පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුව

පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුව පිළිබඳ අපට ද විවේචන තිබේ. එහෙත් පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිවීම රටක්‌ වශයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන්ද අප ලත් ඓතිහාසික ජයග්‍රහණයක්‌ ලෙස අපි සලකන්නෙමු. මේ සමුළුව වෙනුවෙන් කෙරෙන වැය අපගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බවට කෙරෙන විවේචනවලද යම් පදනමක්‌ තිබේ. රටට ලැබෙන දෙයට වඩා තමන්ට ලැබෙන දෙය පිළිබඳවම සිතන ගොදුරු ලොබ මානසිකත්වයට යටවූවෝ මෙබඳු අවස්‌ථා සිය උදරපෝෂණයට යොදා ගනිති. එහෙත් එනිසාම ලෝක නායකයන් උදෙසා සැකසෙන මෙම පොදු වේදිකාවේ හිමිකරු ලෙස අපට ආඩම්බර විය නොහැකිද?

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ඇතැම් බටහිරයෝ රිසි නොවෙති. ලෝකයෙන් ශ්‍රී ලංකාව හුදෙකලා කිරීම සඳහා කැප වූ ඇතැම් බටහිරයන්ටද ශ්‍රී ලංකාව ස්‌වාධීන රටක්‌ ලෙස හිස ඔසවනු දකිනු නොරිසි ෙද්‍රdaහීන්ටද මේ සමුළුව ඇදයට පෙනීම ස්‌වභාවිකය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ප්‍රමුඛ දෙවන ජාතික නිදහස්‌ සටනේ නියමුවන් යුද අපරාධකරුවන් ලෙස අධිරාජ්‍යවාදයේ විදුලි පුටුවට රෑගෙන යැමට අරඅඳින බටහිරයෝද උන්ගේ ඉඳුල් බුදින නරුමයෝද මේ සමුළුවට තවමත් සතුරුකම් පාති. මේ සමුළුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීම ඔවුහු කෙසේ දරා ගනිත්ද? බටහිරට ගැති නොවූ නායකයකු ලෙසත් පෙරදිග සංස්‌කෘතිය මත දෙපාගත් ජාතික නායකත්වයක සැබෑ උරුමක්‌කාරයකු ලෙසත් කැපී පෙනෙන නායකයකුට එබඳු ගෞරවනීය භූමිකාවක්‌ හිමිවීම ඔවුහු දුර්මුඛ නොකරත්ද? එදා ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස නොබැඳි රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට මෙබඳුම විරෝධයක්‌ විවේචනයක්‌ නැඟුණු අයුරු ඉතිහාසය දන්නෝ දනිති.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ කරමින් දෙමළ ජනතාවට හිංසා කරන රටක්‌ බවට ලෝක ප්‍රජාව තුළ තහවුරු කිරීමට කැප වී සිටින ඊනියා දෙමළ ඩයස්‌පෝරාවද මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම නොඉවසති. ඉන්දියාවේ මන්මෝහන් සිං අගමැතිවරයා මැදිවී සිටින්නේද මේ වර්ගයේ නූල් සූත්තරයකට බව නිසැකය. තමිල්නාඩු මහ ඇමැතිනි ජෙයලලිතාගේ උදහස මතුවන්නේත් සිංහල විරෝධී අවිදු අඳුරෙන් ජනිතව වූ වෛරයෙන් බව ද නිසැකය.

කෙසේ වුවද ඉන්දීය අගමැතිවරයා මෙබඳු දුෂ්ට බලවේගවලට බියෙන් සිය සමීප අසල්වැසියාට මෙන් චිරකාලීන සංස්‌කෘතික මිතුරාටද පිටුපාන්නේ නම් එය ඓතිහාසික වරදක්‌ වනු ඇති බව අපගේ අදහසය. අනෙක්‌ කරුණ නම් උතුරේ දෙමළ නායකත්වය හිමිව සිටින දෙමළ ජාතික සන්ධානයේ අවිචාරශීලී දේශපාලනයද මේ සමුළුවට එරෙහිවීමට ගත් තීන්දුවය.

