කැනඩා කොටියා බේරා ගැනීමට
ශ්‍රී ලංකා රජය ලිපියක්‌ යෑවීම


* පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළු සමයේ ගිනි ඇවිලවීම
සඳහා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ජැකුවින් පාක්‌
ගෙන්වීමේ සැලසුමක්‌ අසුවේ

* අපට තොරතුරු දෙන්නේ කොළඹ එන්.ජී.ඕ. සහ
මාධ්‍ය සංවිධානයි - කැනඩා විදේශ ඇමැති හෙළි කරයි

* බ්‍රිතාන්‍යයේදී තවීෂ ලකිඳු ඝාතනය වූයේ තංගල්ල
ඝාතනයට පලිගැනීමක්‌ සඳහා ද?

* චැනල් 4 නවසීලන්තයේ දියත් කළ මෙහෙයුම බිඳ වැටේ

* "ත්‍රස්‌තවාදයේ ආධාරකරුවන් ත්‍රස්‌තවාදීහු මිස
යහපත් පුරවැසියන් නොවේ." - රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්

අධි තාක්‍ෂණික හමුදා උපාංග කොටි සංවිධානයට ලබාදීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරද පිළිගත් කැනඩා කොටි හිතවාදියකු වූ සුරේශ් ශ්‍රී ස්‌කන්ධරාජා හෙවත් වෝටර්ලු සුරේශ්ට ඇමරිකාවේ නිව්යෝර්ක්‌ අධිකරණය පසුගිය සඳුදා වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළේය. එහෙත් මේ කොටි හිතවාදියාට එල්ලවී තිබූ ත්‍රස්‌තවාදී චෝදනා ඉවත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක්‌ යවා තිබූ බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු නියතය. පසුගිය මාසයේදී වෝටර්ලු සුරේශ් නමැත්තාට ඇප ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥයා ඉදිරිපත් කළ ඇප අයදුම්පතින් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම අඩංගු ලිපිය ද මතුවිය.

ද්‍රවිඩ ජනතාව සමග සහජීවන ක්‍රියාමාර්ගයකට යොමුවීම සඳහා ශ්‍රී ලංකා රජය එකී ඉල්ලීම කර ඇති බවද අධිකරණය හමුවේ ප්‍රකාශයට පත්විය. මේ ලිපිය විනිසුරු රේමන්ඩ් ඩිසරිගේ අවධානයට ද යොමු විය. වෝටර්ලු සුරේශ් කැනඩාවේ පුරවැසි බව ලබාගත් ද්‍රවිඩයෙකි. ඔහු වෙනුවෙන් ඇමරිකානු අධිකරණය හමුවට එවන් ලිපියක්‌ යෑවීමට උපදෙස්‌ ලැබුණේ කෙසේද? සුරේශ් ශ්‍රී ස්‌කන්ධරාජා යනු එසේ මෙසේ කොටියෙක්‌ නොවේ. 2002 සටන් විරාම ගිවිසුමත් සමගම ඔහු වන්නියට පැමිණ කොටි නායකත්වය හමුවිය. අනතුරුව කැනඩාවට පැමිණි ඔහු ඇමරිකානු බැංකු ගිණුමකින් ඩොලර් 13150 ක්‌ වන්නි කොටින්ට යෑවීමට ක්‍රියා කළේය.

ඉන් පසු 2004 ඔක්‌තෝබර් මස මොහු කැනඩා කොටි හිතවාදීන් පිරිසක්‌ වන්නියට එවීමට ක්‍රියා කළේය. මේ කොටි හිතවාදීන් කැනඩාවේ සිට හිම වලසුන් නමැති සෙල්ලම් බඩු ද ගෙන එනු ලැබීය. එම හිම වලසුන් තුළ සඟවා තිබුණේ අධි තාක්‍ෂණික ජී.පී.එස්‌. මාලිමා යන්ත්‍ර හා කුඩා පරිගණක යන්ත්‍රයි. වෝටර්ලු සුරේශ් ශ්‍රී ලංකාවට එවූ කොටි කණ්‌ඩායමට කටුනායක ගුවන්තොටුපළේ දී හා ඕමන්තෙයි මුරපළේ දී හැසිරෙන ආකාරය ගැන ද කියා දුන්නේය. "නුඹලා කටුනායකට ගොඩබැස රේගුව වෙත එන අවස්‌ථාවේ අපි නිවාඩුවකට පැමිණියා කියා චොක්‌ලට්‌ බෑගයක්‌ දීපල්ලා. රේගුවෙන් පිටවූ විගස නුඹලාව උතුරට ගෙන යැමට වෑන් රථයක්‌ සූදානම්ව තිබෙනවා. වවුනියාවේදී හමුදා මුරපළේ සෙබළුන්ට චොක්‌ලට්‌ සහ සිගරට්‌ දීපල්ලා. පවුලේ අය බලන්න උතුරට යන බව ඉංගී්‍රසියෙන් කියාපල්ලා. හමුදා මුරපලින් පිටවී විනාඩි පහකට පසු නුඹලට කොටි මුරපළක්‌ හමුවෙයි. එතනදී වෝටර්ලු සුරේශ් එ ව්වා කියා කියාපන්"යෑයි සුරේශ් ශ්‍රී ස්‌කන්ධරාජා පවසා ඇත.

