මිය යනතෙක්ම ගායනය අත් නොහළ....
මන්නා ඩේ

''ජීවතුන් අතර සිටි හින්දි සිනමාවේ ස්‌වර්ණමය යුගයේ මා සමග ගීත ගැයූ අවසන් ගායකයාද මිය ගියා.'' භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංඡේස්‌කාර්

''ඔහු එක්‌ ජන කොටසකට පමණක්‌ අයත් ගායන ශිල්පියකු නොව සමස්‌ත මානව වරගයාටම, සමස්‌ත සංගීත ලෝකයට අයත් ගායන ශිල්පියෙකි.'' - බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මමතා බැනර්ජී. මෙම ප්‍රකට කාන්තාවන් දෙදෙනා විසින් මෙසේ සදානුස්‌මරණීය ලෙස ඇගැයීමට ලක්‌ කරන ලද්දේ ඉකුත් බ්‍රහස්‌පතින්දා (24 දා) සිය ජීවිතයෙන් සදහටම සමුගත් අසහාය ගායන ශිල්පී මන්නාඩේවය.

එක්‌ ජන කොටසකට හෝ රටකට සීමා නොවී සංගීතය යනු විශ්වීය භාෂාවක්‌ බව පසක්‌ කරලමින් සිය නිර්මාණයන් හරහා ජාත්‍යන්තර මට්‌ටමේ රසික රසිකාවියන් පිරිසක්‌ ඇතිකර ගත් මන්නාඩේ මිය යන විට 94 වැනි වියෙහි පසුවිය.

දශක පහක පමණ කාලයක්‌ හින්දි සිනමා සංගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ රසාලිප්ත ගීත රැසක්‌ සිය මිහිරි කටහඬින් ගායනා කළ මන්නාඩේ, ප්‍රබෝද් චන්ද්‍රා ඩේ නමින් 1919 වසරේ මැයි මස පළමුවැනිදා ඉන්දියාවේ කොල්කටා නගරයේ උපත ලැබීය. ඔහුගේ මව මහමායා වූ අතර පියා පූර්ණ චන්ද්‍රාඩේ විය. ඉතා කුඩා පාසලක්‌ වූ ඉන්ද්‍රා බාබුර් පාඨශාලා නමැති පෙරපාසලෙහි සිය මූලික අධ්‍යාපනය ලැබූ මන්නාඩේ 1929 වසරේ සිට තම පාසලෙහි ළමා ගායකයකු වශයෙන් කටයුතු කළේය.

මුලදී ස්‌කොටිෂ් ච(ර්)ච් කොලේජියේට්‌ හා ස්‌කොටිෂ් ච(ර්)ව් යන පාසල්වල අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් කාලයේ වැඩි දක්‍ෂතාවක්‌ දැක්‌වූයේ මල්ලවපොර හා බොක්‌සිං යන ක්‍රීඩාවන් සඳහායි. විශේෂයෙන්ම මල්ලවපොර ක්‍රීඩාව සඳහා දස්‌කම් පෑ මන්නාඩේ ප්‍රාන්ත මට්‌ටමින් මල්ලවපොර ශූරයකු වූ අතර ඉන්දියාවේ හොඳම ක්‍රීඩකයා වීම තම අරමුණ කර ගෙන සිටියේය.

උසස්‌ අධ්‍යාපනය සඳහා විද්‍යාසාගර් විදුහලට ඇතුළත් වූ පසු සමස්‌ත බෙංගාලීය මල්ලවපොර ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහාද ඔහු සුදුසුකම් ලැබුවේය. තමා තරුණ කාලයේ අරමුණ කරගෙන සිටියේ ඉන්දියාවේ හොඳම මල්ලවපොර ශූරයා බවට පත්වීම බවත් එහෙත් පාසල් සමයෙන් පසු තරුණ වියට පත්වත්ම තම ජීවිතය හා ආත්මය සංගීතය විසින් නතුකර ගත් බව මන්නාඩේ සිය ජීවිත කතාව ඇතුළත් ''මෙමරිස්‌ කම් අලයිව්'' නමැති කෘතියෙහි සඳහන් කර තිබිණි.

