සිංහල භාෂාව සහ මානවශාස්‌ත්‍ර විෂයයන් දැඩි අර්බුදයක!


කොළඹ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරන ලද වාර්ෂික පර්යේෂණ සැසිය පසුගිය දා (ඔක්‌තෝබර් 10) එම විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ ඇම්. බී. ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා "සිංහල භාෂාව ඇතුළු මානවශාස්‌ත්‍ර විෂයයන් මුහුණ දී සිටින අර්බුදය" යන මැයෙන් පැවැත් වූ දේශනයයි මේ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්ව තිබෙන්නේ නාමික වශයෙන් පමණක්‌ බව අද සක්‌සුදක්‌ සේ පැහැදිලි වී තිබෙන කරුණකි. උසස්‌ අධ්‍යාපන මාධ්‍යය, කිසියම් රටක බහුතර ජනතාව භාවිත කරන භාෂාව විය යුතු බව ලෝකයේ බොහෝ රටවල පිළිගත් අධ්‍යාපන පිළිවෙතකි. සංවර්ධනය වූ සෑම රටක ම රාජ්‍ය භාෂාව මෙන් ම, අධ්‍යාපනය ලැබීමේ මාධ්‍යය වී ඇත්තේ බහුතර ස්‌වදේශික ජනතාව විසින් ව්‍යවහාර කරනු ලබන භාෂාව ය. මේ බැව් අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව, චීනය, ජපානය, කොරියාව හා ඉන්දියාව යන රටවල් උදාහරණ ලෙස ගෙන යථා තත්ත්වය විමසීමෙන් වටහා ගැනීමට පුළුවන. (සංවර්ධනය වූ ආසියානු රටවල් වන චීනය, ජපානය හා කොරියාව ගැන විමසා බලතොත්, මේ රටවල් තුනේ ම රාජ්‍ය භාෂාව වන්නේ එම රටවල ව්‍යවහාර කරන ස්‌වදේශීය භාෂාවන් ය.) වැඩි ම ජනගහනයක්‌ වෙසෙන චීනයේ ප්‍රධාන අධ්‍යාපන මාධ්‍යය වන්නේ චීන භාෂාව ය. අනාදිමත් කාලයක සිට චීනයේ ප්‍රාථමික, ද්විතීයික හා උසස්‌ පාසල් අධ්‍යාපන මාධ්‍යය මෙන් ම, විශ්වවිද්‍යාල අධ්‍යාපන මාධ්‍යය වන්නේ ද චීන භාෂාව ය. මෙය ජපානය හා කොරියාවට ද පොදු කරුණකි. සිය භාෂාව ප්‍රාථමික විද්‍යාල අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවන තෙක්‌ පියවරෙන් පියවර ප්‍රගුණ කරලීමට අධ්‍යාපන බලධාරීන් විසින් නිවැරදි හා පැහැදිලි තීරණ ගෙන ක්‍රියාත්මක කෙරෙණු දැකිය හැකි ය. විශේෂයෙන් ජපානය ගතහොත් උසස්‌ අධ්‍යාපනය ලැබීමේ එක ම මාධ්‍යය වන්නේ ජපන් භාෂාවයි. විශ්වවිද්‍යාලයේ දී අධ්‍යයනය කරන පාඨමාලාව විද්‍යා, වාණිජ, ඉංජිනේරු, වෛද්‍ය විද්‍යා, තාක්‍ෂණික විද්‍යා හා කලා ආදී කවර හෝ විෂයධාරාවක්‌ වුව ද ඔවුන්ට අනිවාර්යයෙන් ම, විෂයයක්‌ ලෙස ජපන් භාෂාව හැදෑරීමට සිදු වේ. සාමාන්‍ය අධ්‍යාපනයට මෙන් ම විෂයානුබද්ධ අධ්‍යාපනයට උපකාරී වන කන්ජි යන නමින් හැඳින්වෙන චීන අක්‍ෂර විශේෂය හැදෑරීමට ඔවුන්ට සිදු වේ. එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලික ලක්‍ෂණයකි. චීනයේ හා කොරියාවේ ද, ප්‍රංශය, ජර්මනිය හා රුසියාවේ ද බලපැවැත්වෙන අධ්‍යාපනයෙහි මෙය පැහැදිලි ලෙස දැකිය හැකි ය.