මොහුගේ උපදෙස්‌ මත හිම වලසුන් සෙල්ලම්බඩු වන්නියට ගෙනයැම සඳහා හමුදා මුරපළින් බාධාවක්‌ ඇතිවූයේ නැත. එවකට සිටි රජය සටන් විරාමයෙන් අන්ධවී සිටීම නිසා වෝටර්ලු සුරේශ්ගේ උපක්‍රමය සාර්ථක විය. අනතුරුව ඔහු ඇමරිකානු සමාගමකින් සබ්මැරීන් සැලසුම් පරිගණක මෘදුකාංග ඩොලර් 22000 කට ලබාගැනීමට ද ක්‍රියා කර ඇත. මුලතිව් වෙරළේ තිබී හමුවූ සබ්මැරීන සැකිල්ල හා කුඩා සබ්මැරීන් යාත්‍රා කීපය ඊට නිදසුනකි. ඉන් පසු බ්‍රිටිෂ් කලම්බියා සමාගමකින් රාත්‍රිය පෙනෙන නයිට්‌විෂන් උපාංග ද ඇමරිකානු රේතියොන් සමාගමින් රේකියොන් රේඩාර් ද මිලයට ගැනීමට සැලසුම් කර තිබේ. මුහුදු කොටි යාත්‍රාවල සවිකර තිබුණේ රේතියොන් රේඩාර් විශේෂයයි. එසේම කෆීර් හා එම්.අයි. 24 හෙලිකොප්ටර් විනාශ කරලීමට ගුවන් යානා නාශක මිසයිල මිලයට ගැනීමට සැලසුම් කළේය.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදය තවදුරටත් ගෙනයැම සඳහා ප්‍රභාකරන්ට උපාංග සැපයූ වෝටර්ලු සුරේශ්ව බේරා ගැනීමට කැනඩාවේ ඊළාම් මන්ත්‍රීවරියක්‌ වූ රාධිකා සීතාසබෙයිසන් සහ ටොරොන්ටෝ නුවර එන්.වී.වී. පක්‍ෂ මන්ත්‍රී ක්‍රෙග් ස්‌කොට්‌ ද චරිත සහතික ලබා දුන්නේය. එවන් චරිත සහතික සුරේශ්ගේ නීතිවේදියා අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය. සුරේශ් මානව හිමිකම් ක්‍රියාකාරියකු ලෙසට කැනඩා මන්ත්‍රීවරයා හඳුන්වනු ලැබීය. එහෙත් ඇමරිකානු නඩු අධ්‍යක්‍ෂවරයා සුරේශ්ට වසර 15 ක සිරදඬුවමක්‌ දිය යුතු යෑයි කියා සිටියේය. කැනඩා රහස්‌ පොලිසිය සුරේශ්ව අත්අඩංගුවට ගෙන පසුව ඇමරිකාවට භාරදීමට ක්‍රියා කර තිබිණි. මෙම කොටි හිතවාදියාව ඇමරිකාවට භාරදීමට එරෙහිවෙමින් ඔහුගේ නීතිවේදීන් වූ ජෝන් නොරිස්‌ හා බ්‍රයිඩ් බෙතෙල් අධිකරණය හමුවේ තර්ක කළේ සුරේශ් ස්‌කන්ධරාජා අපරාධකාරී ක්‍රියාවක්‌ සිදු කර ඇත්තේ කැනඩාවට හා ඇමරිකාවට එරෙහිව නොවන බවය. එහෙත් කැනඩා අධිකරණය තීන්දු කළේ වෝටර්ලු සුරේශ් ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ වෙනුවෙන් සහාය දැක්‌වීම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ බවය.