දෙමළ සන්ධානයේ මතභේද තුළින් සිය ගමන ඇරඹූ උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් මහතාද අද මැදිව සිටින්නේ උභතෝකෝටිකයකටය. කොළඹට ඇවිත් යාපනයටත් එන්නැයි ඔහු ඉන්දීය අගමැතිවරයාට ලියන්නේ සිය හෘද සාක්‌ෂිය නැගී සිටි මොහොතකය. එහෙත් ඔහු යටකර සිටින්නාවූද, ඔහුට දෙමළ ජාතිවාදයේ පීඩනය එල්ල කරන්නාවූද පිරිස්‌ නිසා අද ඔහු දේශපාලන සරණාගතයකු බවට පත්වෙමින් සිටීද යන්නත් අපට වරෙක සිතේ.

කුමක්‌ වුවත් සමුළුව වර්ජනය කරන දෙමළ සන්ධානයට ඒ රාජ්‍ය නායකයන් හොර පාරෙන් හමුවීමේ වුවමනාවක්‌ද තිබෙන බව පෙනේ. දෙමළ ජාතික සන්ධානයත්, ඊනියා දෙමළ ඩයස්‌පෝරාවත් නඩත්තු කරන ජනවාර්ගික ගැටලුව නමැති මිථ්‍යාව ගැන කතා කිරීමට තමන්ට අවශ්‍ය බව දෙමළ සන්ධානයේම සුමන්තිරන් මහතා කියා තිබීම ඊට හේතුවයි. දෙමළ ජාතික සන්ධානයේ කුහක දේශපාලන චර්යාව එයින් ප්‍රකට නොවේද? සත්තකින්ම අද දෙමළ ජාතික සන්ධානය හැසිරෙන්නේ ද එදා රජීව් ගාන්ධි අගමැතිවරයා මේ රටට දුන් 13 වැනි සංශෝධනය නමැති රත්කරන ලද කේතලය බදාගත් වළහාට නොදෙවෙනි ආකාරයෙනි.

අවසන් වශයෙන් තවත් එක්‌ දෙයක්‌ කිව යුතුය. එනම් මේ සා ඉහළ පිරිවැයක්‌ දරමින් මේ රටේ පැවැත්වීමට යන එම සමුළුවෙන් ලබා ගත හැකි උපරිම ප්‍රතිඵල රටට ලබාදීම ඉතා වැදගත්ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක චිත්‍රය යහපත් පැහැපත් එකක්‌ බවට පෙරළා ගැනීමට මෙයින් ලැබෙන අවස්‌ථාව ප්‍රයෝජනයට ගත යුතුය. එසේම සංචාරක ක්‍ෂේත්‍රය හා විදේශ ආයෝජන පිළිබඳව ද සාධනීය පලයක්‌ අත්කර ගැනීමටද සැලසුම් සකස්‌ වුවමනාය.

ජාත්‍යන්තර සමුළු, ජගත් ක්‍රීඩා උත්සව වැනි දේවල් තම රටවලට ලබාගැනීමට අද ලෝකයේ තරගයක්‌ද තිබේ. ඒ ඒවායින් රටකට හිමිවන සාධනීය ප්‍රතිඵල නිසාමය. එනිසා මේ සමුළුවද අපගේ ජාතික මෙන්ම සංස්‌කෘතික අභිලාෂයන් සපුරාගෙන සැබැවින්ම සාඩම්බර ජාතියක්‌ ලෙස ලෝකයේ සෙසු රටවල් සමඟ පෙළට සිටගැනීමට හැකි වරමක්‌ බවට පත්කර ගැනීමට රජය ක්‍රියා කළ යුතුය. විවේචකයන් දුර්මුඛ කළ හැක්‌කේ එබඳු සාධනීය පියවරකින් පමණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.