ලෝකයේ බොහෝ රටවල ස්‌වදේශීය භාෂා මාධ්‍යය හා බැඳුණු සත්‍යය මෙසේ වුව ද දැවැන්ත රටක්‌ නොවුණු අප රට තත්ත්වය අතිශයින් ශෝචනීය බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. අප රට සිංහල භාෂාව හැදෑරීම අනිවාර්ය වී ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වන තෙක්‌ පමණි. එතැන් සිට ලෝකයේ සංවර්ධිත රටවල පවා දැකිය නොහැකි ආකාරයට, භාෂාව වියුක්‌ත කර විෂයානුබද්ධ අධ්‍යාපනයක්‌ ලබා දීමට අප රට අධ්‍යාපන බලධාරීහු පෙළඹී සිටිති. ප්‍රාථමික, ද්විතීයික හා උසස්‌ පාසල් අධ්‍යාපනයේ දී ජපානයේ දක්‌නට ලැබෙන තත්ත්වය නම් ප්‍රභේදයකින් තොරව විද්‍යා, කලා, වාණිජ ආදී විෂයධාරාවන් හැම ශිෂ්‍යයකු විසින් ම හදාරනු ලැබීම ය. මාධ්‍යය ජපන් භාෂාව නිසා අනිවාර්යයෙන් ම නිවැරදි ජපන් බස ක්‍රමානුකූල ලෙස හැදෑරීමට ඔවුන්ට සිදු වේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ද කලා හෝ විද්‍යා හෝ තාක්‍ෂණය ආදී කවර හෝ විෂය ධාරාවක්‌ තෝරාගත්ත ද ඔවුන්ට මව්බස - ජපන් බස තවදුරටත් ප්‍රගුණ කිරීමට සිදුවේ. එහෙත් අප රට අ.පො.ස. උසස්‌ පෙළ සඳහා විද්‍යාර්ථීන් විසින් විෂයධාරාවක්‌ තෝරාගත් පසු ඒ වන තෙක්‌ ලද සිංහල භාෂා දැනුම දෝෂ සහිත ව භාවිත කරනු මිස, තව දුරටත් සිංහල භාෂා ඥානය වැඩි දියුණු කර ගැනීමට, හදාරන විෂය ක්‌ෂේත්‍ර පිළිබඳ - ඥානය උකහා ගැනීමට - සාපේක්‍ෂ ලෙස භාෂාව අධ්‍යයනය කිරීමට කිසිදු වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවේ. විද්‍යාර්ථීහු තමන් සතු වූ දුබල සිංහල බස - වැරදි සහිත ව යොදා ගන්නවා මිස, නිවැරදි ව්‍යාකරණානුකූල බස පෝෂණය කර ගැනීමට - හැදෑරීමට නොපෙළඹෙති. ඒ සඳහා මෙරට අධ්‍යාපන බලධාරීන්ගේ නෙත් යොමුවන බවක්‌ නොපෙනේ. මෙරට අධ්‍යාපනය හිස නැති කවන්ධයක්‌ ලෙස සැලකීමට සිදු වී ඇත. අප රට අධ්‍යාපන ක්‍රමයේ හිස විය යුත්තේ සිංහල භාෂාවයි. එහෙත් අධ්‍යාපන බලධාරීහු සිංහල භාෂාව නමැති හිස නොතකා කවන්ධය පමණක්‌ කාලයෙන් කාලයට අරුමෝසම් සැරසිලිවලින් විභූෂණය කිරීමට පෙළඹී සිටිති. අධ්‍යාපන මාධ්‍යය වූ භාෂාව නිසි ලෙස නොදන්නේ නම් නිවැරදි ලෙස සිතන්නට, සත්‍යය ඥානනය කරන්නට විද්‍යාර්ථීන්ට හැකියාව ලැබේ ද? සිතීමේ හා පැහැදිලි ලෙස අදහස්‌ ප්‍රකාශ කිරීමේ මාධ්‍යය නිවැරැදි භාෂා ව්‍යවහාරයයි. භාෂාවේ සරල නීති රීති හෝ ඡේක ප්‍රයෝග හෝ නොදන්නා විද්‍යාර්ථීන් අතුරෙන් අනාගතයේ දී උගතුන් බිහි වේ ද? චින්තකයන් බිහි වේ ද? ප්‍රාඥයන් බිහි වේ ද?

