු සමක්‌, සියුමැලි ඔපවත් මුහුණක්‌, අඩවන් වූ දිගුවන් දෙනෙතක්‌, එල්ලා වැටුණු දිගු කර්ණාභරණ යුගලක්‌ ඉදිරියෙන් උස්‌ව සැකසූ බොකුටු කේශකලාපයක්‌, අත්නැති හැට්‌ටයකින් ලා නිල් පැහැ සාරියකින් හැඩගැන්වී, ආකර්ෂණීය මඳ සිනහවකින් යුත් උවනතින් ප්‍රේක්‌ෂකයන් ඉදිරියේ වේදිකාවේ පෙනී සිටියාය. එදා ජනප්‍රිය වී තිබුණ "කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේමවසන්තේ" ගීතය ඇයටම ආවේණික මියුරු හඬින් ගයද්දී රැස්‌ව සිටි ප්‍රේක්‌ෂකයන්ගේ හදවත් ගී චිකිත්සාවෙන් මොහොතකට සන්තර්පනය කළේය. ඒ හෝරා කීපය ප්‍රදේශය පුරා ගී නදින් පාරාදීශසක්‌ විය.

1923 ජනවාරි 13 වැනි දින කිතුනු පවුලකට දාව "ඩේසි ඩැනියල්" නමින් දැරියක්‌ මීගමුවේ ජනිත විය. දෙමවුපියන් ගුරු සේවයේ යෙදුණහ. දෙමටගොඩට පැමිණීමෙන් පසු ශිල්ප හැදෑරීමට ඈ ශාන්ත මැතිව් විදුහලට ඇතුළු කළාය. ළමා වියේදීම පල්ලියේ ගීතිකා (කන්තරු) ගැයීමට යොමු කිරීම නිසා කිතුණු පරිසරයට බෙහෙවින් අනුගත විය. ළමා කල සිටම ගීත ගැයීම හේතුවෙන් ස්‌වර උච්චාරණය ක්‍රමයට ගීත පදමාලාව හැසිරවීමට සතතාභ්‍යාසයේ යෙදීම හා සංසාරික පුරුදු අනුව ගායනයේ විශිෂ්ට වූවාය. බොදුනුවන්ට වඩා කිතුනු ගායක ගායිකාවන් බොහෝ දෙනෙක්‌ පසුකාලීsනව ගායන ක්‍ෂේත්‍රයට පිවිසියේ පල්ලියේ මෙම ගායන අභ්‍යාසය තුළින් බව පෙනේ. සත්වැනි විය පසුකරත්ම ඩේසි ඩැනියල් ශිෂ්‍යාවට මැතිව් විදුහලේ වේදිකාවට පිවිස නර්තනයේ යෙදෙමින් ගායනයක්‌ ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව උදාවී ඇත. එම පළමු ගීයම ළමා ගායිකාවක්‌ ලෙස ජනප්‍රිය වීමට ප්‍රමාණවක්‌ වී තිබේ.

එදා අපේ කලා ක්‍ෂේත්‍රය පෝෂණය වෙමින් පැවැතියේ හේනේ, කමතේ, පැලේ, පිලේ, අට්‌ටාලයෙන් බිහිවූ ජනකවි මෙන්ම ශාන්තිකම_ යකැඳුරු ක්‍රියාකාරකම් හේතුවෙන් බිහි වූ යාතිකා මෙන්ම බෙර, දවුල්, නළා වැනි පංචතූර්ය ආදී දේශීය සංගීත භාණ්‌ඩ උපයෝගී කර ගනිමිනි. වෙස්‌සන්තර, සඳකිඳුරු, කුස ජාතකය වැනි ආගමික කතා හා රාමායනය, අශෝක මාලා වැනි දෘෂ්‍ය කාව්‍ය අනුසාරයෙන් රඟදැක්‌වූ නාට්‍ය හා නූර්ති ගී දිවයින පුරා ජනප්‍රිය වී තිබිණි. දහනව වෙනි සියවස ආරම්භයේම එදා පැවැති කෝපිකඩේ හා නිවෙස්‌වල ගීත ශ්‍රවණ මෙවලම ලෙස ග්‍රැමෙµdaනය ජනප්‍රිය විය. සර්පිනාව ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩයකි. නාට්‍ය කණ්‌ඩායම් ලක්‌දිව පුරා සංචාරය කරමින් වේදිකා නාට්‍ය රංගනයෙන් හා නූර්ති ගී ගැයීමෙන් ප්‍රේක්‌ෂක ජනප්‍රියත්වය ඇති කළේය. මෙම නාට්‍යවල ගී ගැයීම හා ස්‌ත්‍රී චරිතවල රංගනයේ යෙදුණේ ස්‌ත්‍රීන් ලෙස හැඳ පැළඳගත් පුරුෂයන්ය. පුරුෂාධිපත්‍යයට නතු වූ කාල වකවානුවක්‌ අතීතයේ පැවැති බැවින් කාන්තාවන්ට නර්තනය හෝ ගායනයට වේදිකාව තහනම් කලාපයක්‌ විය. කාන්තාවන් වේදිකාවට පිවිස පිරිමින් සමඟ නර්තනයේ, රංගනයේ හෝ ගායනයේ යෙදීම ස්‌ත්‍රී විලාපයකට හේතු වන ක්‍රියාවක්‌ ලෙස එදා සමාජය සැලකූ අතර "ටීටර් කාරියෝ" "බයිස්‌කෝප්කාරියෝ" ලෙස සමච්චලයට පත්කරමින් විවාහයකට හෝ නුසුදුසු අය ලෙස සැලකූහ. එබැවින් එම කාල පරාසය තුළ ජීවත්වූ ස්‌වදේශීය කාන්තාවෝ නර්තනයේ හෝ ගායනයේ යෙදීම ප්‍රතික්‌ෂේප කළහ.

