වසර දෙකක්‌ තිස්‌සේ අතපය
පුච්චලා මට දස වද දුන්නා

- ඩුබායි ගිහින් හිස්‌ අතින් ගෙදර ආ මනෝහාරි 'දිවයින'ට කියයි

රඹුක්‌කන - නිහාල් පුෂ්පකුමාර


අතරමඟ නතර වූ නිවස අසල මනෝහාරි හා දරුවා සහ මනෝහාරිගේ කකුල් දෙක පිළිස්‌සී තිබූ අයුරු.


ගේ හදාගන්න කියලයි රට ගියේ. නමුත් අවුරුදු දෙකකටත් වැඩි කාලයක්‌ දස වද විඳින්න වුණා. අතපය පිච්චුවා. වේවැල් පහර කොච්චර නම් කෑවාද කියලා මතක නෑ. මේ ඔක්‌කොම දුක්‌ විඳගෙන අවුරුදු දෙක ඉවර වෙනකල් ඉඳලා යන්න ඕනෑ කීවාම කාමරයකට දාලා දොර වහලා වේවැලෙන් ගැහුවා. කොහොම හරි අන්තිමට එන්න ටිකට්‌ එක දුන්නා. ඒත් මාස 7 ක පඩි දුන්නේ නෑ,

අන්තිමට මට එන්න වුණේ එදා යනකොට ගෙදරින් ඇඳගෙන ගිය ඇඳිවත පමණක්‌ උරුම කරගෙනයි. අඩු තරමින් සෙරෙප්පු දෙකක්‌වත් නැතිවයි, මම ගෙදර ආවේ. සමහරු එනකොට අතින් කටින් එල්ලගෙන විතරක්‌ නෙමෙයි නැවෙත් බඩු පෙට්‌ටි එවනවා. ඒත් මම ''සිලි සිලි'' බෑග් එකක්‌වත් නැතිව අත් දෙක වන වනා ගෙදර ආවා යෑයි ඩුබායි රටේ වසර 2 කට අධික කාලයක්‌ ගෘහ සේවිකාවක ලෙස සේවය කර හිස්‌ අතින් නිවසට පැමිණි රඹුක්‌කන, මුවපිටියේ කපුරුකඩේ හන්දියේ පදිංචි එම්. ජී. සුභාෂිණී මනෝහාරි ජයතිලක (අවු. 23) මහත්මිය "දිවයින" හමුවේ පැවසුවාය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇයගේ ස්‌වාමි පුරුෂයා වන එස්‌. සී. සංජීව උපුල් කුමාර මහතා

බිරිඳ රට ගියේ අපිට ගෙයක්‌ හදාගන්න ඕනෑ කියලයි. ඇය රට යන විට දුවට අවුරුදු එකහමාරයි. එදා ඉඳලා මම දරුවා බලාගෙන ගෙදර හිටියා. මට කීයක්‌ හරි හොයා ගන්න විදිහකුත් නෑ, බිරිඳ ඒ රටේ දුක්‌ විඳිනවා කියලා මම කුරුණෑගල ඇය රට යෑවූ ඒජන්සියට කීවා. නමුත් ඔවුන් ගණන් ගත්තේ නෑ, විදේශ රැකියා නියුක්‌ති කාර්යංශයට කීවා. ඒත් කිසි වැඩක්‌ වුණේ නෑ, අන්තිමට මාස 7 ක පඩියකුත් දීලා නෑ. ඒ මදිවාට බිරිඳගේ අතපය පුච්චලා වේවැල් පහර දීලා දුප්පත් අපි මේවා කාට කියන්නද? එක අතකට හිතෙනවා, පණ බේරගෙන එන්ඩ ලැබීමත් ඇති කියලා. මම බලධාරීන්ගෙන් ඉල්ලනවා අපිට වෙච්ච මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.