දිගු කලක්‌ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත් ව තිබූ අප රට, මේ වන විට උගත්කම මනින මාපකය වී ඇත්තේ ඉංග්‍රීසි භාෂා දැනුම ය. ඉංග්‍රීසි චතුර ලෙස කතා කළ හැකි තැනැත්තා සමාජයේ එක්‌තරා ආකාරයක බලාධිකාරයක්‌ හිමි කර ගෙන ඇත. කිසිදු විෂය ඥානයක්‌ නොමැති වුව ද, ඉංග්‍රීසි කතා කිරීමේ නිපුණත්වය මත පුද්ගලයා වටා ව්‍යාජ රැස්‌ වළල්ලක්‌ නිර්මාණය වී තිබේ. උගත්කම ඉංග්‍රීසි භාෂාව මත ර\ පවතින්නේ නම් මහා බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ඕස්‌ටේ්‍රලියාව, නවසීලන්තය ආදී රටවල වෙසෙන - මහ මග හිඟා කන, රස්‌තියාදු වන, උයන් හා මහාමාර්ග පිරිසිදු කරන හා පොට්‌ටනි බැඳගෙන ඉබාගාතේ ඇවිදින හා කිසිදු අධ්‍යාපනයක්‌ නොමැති ව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙන සෑම සියලු දෙනෙක්‌ ම උගතුන් ලෙස සැලකීමට සිදු වේ. ඒ ඔවුන් ඉංග්‍රීසි කතා කරන හෙයිනි. භාෂාවක්‌ යනු සන්නිවේදන මාධ්‍යයක්‌ බව බලධාරීන් විසින් අමතක කරනු ලැබ සිටීම අප මුහුණ දී සිටින බරපතල අභියෝගයකි.

ඇතැම් විශ්වවිද්‍යාලවල 'ජනමාධ්‍ය' හෝ 'ජන සන්නිවේදනය' යනුවෙන් විෂයයක්‌ උගන්වනු ලැබේ. සන්නිවේදන කාර්යය නිසි ලෙස සිදුවීමට නම් මේ විෂය හදාරන විද්‍යාර්ථීන් මෙරට බලපැවැත්වෙන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා අනිවාර්යයෙන් ම හැදෑරිය යුතු ය. හදාරා භාෂා ඥානය ප්‍රගුණ කර සිටිය යුතු ය. එහෙත් එවැන්නක්‌ සිදු වේ ද? සිදු වී තිබේ ද? තමා දන්නා තරමින් ජාම් බේරා ගැනීමේ අරගලයක ඔවුහු නිරත වී සිටිති. අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට හැදෑරූ සිංහල විෂය සම්පූර්ණයෙන් ම අත්හැර 'ජන සන්නිවේදනය' හෝ ජනමාධ්‍ය උගෙනීමට ඔවුහු පෙළෙඹෙති. කවර හෝ භාෂාවක්‌ පිළිබඳ ව නිවැරදි අවබෝධයකින් තොර ව 'සන්නිවේදනය' හැදෑරිය හැක්‌කේ කෙසේ ද? අද අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස්‌ පෙළ කලා විෂයධාරාවට 'සන්නිවේදනය' ඇතුළත් වී තිබේ. උභතෝකෝටිකය නම් 'සන්නිවේදනය' හැදෑරීම සඳහා මේ විද්‍යාර්ථීන් විසින් 'සිංහල' විෂය අත්හරිනු ලැබීමය. මේ වන විට 'තාක්‍ෂණය' නම් විෂයයක්‌ ද හඳුන්වා දීමට අධ්‍යාපන බලධාරීහු පෙළඹී සිටිති. එහි දී ද සිදුවන්නේ සිංහල විෂය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි අතළොස්‌සක්‌ පමණ වූ විද්‍යාර්ථීන් පවා නිසැකයෙන් ම සිංහල විෂය අත්හරිනු ලැබීම ය. මේ තර්ජනයේ භයානකත්වය සිංහල උගන්වන ගුරුවරුන් පමණක්‌ නොව, කලා විෂයයන් උගන්වන සෙසු ගුරුවරුන් පවා මේ වන විට අවබෝධ කරගෙන සිටින බව දක්‌නට ලැබේ. මේ තත්ත්වය කිසිදු වෙනසක්‌ නොවී ඉදිරියටත් පැවතුණහොත් ඉදිරි වර්ෂ පහ තුළ ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ එක්‌ විශ්වවිද්‍යාලයක පමණක්‌ සිංහල අංශය පවත්වාගෙන යාමට සිදුවනු ඇත. නැතහොත් වැඩිකල් නොගොස්‌ සියලුම විශ්වවිද්‍යාලවල සිංහල අංශ වසා දැමීමට සිදුවනු ඇත.