1949 ලංකා ගුවන් විදුලි සේවය ස්‌ථාපිත කරනු ලැබීය. ගුවන් විදුලිය ඇරඹීමත් සමඟ දේශීය සංස්‌කෘතියේ විවිධ ඉසව් සීග්‍ර දෝලනයකට මෙන්ම පැහැදිලි පරිණාමයකට පත්වීම වැළැක්‌විය නොහැකි විය. කලා ක්‍ෂේත්‍රයේ විවිධ මංපෙත් සොයා ගිය මෙවන් පසුබිමකට යෞවන වියේ සිටි ඩේසි ඩැනියල් කලා ශිල්පිනියට කාන්තාවන් වෙනුවෙන් දායකත්වය සැපයීමට සිදු විය. ඇයගේ සහජ නිපුණතාවය නිසා රංගනය හා ගායනය පමණක්‌ම වෘත්තිය කර ගැනීමට සිදුවිය. සංගීත විද්‍යාලයකින් හෝ නැටුම් ශිල්පායතනයකින් ඇය සිය කලා ක්‍ෂේත්‍රය සඳහා ප්‍රායෝගික අධ්‍යාපනයක්‌ ලබා නැත. එවැන්නක්‌ එකල ලක්‌දිව තිබුණේ ද නැත. සමාජ රඟහලෙන්ම නැටුම් ගැයුම් උගත්තාය.

එසේම ස්‌වකීය සිතුම්, පැතුම් චිත්ත වේග මනෝභාව, ආකල්ප හෝ විශ්වාස ස්‌වාධීනව රංගනයට නර්තනයට හෝ ගායනයට යොදා ගැනීමේ අවස්‌ථාව සම්පූර්ණයෙන්ම ආවරණය කර පැවැති කාලපරිච්ඡේදයක්‌ එදා තිබුණි. නාට්‍ය නිෂ්පාදකයාගේ ලිත ගොරහැඩි භාෂා ශෛලිය නාට්‍ය තුළිනුත්, ශෝකය, හැŽම්, දෙඩීම් ගායනය තුළිනුත් ප්‍රේක්‌ෂකයාට ශ්‍රවණය කිරීමට ලැබීම සුලභ විය. එබැවින් කතා ශෛලිය ස්‌වාභාවික නොවීය. ජීවිතයේ දිගුකලක්‌ මෙවැනි ඒකාකාරී චරිත හා ගායන අතර සැරිසැරීමට සිදු වීම හේතුවෙන් ඩේසි ඩැනියල්ගේ රංගන, නර්තන හා ගායන තුළද ශෝකය, වියෝව බෙහෙවින් අන්තර්ගත විය. එදා ඇය ගැයූ ගීතවල, රඟපෑ නාට්‍යවල හැŽම්, වැළපීම් බහුල වන්නේ ඒ නිසාය. පසුකාලීනව රංගනය හා නර්තනය ඇයට වෙහෙස ගෙන දෙන කාර්යයක්‌ විය. එබැවින් ඇය පවසා සිටියේ.á

"නිළියක වීමේ ආශාව එකල මා තුළ සිහිනෙකින්වත් නොතිබුණේය. රඟපෑමට හා නැටීමට මා කිසිවිටෙක ආශා නොකෙළෙමි. ගී ගැයීමට නම් හය හතර දැනගත් දා සිටම මා තුළ ආශාවක්‌ පැවැතිණි." (රුක්‌මණි දේවි-සුනිල් මිහිඳුකුල)