ඒ වන විට කැනඩා පොලිසිය නීඩල් ව්‍යාපෘතිය නමින් මෙහෙයුමක්‌ දියත් කර වෝටර්ලු සුරේශ්ගේ සියලු ක්‍රියාකාරකම් සොයාගෙන තිබිණි. ඔහු කොටින්ට සන්නිවේදන උපාංග පවා ලබාදීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය විය.

එසේම වෝටර්ලු සුරේශ්ගේ පියා ප්‍රභාකරන්ගේ ගම වූ වැල්වැටිතුරේයි පදිංචිකරුවෙකි. සව්දි තෙල් නැවක සේවය කළ ඔහු එම තෙල් නැව කැනඩාවේ මොන්ටි්‍රයල් නුවරට පැමිණි පසු ඉන් පැන සැඟවිණි. එවකට සුරේශ්ගේ වසය 7 කි. තමාට වැල්වැටිතුරේදී සෙබළුන් රයිµල්වලින් පහර දුන් බවද ඔහු සාවද්‍ය ප්‍රකාශයක්‌ කළේය. 1994 දී සුරේශ්ගේ පවුලේ සියලු දෙනාටම කැනඩා පුරවැසි බව හිමිවිය. මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ ජනතාව විනාශ කිරීම සඳහා කොටි ත්‍රස්‌තයන්ට උපාංග ලබාදීමට සහාය වූ වෝටර්ලු සුරේශ් වෙනුවෙන් ඇමරිකානු අධිකරණයට ලිපියක්‌ යෑවීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළේ ඇයි? මෙය කොටින්ට එරෙහි යුද්ධය දිනිය නොහැකි යෑයි පැවසූ දැන් මෙරට ආරක්‍ෂක යාන්ත්‍රණයට රිංගා සිටින ඊනියා යුද විශේෂඥයකුගේ කේවට්‌ට උපදෙසක්‌ද?

මේ අතර කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කර ඇත. හාපර්ට සමුළුව වර්ජනය කිරීමට මග පාදා ඇති එක්‌ පාර්ශ්වයක්‌ නම් කැනඩා කොටි ඩයස්‌පෝරාවයි. එසේනම් අනිත් පාර්ශ්වය කවුද? ඒ ඩොලර් අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සංවිධාන හා වෙනත් ආයතන හා පාර්ශ්වයන්ය. 2012 පෙබරවාරි 05 වැනිදා ආරක්‍ෂක විශේෂාංගයෙන් අපි කැනඩා විදේශ ඇමැති ජෝන් බෙසාඩ් කළ ප්‍රකාශය විශේෂයෙන් හෙළි කළෙමු. කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයාඩ්ට ඇත්තේ ඇමරිකානු මාෆීයා කල්ලි නායකයකුගේ මුහුණකි. 2002 පෙබරවාරි මුල් සතියේ දිනෙක ඔහු ලන්ඩන් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමිති අමතා දේශනයක්‌ පැවැත්වීමෙන් පසු ශිරානි ජෝශප් නමැති ඊළාම්වාදිනියක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ත්‍රීන්ට වධහිංසා සිදුවන බවට වාර්තා වෙනවා. ඒ ගැන ඔබට තොරතුරු ලැබෙන්නේ කොහෙන්ද යෑයි විමසුවාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතැයි යන කියමන සනාථ කරමින් බෙයාඩ් මෙසේ පළ කළේය. "අපේ ප්‍රධාන මූලාශ්‍රය කොළඹ කැනඩා තානාපති කාර්යාලයයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෙනත් ආයතන සහ අනිකුත් අයගෙන් අපි තොරතුරු ලබාගන්නවා යෑයි බෙසාඩ් කියා සිටියේය.

එසේ නම් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව කඩාකප්පල් කිරීමට උත්සාහ කරන සතුරන් කව්දැයි සනාථ නොවන්නේද?

මෙලෙස රට තුළ සිටින ෙද්‍රdaහීන් ශ්‍රී ලංකාව අවමානයකට ලක්‌ කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ කිලිනොච්චි මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් මතුවූයේ නෝර්වේහි ඔස්‌ලෝ නුවරිනි.