මේ වන තෙක්‌ ජනප්‍රිය විෂයයන් ලෙස පැවති සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, සන්නිවේදනය හා සෙසු විෂයයන්ට ද සිංහල විෂයයට උරුම ඉරණම ම ඉදිරි කාලයෙහි සිදුවීමේ ප්‍රවණතාවක්‌ පවතී. 'තොරතුරු තාක්‍ෂණය' විෂයයක්‌ ද? මේ වූ කලී නසකක හෙවත් කුසලතා ගණයට ගැනෙන විද්‍යාත්මක ශික්‍ෂණයකි. පාලකයන්ට හා මෙරට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍ය වී ඇත්තේ නොසිතන, පරිකල්පන ශක්‍යතා නොමැති, නිර්මාණකරණයට නොමෙහෙයවන රොබෝවරුන් පිරිසක්‌ බිහි කිරීමට ද? අපගේ මව්බස වන සිංහල වළපල්ලට යෑවීමට ද? දැනට ම ඉතාමත් සූක්‌ෂම ලෙස මේ කාර්යය සිදුකර ඇත. එසේ ම සිදු කෙරෙමින් පවතී. තවදුරටත් මේ තත්ත්වය බලාගෙන නොසිට, සියලුම විශ්වවිද්‍යාලවල සිංහල අංශ එකතු වී, මේ බැරෑරුම් තත්ත්වය ගැන ගැඹුරින් සාකච්ඡා කර විමසා බලා විශ්වවිද්‍යාලවල සිංහල විෂය රැකගැනීමට අරගලයක නිරත විය යුතු ය. ගත යුතු පියවර සාමූහික විසඳුම් සහගත ඵලදායී ක්‍රියාවලියක්‌ විය යුතු ය.

මුළු ලෝකයේ ම මානවශාස්‌ත්‍ර විෂයයන් බිහිසුණු ඝාතනයකට මුහුණ දෙමින් සිටින බව ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද චිකාගෝ විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරියක වන මාර්තා නස්‌බෝම්ගේ Not for profit; why Democracy Needs the Humanities හෙවත් 'ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානවශාස්‌ත්‍ර අධ්‍යාපනයේ කාර්යභාරය' කෘතිය පරිශීලනය කිරීමෙන් පසක්‌ කරගත හැකි ය.

ඉහත සඳහන් මාර්තා නස්‌බෝම්ගේ කෘතිය පැහැදිලි කර ඇති ආකාරයට අප මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය නම් සිංහල භාෂා සාහිත්‍යය පමණක්‌ ම නොව මානවශාස්‌ත්‍ර විෂය ක්‌ෂේත්‍රය මේ වන විට මුහුණ දී සිටින ෙ€දවාචකයෙන් බේරා ගන්නේ කෙසේ ද යන්න මහත් අවධානයෙන් යුතු ව විමසා බැලීම ය. සියලුම මානවශාස්‌ත්‍ර විෂයයන් බාහිර හා අභ්‍යන්තරික තර්ජන හා අභියෝගවලට මුහුණ දෙමින් පවතී. මෙහි දී බාහිර තර්ජන යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ එකී විෂයයන් ආර්ථික සංවර්ධනය සඳහා පලක්‌ නැත යනුවෙන් නැගෙන මත වාදයයි.

ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ වන විට මානවශාස්‌ත්‍ර පීඨයක්‌ පවතින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පමණි. එම පීඨයෙහි ප්‍රධාන විෂයයන් වන්නේ සිංහල, සාහිත්‍ය විචාරය, හින්දි, පාලි, බෞද්ධ සංස්‌කෘතිය, බෞද්ධ දර්ශනය, වාග්විද්‍යාව, පරිවර්තන ක්‍රමවේදය, දෙමළ, ඉංග්‍රීසි, ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය, බටහිර සම්භාව්‍ය සංස්‌කෘතිය, ලලිතකලා, සංස්‌කෘත, ජපන්, චීන, කොරියන්, ජර්මන්, ප්‍රංශ, රුසියන්, ස්‌පාඤ්ඤ ආදී නූතන භාෂාත් ය. බැලු බැල්මට ඇල්මැරුණු, ආර්ථික උත්පාදනයට තුඩු නොදෙන ශිෂ්‍ය ආකර්ෂණයට බලපෑමක්‌ නොකෙරෙන විෂයමාලාවක්‌ උගන්වන්නේ යෑයි ඔබට හැඟෙන්නට පුළුවනි. මේවා විෂය නිර්දේශවලට අනුව උගන්වනු ලබන විෂයයන් ය. මේ විෂයධාරාවට ඉතිහාසය, පුරාවිද්‍යාව, මානව විද්‍යාව හා දර්ශනයත් ඇතුළත් විය යුතු වුවත් ඒවා කැලණිය විශ්වවිද්‍යාලයෙහි ඇතුළත් වී ඇත්තේ සමාජීය විද්‍යා පීඨයට අයත් විෂයධාරාවට ය. සමාජීය විද්‍යා විෂයන් ද කලා විෂයධාරාවට ඇතුළත් විෂයයන් ලෙස සැලකේ. එහෙත් අද අධ්‍යයන වර්ෂයක්‌ ආරම්භයේ දී නවක සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ විට, ඔවුන්ට විෂය තෝරා ගැනීම සඳහා දෙසතියක කාලයක්‌ ලබා දෙයි. ඒ විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කෙරෙන විෂයයන් ගැන ද හොඳට හිතාබලා එයින් විෂයයක්‌ හෝ දෙකක්‌ තෝරා ගැනීම සඳහා ය. මේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය හා බැඳුණු අභ්‍යන්තරික යථාර්ථය පිළිකුල් සහගත ය. මා මේ අදහස්‌ දක්‌වන්නේ කැලණිය විශ්වවිද්‍යාලය නිදසුනක්‌ ලෙස ගනිමිනි. සැබැවින් ම මානවශාස්‌ත්‍ර විෂයයන් හැදෑරීමේ දී එල්ල වී තිබෙන අභ්‍යන්තර අභියෝගය නම් නිල අධ්‍යයන අංශ හා ඒවායේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් එල්ල වී තිබෙන තර්ජනයයි. ඒ ඒ අධ්‍යයන අංශවල අංශාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ට නවක ශිෂ්‍යයන් ඇමතීමට ලැබෙන ඉඩ ප්‍රස්‌තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මේ ආචාර්යවරු සෙසු විෂයයන් හෙළා දකිමින් ඒවායේ ආර්ථික ක්‍රය ශක්‌තියක්‌ නොමැති බව පවසමින් - තම තමන් උගන්වන අධ්‍යයන අංශවලට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අප්‍රතිහත අරගලයක යෙදෙති. නවක ශිෂ්‍යයෝ ද ඔවුන් උසස්‌ පෙළට හැදෑරූ විෂයත්‍රය ම බැහැර කොට, මේ නව විෂයයන් හැදෑරීමට තෝරා ගනිති. මේ ක්‍රියාවලියේ දී ශිෂ්‍යයන් වැඩිපුර හැදෑරිය හැකි යෑයි සැක කරන, සිංහල, ලලිතකලා, බෞද්ධ සංස්‌කෘතිය බඳු සම්ප්‍රදායික විෂයයන් ඉගෙනීමෙන් පලක්‌ නොමැති බව කියාපෑමට ද පෙළඹෙති. ඔවුන් උගන්වනු ලබන විෂය ක්‌ෂේත්‍ර හදාරා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් විගස ම රැකියා පසුපසින් හඹා ඒමට පුළුවන යන මිරිඟුව ශිෂ්‍ය මනසට ප්‍රවිෂ්ට කිරීමට සමත් වී සිටියි. මානවශාස්‌ත්‍ර විෂයයන් සම්බන්ධයෙන් නැගෙන ප්‍රධාන චෝදනාව නම් ඒවායේ විෂය නිර්දේශ කාලෝචිත ලෙස ප්‍රතිසංස්‌කරණය කිරීමට ආචාර්යවරුන් උනන්දුවක්‌ නොදැක්‌වීම ය. අද්‍යතන දේශපාලන, සමාජාර්ථික හා සංස්‌කෘතික අවශ්‍යතාවලට අනුව, ජීවන පටිපාටියට අනුව චිචාරාත්මක චින්තනයට මග පෑදෙන අයුරින් විෂය නිර්දේශ යාවත්කාලීන විය යුතු ය. උගැන්විය යුතු නව විෂය ක්‌ෂේත්‍ර හා විෂය කරුණු ශිෂ්‍යයන්ගේ අනාගත අපේක්‍ෂා සඵල වන අයුරින් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු ය.