ඩේසි ඩැනියෙල්ගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූයේ රාමායනයේ සීතාවගේ භූමිකාව රංගනයෙන් දායක වීමයි. ඇයගේ ස්‌ත්‍රී දේහ ලක්‌ෂණ හඬ හැසිරවීම වේදිකාවට පිවිසිමේදී ප්‍රේක්‌ෂකයා අමන්දානන්දයට පත් කළේය. එබැවින් සමකාලීන නාට්‍ය නිෂ්පාදකයෝ ඇයගේ සහභාගිත්වය තම නර්තනයට, ගායනයට නිරතුරුව අපේක්‌ෂා කළෝය. මේ අතර මීගමුවේ මිනර්වා සංචාරක නාට්‍ය කණ්‌ඩායමට ඇතුළත්වීමේ භාග්‍යය ඇයට හිමි වී ඇත. මෙහිදී නර්තනයට හා රංගනයට බොහෝ දුරට සහභාගි නොකර ගායනයට පමණක්‌ අවස්‌ථාව ලබාදී ඇත. නාට්‍යයක්‌ වේදිකාවේ රඟපෑමෙන් පසු එහි ඉතිsරි කොටස්‌ සඳහා වේදිකාව සැරසීමට තාක්‌ෂණය නොදියුණු එදා බොහෝ වේලාවක්‌ ගතවී ඇත. එම විරාමය තුළ ප්‍රේක්‌ෂකයා රඳවා තබා ගැනීම සඳහා විටින් විට රුක්‌මණී දේවී ගීත ගායනය සඳහා මිනර්වා නාට්‍ය කණ්‌ඩායම විසින් යොදවන ලදී. ප්‍රේක්‌ෂකයාට මෙන්ම රුක්‌මණී දේවියටද මෙය නව අත්දැකීමක්‌ වී ඇත. ඇයගේ පුරුදු ගීත ගායනය නිදහසේ ඉදිරිපත් කිරීමට මෙම අවස්‌ථාව බෙහෙවින් ප්‍රයෝජනවත්වී ඇත. මිනර්වා නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රථම වරට වේදිකාවේ රංගනයේ යෙදී ඇත්තේ "කඩවුණු පොරොන්දුව" නාට්‍යයේ රංජනීගේ භූමිකාවයි. පසුව කඩවුණු පොරොන්දුව ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලෙස භාරතයේ රූගත කරන ලදී. එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑමේ යෙදුණේ රුක්‌මණි දේවියයි. මෙම සුවිශේෂී අවස්‌ථාව ඇය ජීවිතයේ ලැබූ අභිමානවත් අතිශය වැදගත් අවස්‌ථාව ලෙස සඳහන් කළේ. "කොළොම්බස්‌ ඇමෙරිකාව සොයා ගත්තා සේ ඇය ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය දායාද කළ බවය."

1947 ජනවාරි 21 වැනි දින රාජ්‍ය අනුග්‍රහය ලබමින් මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සිනමා රසික රසිකාවියන් බොහෝ දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹ කිංස්‌ලි සිනමාහලේදී කඩවුණු පොරොන්දුව ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබීය. එහිදී ඩේසි ඩැනියල් හෙවත් රුක්‌මණී දේවිය ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය ලෙස කිරුළු පැළැඳි ඓතිහාසික දිනයද විය. ඉන් පසුවද නිර්මාණය වූ නාට්‍යවල හා චිත්‍රපටවල ප්‍රධාන නිළි චරිතයට ඇය දායක වූවාය. ග්‍රෑමෙµdaන මෙන්ම නූර්ති ගීත ගැයූ රුක්‌මණී දේවි ප්‍රතිභාපූර්ණ කලාකාරිනියක්‌ වේදිකා හා චිත්‍රපට නිළියක්‌ වශයෙන් සක්‍රීයව සිටි කලා ක්‍ෂේත්‍රයේ පසුතලය ස්‌ථාපිත කරනු ලැබුවේ එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්‌ටර් සමඟ ගැයූ "සිරි බුද්ධ ගයා විහාරේ" ගීතයෙනි. එහි සම්පූර්ණ පදමාලාව