ඔස්‌ලෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීහු නිදා සිටිය දී ශ්‍රීධරන් නෝර්වේ රාජ්‍ය නිලධාරීන් හා විවිධ පාර්ශ්ව හමුවී රහස්‌ සාකච්ඡා පවත්වා ඇත.

යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියකු වූ ශ්‍රීධරන් නෝර්වේ වෙත පැමිණීමේ අබිරහස්‌ මෙහෙයුම කුමක්‌ද?

වත්මන් නෝර්වේ අගමැතිනිය අර්නා සෝල්බර්න්ය. 2005 අප්‍රේල් මස ඇය ප්‍රකාශයක්‌ කරමින් කොටින්ට අරමුදල් ලබාගැනීමට නීත්‍යානුකූල හිමිකමක්‌ ඇතැයි පවසා තිබිණි.

එසේනම් ශ්‍රීධරන් නෝර්වේ ගියේ කුමකටදැයි සනාථ නොවන්නේද? ඔස්‌ලෝ නුවර ආරංචි මාර්ග පැවසුවේ 2014 ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට නෝර්වේ රජය සූදානම් වන බවයි.

මෙවන් පසුබිමක්‌ මැද බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ විය. මේ සතියේ අඟහරුවාදා කැනඩාවේ ඔට්‌ටාවා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියේ ඊළාම් මන්ත්‍රීවරිය වූ රාධිකා සීතාසබෙයිසන් නමැත්තියගේ ප්‍රධානත්වයෙන් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කිරීම ගැන අගමැති හාපර්ට හා විදේශ ඇමැති බෙයාර්ඩ්ට ස්‌තුතිය පළ කිරීමේ උත්සාවයක්‌ පැවැත්විණි. පීටර් මේස්‌, ෙ-සන් කෙනී, ක්‍රිස්‌ ඇලෙක්‌සන්ඩර්, බාල් ගෝසල්, මොරිස්‌ රොසන්බර්ග් යන ඇමැතිවරු ද තවත් මන්ත්‍රීවරු තිහකට අධික පිරිසක්‌ ද ඊට සහභාගි වී ඇත. මෙහිදී ස්‌තුති කතාව කර ඇත්තේ කැනඩාවේ කොටි ප්‍රධානියකු වූ නේරු ගුණරත්නම්ය.

කැනඩා අගමැතිවරයා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කිරීමේ පසුබිම සනාථ වන අවස්‌ථාවේ එකී සමුළුව ආවරණය කිරීම සඳහා රජය චැනල් 4 රූපවාහිනි සේවාවට අවසර දුන්නේය. මෙම සමුළුව ආවරණය කිරීමට එකී රූපවාහිනි සේවාවේ ජොනතන් මිලර් නමැත්තා ද අයදුම් කර තිබිණි. මිලර් මෙයට කලකට පෙර සංචාරකයකු වේශයෙන් මෙරටට සම්ප්‍රාප්ත වී වවුනියාවට ගොස්‌ කොටි හිතවාදීන් හමුවී ආපසු බ්‍රිතාන්‍ය බලා ගියේය. එහෙත් මෙරට බුද්ධි අංශවලට ඒ බව වාර්තා වූයේ නැත. ජොනතන් මිලර් යළිත් වරක්‌ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ආවරණය කිරීම සඳහා මෙටට ඒමට උත්සාහ කරන්නේ චැනල් 4 ඊළඟ චිත්‍රපටය සඳහා සාවද්‍ය තොරතුරු ලබාගැනීමට බව පැහැදිලි වී ඇත. මේ අතර චැනල් 4 නෝපයර් සෝන් චිත්‍රපටය නවසීලන්තයේ ඕක්‌ලන්ඩ් අගනුවර ප්‍රජා ශාලාවකදී තිරගත කෙරිණ. ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය එය සංවිධානය කර තිබිණි. ඊළාම්වාදී ද්‍රවිඩයන් නව දෙනකු පමණක්‌ ශාලාවේ අසුන් ගෙන සිටින අවස්‌ථාවේ නවසීලන්ත ස්‌පර් ශාඛාවේ සභාපති මහින්ද අත්තනායක ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ එහි අවතීර්ණ වූහ. "චැනල් 4 චිත්‍රපටයේ මුළුමනින්ම බොරුවක්‌ යෑයි හඬ නැගූ ඔවුහු කොටි අපරාධ දැක්‌වෙන ලයිස්‌ අපොන් නමැති වීඩියෝ පටයේ පිටපත් නොමිලේම නවසීලන්ත ජාතිකයන්ට බෙදාදීමෙන් ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සැලසුම කඩාකප්පල් විය. ඕක්‌ලන්ඩ් නුවර පදිංචි ද්‍රවිඩ නීතිඥවරියන් චැනල් 4 චිත්‍රපටය සත්‍යයක්‌ බව කියමින් ශ්‍රී ලංකා නායකයන් යුද අධිකරණය වෙත ගෙන යායුතු බවට පැවසුවත් ස්‌පර් කණ්‌ඩායම ඉදිරිපත් කළ අභියෝග හමුවේ ඇමනෙස්‌ටි නියෝජිතවරුන්ට කටඋත්තර නැති විය. ප්‍රභාකරන් බෝම්බ පුපුරා ළදරුවන් කපා කොටා මරද්දී නුඹලා කොහේ සිටියේදැයි ශ්‍රී ලාංකිකයන් නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වීමට ඇමනෙස්‌ටි කණ්‌ඩායමට නොහැකි විය. මේ තත්ත්වය මැද උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උතුරින් හමුදා සෙබළුන් ඉවත් කරගන්නැයි රජයට කීවේය. එකී ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වූ ජනාධිපතිවරයා උතුරින් හමුදා ඉවත් කරගන්නේ නැතැයි සඳහන් කළේය.