සෑම මානවශාස්‌ත්‍ර විෂයයක ම විසිවන සියවසේ දෙවන භාගයේ හා විසි එක්‌වන සියවසේ අධ්‍යාපන අභිලාෂ සඵල කර ගැනීමට තුඩු දෙන විෂය ඥානය, චින්තන ශක්‍යතා හා ශිෂ්‍ය අනාගත කුසලතා පෝෂණය කිරීමට තුඩු දෙන අංකුර සාඵල්‍යතා මෝදුවෙමින් පවතී. ඒවා හඳුනාගෙන, ඒ ගැන අවබෝධය වැඩි දියුණු කරගෙන, උගැන්වීමට මානවශාස්‌ත්‍ර විෂයයන් උගන්වන ආචාර්යවරුන් නැඹුරු විය යුතු යයි සැදී පැහැදී සිටිය යුතු ය. එසේ නොමැති ව ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළ දින සිට උගන්වන විෂය නිර්දේශය ඒ ආකාරයට ම, කිසිදු යාවත්කාලීන කිරීමකින් තොර ව, යුග අවශ්‍යතා, ගෝලීය සමාජ ප්‍රවණතා ගැන නොසිතා උගැන්වීමට පෙළඹුණහොත් යම් මානවශාස්‌ත්‍ර විෂයයක විෂය නිර්දේශය ශිෂ්‍යයන්ට ප්‍රියමනාප නොවීම නොවැළැක්‌විය හැකි ය. එහෙත් මේ විෂය අර්බුදය වටහා නොගත් ඇතැම් මානවශාස්‌ත්‍ර විෂයයන් උගන්වන ආචාර්යවරු තම සම්ප්‍රදායික විෂය ඥානය කේන්ද්‍ර කරගත් විෂය නිර්දේශය, යුග අවශ්‍යතාවලට අනුව වෙනස්‌ කිරීමට නොපෙළඹෙති. එය යාවත්කාලීන වුවහොත් තමාටත් තව දුරටත් විෂය පරිශීලනය කිරීමට සිදුවිය හැකි ය යන අනාගත භීතිය, එයට තිබෙන නොහැකියාව හේතු කොටගෙන හනමිටිය කර තබාගෙන යාමට පෙළඹුණහොත් අනාගතයේ දී මේ විෂයයන් හැදෑරීමට තබා, මේ විෂය උගන්වන අධ්‍යයන අංශ දෙස නිකමට හෝ ඇස හැර බැලීමට හෝ විද්‍යාර්ථීන් නොපෙළඹෙනවා ඇත.