සිරි බුද්ධගයා විහාරේ - වඳිනේමු මෝක්‌ෂ පතාලා

ශාක්‍ය තිලෝනා - වැඩහිඳි එදිනා

මරාඟනන් පරදාලා

ශ්‍රී මහා බෝධි වෙත සෑදී ඒ

විදුරසුනේ මුනිරාජා

ආ දස බිම්බර මාර සේනා පෙරුම් බලෙන් පරදාලා

ප්‍රාතිහාර්ය පෑ - දස බලධාරී

ජයබිම මේ - විශාලා

ශාසන ආලේ - ඇති ලෝ වාසී

බව දුක නසනා සේමා

වඳිනේමු මෝක්‍ෂ පතාලා

මෙම ගීතය ජනප්‍රිය වූ විගස ග්‍රැමෙµdaන වෙළෙඳ තැටි සඳහා ගීත දහසකට වැඩි ප්‍රමාණයක්‌ ද චිත්‍රපට පසුබිම් ගීත ද විරිදු හා කණ්‌ඩායම් ගීතද බොහෝ ප්‍රමාණයක්‌ ගායනයට සහභාගි වී ඇත. කලා ක්‍ෂේත්‍රයේ ග්‍රැමෙµdaන යුගය ලෙස හැඳින්වූ කාලපරිච්ඡේදය නූතන යුගය හා ආබද්ධ කිරීමේ සන්ධිස්‌ථානයක්‌ වූයේ රුක්‌මණී දේවියයි. ග්‍රැමෙµdaන යුගයේ සිට වර්තමාන යුගයට ඇය පිවිසෙන්නේ වෙස්‌මුqහුණු, සිවම්මා ධනපාල, ඔතෙලෝ, වෙස්‌සන්තර නාට්‍ය හා අහසින් පොළොවට රූගත කිරීම්වලට දායක වීමෙනි. ඒ වන විට රුක්‌මණි දේවි නවක නිළියන්ගේ ආදරණීය "ඩේසි අක්‌කා" වී තිබිණි.

දරුවන් නොමැති විවාහයක්‌ ඇය එඩී ජයමාන්න රංගන ශිල්පියා සමඟ ගත කළාය. නූතන සමහර කලා ශිල්පීන් මෙන් රැයකින් දෙකකින් ඇය ජනප්‍රිය නොවූවාය. නිතර නිහඬ අරගලයක යෙදුණු ඇයගේ විඤ්ඤාණය කලා ක්‍ෂෙත්‍රයට කැපකළාය. නිහතමානිකමේ කිරුළ දරමින් තම රංගන ප්‍රතිභාව හෙළ කලාවට දායාද කළ රුක්‌මණී දේවිය ශේ්‍රෂ්ඨ කාන්තා කලාකාරියක ලෙස ලාංකීය ජන හදවත් තුළ සදා මතකය නිධන් කළේ සමස්‌ත ජාතියේම ගෞරවයට නිබඳව පාත්‍ර වෙමිනි.

දකුණු පළාතේ සංගීත සංදර්ශනයකට සහභාගි වී නැවත මීගමුවේ සිය නිවහන කරා පැමිණෙද්දී 1978 ඔක්‌තෝබර් මස 28 වෙනි දින ජා-ඇල තුඩැල්ලේදී සිදුවූ රිය අනතුරකින් රුක්‌මණී දේaවිය මිය ගියාය.(ඇගේ අවසන් කටයුතු අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් මීගමුවේදි සිදුවිය ඇය මියගිය ස්‌ථානයට ආසන්නයේ ඇයගේ ශ්වේත වර්ණ ආලේප කරන ලද පිළිරුවක්‌ ස්‌ථාපිත කර තිබේ. එය ජාතිය විසින් අග්‍රගණ්‍ය කලා ශිල්පිණියකට කරන ලද ගෞරව ප්‍රණාමයකි.

නව පරපුරේ බොහෝ දෙනා කලා ක්‍ෂේත්‍රයට පුනරුදයක්‌ ඇති කළ රුක්‌මණිදේවිය වැනි ජනප්‍රිය කලාකාරිණියකගේ නම පවා නොදනිති. ඇයගේ, අරුත්බර, කර්ණ රසායන ගීත බොහෝ ගණනක්‌ ඇත. එවැන්නක්‌ කලාතුරකින් හෝ විද්යුත් මාධ්‍යයකින් විකාශනය කිරීමක්‌ සිදු නොකරයි. එදා "දීපශිකා" සම්මානයෙන් රුක්‌මණී දේවි පිදුම් ලැබුවාය. ජාත්‍යන්තර චිත්‍රපට සඟරාවක්‌ වන භාරතයේ  ෆිල්ම් ෆෙයාර් විදේශීය සඟරාවක මුල් පිටුවේ ඇගේ ඡායාරූපයක්‌ පළකිරීමෙන් ඇය සිනමා හා ගායන ක්‍ෂේත්‍රයට කරන ලද විශිෂ්ට සේවය අගයමින් උපහාර පිරිනැමීය.

* බළන්ගොඩ කේ. කේ. එච්. දයානන්ද

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.