තරුණ මන්නාඩේ සංගීතය සඳහා යොමු කරවන ලද්දේ ඔහුගේ මාමා කෙනෙකුවූ සංගීතාචාර්ය ක්‍රිෂ්ණා චන්ද්‍රාඩේ විසිනි. මන්නාඩේ තම සංගීත අධ්‍යාපනය හදාරන ලද්දේද ක්‍රිෂ්ණා චන්ද්‍රඩේ හා උස්‌ටාඩ් ඩබීර් කාන් යන සංගීතවේදීන් යටතේය. පාසල් වියේදී විවිධ මට්‌ටමේ අන්තර් පාසල් සංගීත තරගාවලි තුනකදී වසර තුනක කාලයක්‌ ප්‍රථම ස්‌ථානය දිනාගත් මන්නාඩේට සංගීතය හදාරා නිමවූ පසු ඔහුගේ මාමා විසින් ප්‍රබොද් චන්ද්‍රා ඩේ යන නම වෙනුවට මන්නාඩේ යන නම ලබා දුන්නේය.

මන්නාඩේ යන නමින් සිය ගායන හැකියාවන් විදහා දැක්‌වීමට ඔහුට ලැබුණු පළමු අවස්‌ථාව වූයේ 1942 වසරේ තිරගතවූ ''තමන්නා'' චිත්‍රපටයෙහි ගීත ගායනා කිරීමට ලැබුණු අවස්‌ථාවයි. එම චිත්‍රපටයෙහි සාර්ථකත්වයත් සමගම දිගටම චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සංගීත ලෝකයේ ක්‍රමයෙන් ඉදිරියට පැමිණි මන්නාඩේ 1942 වසරේ සිට ඔහු මිය ගිය 2013 වසර දක්‌වා ගීත 4000 කට අධික සංඛ්‍යාවක්‌ පටිගත කර තිබිණි. හින්දි ගීතවලට අමතරව ඔහු බෙංගාල, මලයාලම්, ගුජරාටි, මරාති, කන්නඩ හා ඇසැම් යන භාෂාවන්ගෙන්ද ගීත ගයා තිබිණි.

මන්නාඩේ විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීත අතර ''දොa ආන්කේන් බරා හාත්'' (1957) චිත්‍රපටයෙහි අඩංගු ''ආයේ මාලික්‌ තෙරේ බන්දේ හම්'' ''කබුලිවාලා'' (1961) චිත්‍රපටයෙහි ''ආයේa මෙරේ පියාරේ වටන්'' ''මෙරී සුරත් තෙරී ආන්කේන්'' (1963) චිත්‍රපටයෙහි 'පුංචෝ නා කෙයිසේ මේනේ රයින් බීටායි'' ''දිල් හී තෝ න හේ'' (1963) චිත්‍රපටයෙහි ''ලගා චුන්රි මේං'' දාග් චුපාවුන් කෙයිසේ'' ''උප්කාර්'' (1965) චිත්‍රපටයෙහි ''කස්‌මි වාඩේ ජයාර් වාෆෙda'' ''වක්‌ත්' (1965) චිත්‍රපටයෙහි ''ආයේ මේරී සොහ්රා ජබීන්'' ''භූත් බංග්ලා'' (1965) චිත්‍රපටයෙහි ''ආඕ ටිව්ස්‌ට්‌ කරේන්'' ''ආනන්ද් (1969)චිත්‍රපටයෙහි ''සින්ද ගී කෙයිසී හේ පහේලි'' ''මේරා නාම් ජෝකර්'' '(1969) චිත්‍රපටයෙහි ''ආයේ බාසි සරාදේක්‌ කේ චලෝ'' ''ඒක්‌ පුල් දෝමාලි (1969) චිත්‍රපටයෙහි ''මුඡේ සුරඡ්කහු'' ''සන්ජීර් (1973) චිත්‍රපටයෙහි ''යාරි හේ ඉමාන් මෙරා'' ''ෂෝලේ (1975) චිත්‍රපටයෙහි ''යේ දෝස්‌ත තී හම් නහීන් තෝඩෙන්ගේ'' යන ගීත ප්‍රධානය.