මානවශාස්‌ත්‍ර අධ්‍යාපනයේ ජීවය හෙවත් ප්‍රාණය වන්නේ විචාරාත්මක චින්තනයයි. විද්‍යාර්ථීන් තුළ එම ශක්‍යතාව ඇති කිරීමට විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. යාවත්කාලීන කරන විෂය කරුණු - එම විෂය කරුණුවල පවත්නා නැවුම් බව හා ජීවමාන ගුණය විද්‍යාර්ථීන්ට දැඩි ලෙස දැනෙන අයුරින්, නව දැක්‌මකින් යුතු ව උගැන්වීමට හැම අතින් ම සුදුසු වන සේ ආචාර්යවරුන් සන්නද්ධ විය යුතු ය. එහි දී අනිවාර්යයෙන් ම නවීන තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සිදු වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයකට බැඳුණු දා සිට ම - නැවතත් සිය විෂය ක්‌ෂේත්‍රයෙහි නව ඥානය සොයා යන්නෙකු විය යුතු ය. ඔහු අමුතුවෙන් ම ශාස්‌ත්‍රොද්ග්‍රහණය කිරීමට පෙළඹිය යුතු ය. උගත් දෑ මෙනෙහි කරමින් ඒ උගත් දෑ විවිධ විවිධ දෘෂ්ටීන් ඔස්‌සේ විමර්ශනයට යොමු කළ යුතු ය. තමා උගත් කාලයෙහි - ඇතැම් විෂය ක්‌ෂේත්‍ර උගැන්වූ ආචාර්යවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයෙහි පැවති විචාරාත්මක චින්තනය හා බැඳුණු සාධනීය අංශ ගැන මෙනෙහි කරමින්, තමා ගුරුවරයාගෙන් ලද ප්‍රභාව, තමා ග්‍රහණය කරගෙන සිටින නව ඥානය හා ක්‍රමවේදය සමග මුසු කොට, තමාගේ ශිෂ්‍යයන්ට ද ලබා දීම සඳහා යම්බඳු පුහුණුවක, ශික්‍ෂණයක යෙදිය යුතු ය. විචාරාත්මක චින්තනය ඉස්‌මතු කිරීමට තුඩුදෙන අයුරින් විෂය කරුණුත්, විෂය උගන්වන ක්‍රමවේදයත්, පර්යේෂණාත්මක ඥානයත් මුසු කර ගැනීමට ආචාර්යවරයා නැඹුරු විය යුතු ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ ප්‍රධාන කාර්යය උගැන්වීම - දේශන පැවැත්වීම යෑයි බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටිති. අප රට විශ්වවිද්‍යාල බලධාරීන් බලාපොරොත්තු වන ආකාරයට නම්, විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ ප්‍රධාන කාර්යභාරය උගැන්වීම ය. බොහෝ ආචාර්යවරුන් ද එසේ සිතන බව පෙනේ. එහෙත් උගැන්වීම ද්විතීය කාර්යයකි. ප්‍රධාන කාර්යය නම් සිය විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ පර්යේෂණවල යෙදී නව ඥානය උකහාගෙන පර්යේෂණ නිබන්ධ ස්‌වරූපයෙන් ඒවා පළ කිරීම ය. පූර්වගාමීන්ගේ මතවාදවලට ගරු කරන අතර ම, පූර්වගාමීන් නොදුටු, ඔවුන්ගේ විචාරාත්මක නිරීක්‍ෂණයට හසු නොවුණු ක්‌ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ කිරීමට නැඹුරු විය යුතු ය. විශ්වවිද්‍යාල සාහිත්‍ය කලා උගන්වන ආචාර්යවරුන්ට, විශේෂයෙන් නූතන සාහිත්‍ය උගන්වන ආචාර්යවරුන්ට මේ සඳහා ලැබෙන ඉඩකඩ අනල්ප ය. නූතන නවකතාව, කෙටිකතාව, කාව්‍යය හා නාට්‍යය යන විෂය ක්‌ෂේත්‍ර පිළිබඳ ව ප්‍රමාණවත් තරම් පර්යේෂණ සිදු වී නැත. මේ ක්‌ෂේත්‍රවල කලාත්මක විකාශනය, ප්‍රවණතා, විශ්ව සාහිත්‍යයෙන් ලද ආභාසය, විවිධ ශිල්පීය උපක්‍රම අරභයා තුලනාත්මක ලෙස සිදු කෙරුණු පර්යේෂණ මෙතෙක්‌ දැකිය නොහැකි ය. මෙකී ක්‌ෂේත්‍ර අරභයා පර්යේෂණාත්මක ක්‍රියාවලියක්‌ ඇති කළ හැකි නිසා සිය අවබෝධය ශිෂ්‍යයන්ගේ විචාරාත්මක චින්තනය පෝෂණය වන අයුරින් සාකච්ඡා කිරීමට, විමර්ශනය කිරීමට, ශිෂ්‍යයන් සමග සංකථනවල යෙදීමට විශේෂයෙන් නූතන සාහිත්‍යය උගන්වන ආචාර්යවරුන්ට අවකාශ සැලසේ. විද්‍යාර්ථීන්ට ප්‍රශ්න කිරීමට අවකාශය සලසා දෙමින් සාකච්ඡා කිරීමට පෙළෙඹෙන විට මෙතෙක්‌ නුදුටු නව මානයකින් කෘතිය දෙස බැලීමට අවකාශය සැලසෙන්නේ ය.