මේ අතර තංගල්ලේ හෝටලයකදී කුරම්ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික රතු කුරුස සේවකයා ඝාතනයවීම පිළිබඳව බ්‍රිතාන්‍ය පුවත්පත් ගතවූ කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ප්‍රචාරයක්‌ ගෙන ගියේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ අර්බුදයක්‌ මතුවී ඇති බවද ගාඩියන් පුවත්පත පසුගිය ඉරිදා කියා සිටියේය. එවන් පසුබිමක්‌ මැද පසුගිය ඉරිදා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ් ප්‍රදේශයේදී තවීෂ රකිඳු පීරිස්‌ නමැති තරුණයා අබිරහස්‌ ලෙස ඝාතනය විය. ඔහුගේ ඝාතනය ගැන බ්‍රිතාන්‍ය රජය මෙතෙක්‌ කිsසිදු ප්‍රකාශයක්‌ කර නැති අතර පරීක්‍ෂණ කටයුතු ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියට ද පවරා නැත.

තවීෂ ඝාතනය වූයේ කුරම් ෂෙයික්‌ වෙනුවෙන් පළිගැනීමටද? පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සතියක්‌ තිබියදී කොළඹ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය නමැති නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කල්ලිය තිඹිරිගස්‌යායේ හෝටලයක මාධ්‍ය සමුළුවක්‌ පවත්වනු ලැබීය. මේ සමුළුවට පැමිණියේ ස්‌විට්‌සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් මල්ලි නමැති හිටපු කැරලිකරුවාගේ මිතුරියක්‌ වූ ජැකුලින් පාක්‌ හා චෙනී නමැති කාන්තාවන් දෙදෙනෙකි. මින් ජැකුලින් පාක්‌ මෙයට පෙර හොර රහසේ කීප වතාවක්‌ම මෙරටට පැමිණි තිබූ බව හෙළි විය. ආගමන විගමන බලධාරීහු හෝටලයට කඩාවදින අවස්‌ථාවේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියාට කටඋත්තර නැති විය.

මේ අය නිවාඩුවකට ශ්‍රී ලංකාවට ඇවිල්ලා. අපි ඔවුන් ගැන දන්නේවත් නැහැ යෑයි එන්.ජී.ඕ. ක්‍රියාකාරියා බුලත් හපමින් ආගමන විගමන නිලධාරීන්ට පවසනු ලැබීය. එහෙත් රහස හෙළි විය. ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලනයට සම්බන්ධ ජැකුලින් පාක මෙරටට පැමිණියේ සංචාරක වීසා බලපත්‍රයක්‌ මතය. ඇය හෝටලයේ පැවැති සාකච්ඡාවේ තේමාව වූයේ නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීමේ දී එල්ල වන අභියෝගතා යනුවෙනි. කොටි හඬ ගුවන්විදුලියට බෝම්බ දැමීම වැරදි යෑයි පැවසූ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ජැකුලින් පාක්‌ව කැඳවා සාකච්ඡා කළේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළු සමයේ ගිනි ඇවිලවීමට නොවේද?

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.