තම ගීත ගායනාවන් වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් ඇතුළු විවිධ ප්‍රාන්ත රාජ්‍යයන් හා සංවිධානයන් විසින් ප්‍රදානය කරනු ලබන සම්මාන රැසකින් පිදුම් ලැබූ මන්නා ඩේ හට 1971 වසරේදී ''පද්ම ශ්‍රී'' හා 2005 වසරේදී ''පද්ම භූෂන්'' යන ගෞරව සම්මානයන් හිමි විය. 2007 වසරේදී උත්තරීතර ඩඩා සහෙබ් පල්කේ සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

අති සාර්ථක සංගීත දිවියකට උරුමකම් කී මන්නාඩේ සාර්ථක පවුල් ජීවිතයක්‌ ද ගත කළ තැනැත්තෙකි. 1953 වසරේදී සුලෝචනා නමැති තරුණිය හා විවාහ වූ ඔහුට දියණියන් දෙදෙනකු විය. දරුවන් ලැබූ පසුද තම බිරිය සමග අතිසාර්ථක යුගදිවියක්‌ ගත කළ මන්නාඩේ තම ජනප්‍රියත්වය කිසි විටකත් පවුල් ජීවිතයට බලපෑමක්‌ ඇති නොවන අයුරින් තබා ගැනීමට සමත් වීමෙන් වත්මන් සංගීත හා සිනමා ශිල්පීන්ටද ලබාදී ඇත්තේ අපූරු ආදර්ශයකි.

ඔහුගේ සංගීත දිවියට මහඟු අත්වැලක්‌ සැපයූ බිරිය වූ සුලෝචනා දිගු කලක්‌ පිළිකාවකින් පෙළෙමින් සිට 2012 වසරේදී මිය ගිය අතර ඇයට උපහාරයක්‌ වශයෙන් මන්නාඩේ විසින් මෙම වසර මුලදී තමන් විසින් ගී තනු නිර්මාණය කරන ලද ගීත 4 ක්‌ ඇතුළු ගීත 6 ක සංගීතය පටිගත කිරීමට පියවර ගත්තේය. ආශා ඕඩියෝ සමාගම යටතේ මෙම සංගීතයන් පටිගත කෙරුණු අතර මන්නාඩේ හදිසියේ රෝගාතුර වීම නිසාම එම සංගීතයට අදාළ ගීතයන් පටිගත කිරීමට ඔහුට නොහැකි විය.

කෙසේ වුවද සිය බිරිය වෙනුවෙන් මෙම අසහාය ගායන ශිල්පියා විසින් ගී තනු නිර්මාණය කරන ලද මෙම ගීත හය පටිගත කිරීම සඳහා මන්නාඩේ ගේ කටහඬට සමාන ගායන ශිල්පියකු යොදා ගන්නා බවත් එම ගීත ළඟදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව ආශා ඕඩියෝ සමාගම විසින් ප්‍රකාශ කර තිබේ.

මාස හයක කාලයක්‌ මුළුල්ලේ ශ්වසන ආබාධයකින් පෙළීම නිසා මන්නාඩේ සිටියේ එම කාලයේ බැංගලෝරයේ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමිනි.

ඔහුගේ අසනීප තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එකතු කරන ලද මුදල් හා ස්‌වර්ණාභාරණ තම බෑණනුවන් කෙනකු විසින් සොරා ගැනීම සම්බන්ධයෙන් කනස්‌සල්ලෙන් පසුවූ මන්නාඩේ එම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් තම බෑණාට එරෙහිව නඩු මගටද පිවිසියේය.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ වකුගඩු ද අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අනාවරණය වූ අතර ඔහුට ඒ සඳහා ඩයලිසිස්‌ ප්‍රතිකාරයද ලබාදීමට පියවර ගෙන තිබිණි. ඉකුත් බ්‍රහස්‌පතින්දා උදෑසන 3.45 ට පමණ හට ගත් හදිසි හෘදයාබාධයක්‌ හේතුවෙන් සදහටම දෙනෙත් පියාගත් මන්නාඩේ ගේ දේහය පවුලෙහි ඥාතීන් හා ලක්‍ෂ සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැද බැංගලෝරයේ පිහිටි ඔහුගේ බිරිය ආදාහනය කළ ස්‌ථානයේදීම ආදාහනය කෙරිණි.

ඒමන්ති මාරඹේ
emanthim@gmail.com

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.