කෙසේ වුව ද ලෝකය පුරා ම ශාස්‌ත්‍රාලීය අධ්‍යාපනය තුළ සාහිත්‍යයට හිමි ව තිබූ ස්‌ථානය අහිමිවෙමින් තිබේ. ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම පිණිස අත්හැර දමනු ලබන්නේ කලා හා මානවශාස්‌ත්‍ර විෂයයන්වීම කනගාටුවට කරුණකි. යථානුරූපී අධ්‍යාපනයට මානවශාස්‌ත්‍ර විෂයයන් ඇතුළත් විය යුතු බව අධ්‍යාපන බලධාරීහු අමතක කර ඇත්තාහ. මෙහි යථා තත්ත්වය ඔවුන්ට මතක්‌ කර දී සිදුවෙමින් පවත්නා ෙ€දවාචකයෙන් මානවශාස්‌ත්‍ර විෂයයන් රැකගැනීම අප සතු වගකීමකි. පුද්ගලයා නියෝජනය කරන සමාජය හා කාලය පිළිබඳ විචාරාත්මක චින්තනයෙන් යුත් පුරවැසියකු බිහි කිරීම මානවශාස්‌ත්‍ර අධ්‍යයනයෙන් කෙරෙන අර්ථවත් කාර්යයක්‌ බව අප විසින් මේ ගැන නොදන්නා හෝ දැන සිටියත් නොදන්නා බව හඟවමින් හිතුමතයේ කටයුතු කරන අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දිය යුතු ය.

අද ලෝකය පුරා ම ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත්තේ ආර්ථික ලාභ ප්‍රයෝජන මත කේන්ද්‍ර ගත වූ අධ්‍යාපනික සංකල්පයක්‌ බැව් පැහැදිලි ය. අප රටේ ද දශක කීපයකට පෙර සිට මේ තත්ත්වය උදා වී විකාශනය වෙමින් පවතින නිසා, කලා අධ්‍යාපනයේ තිබෙන අර්ථවත් බව හා වැදගත්කම පෙන්වා දීමට උත්සාහ ගත යුතු ව තිබේ. විචාරාත්මක ලෙස සිතීමේ හැකියාව ලබාදීම, ප්‍රාදේශීය හෝ ජාතික පක්‍ෂපාතිකම් මෙන් ම ඒවා ද ඉක්‌මවා විශ්ව පුරවැසියකු සේ ලෝකයේ ප්‍රශ්න වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිකර දීම, සමාජයේ සෙසු මානවයන්ගේ ජීවන දුෂ්කරතා ගැන සානුකම්පිත ලෙස මානව හිතවාදී දෘෂ්ටියකින් බැලීමට හා හැඟීමට පෙළඹවීම හා අර්ථවත් ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය ප්‍රායෝගික අවබෝධය ලබා දීම ආදී මානවශාස්‌ත්‍ර විෂයයන් විසින් හිමිකර දෙනු ලබන ඉතාමත් වැදගත් කුසලතා ගැන අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දී අද මෙරට ක්‍රියාත්මක වෙමින් පවත්නා වැරදි, දෝෂ සහගත අධ්‍යාපන ක්‍රමයේ දිශානති වෙනස්‌ කිරීමේ වගකීම ද පැවරී ඇත්තේ අපට බව අප විසින් දැඩි ලෙස ග්‍රහණයට ගෙන ක්‍රියාත්මකවීමට සුදුසු කාලය උදා වී ඇත.

සටහන - දිනිති උත්පලා රණසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.