අර්ජුනව දකුණු අප්‍රිකා ගෙනියන එක නැවැත්තුවෙ මම



වැනෙන තීරණ ගැනීම වෙනුවට දෙපයින් සිටගෙන තීරණ ගැනීමේ හැකියාව තිබූ බන්දුල වර්ණපුර නමැති ශ්‍රී ලාංකීය පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ ක්‍රිකට්‌ දිවියේ රසවත් කොටසක්‌ ඉකුත් සතියේ අප පළ කළෙමු. අද එතැන් සිට....

තහනම් දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ සංචාරය සංවිධානය කළ එවුන් පසු පසට යද්දී බන්දුල වර්ණපුර සහ නඩය ඉදිරියට තැබූ පය පසුපසට ගැනීමට අකමැති වීම බන්දුල වර්ණපුරගේ නායකත්වයේ නිර්භීත බව යළි යළිත් සිහිපත් කිරීමට ප්‍රධාන නිදසුනක්‌ය. ශ්‍රී ලංකා පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායකයා පමණක්‌ නොව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ පළමු එක්‌දින තරගය ජයග්‍රාහී කළ කණ්‌ඩායමේ නායකයාද වන්නේ බන්දුල වර්ණපුරය. ඒ 1979 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිවය.

පළමු එක්‌දින ජයග්‍රහණය සිහිපත් කළ වර්ණපුර, 'අපි දිනපු පළමු එක්‌දින ජාත්‍යන්තර තරගයේදී ඉන්දියානු කණ්‌ඩායමේ පොඩි අවුලක්‌ තිබ්බා. ඔවුන්ට ඒ තරගයේ නායකත්වය දෙන්නෙ කාටද කියන තිබුණ ප්‍රශ්නය තමයි එතනදි මතු වුණේ. කොහොම හරි අපේ නිත්‍ය නායක අනුර තෙන්නකෝන් අසනීප වූ නිසා මට මේ තරගය මෙහෙයවන්න ලැබුණා. සුනිල් ගවස්‌කාර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් එදා ඉන්දියාවට සෙල්ලම් කළත් අපි ඔවුන්ව පරාජය කිරීමට තරම් එදා ශක්‌තිමත් වුණා.'

නායකත්වයෙන් එහාටත් තමාගේ වගකීම ඉටු කළ වර්ණපුර එදා ඩී.එස්‌.ද සිල්වාට වෘත්තිය ක්‍රීඩකයකු ලෙස ගෙවීම් කරද්දී තමා ඇතුළු සෙසු ක්‍රීඩකයන්ටද එසේ කළ යුතු බවට සටන් කළේය. තම කණ්‌ඩායමේ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට්‌ දිවිය රැක ගැනීමට හෙතෙම නායකයකු ලෙස ඉදිරිපත් විය. ඇත්ත ඇති සැටියෙන් දකින වර්ණපුර එදා අපි නොදන්න ක්‍රිකට්‌ විත්ති මෙසේ අපට කීවේය.

ඩී.එස්‌.ද සිල්වාට ලබාදෙන ගෙවීම් අනිත් අයටත් ලබා දෙන්න කියල අපි එදා සටන් කළත් වැඩක්‌ වුණේ නැහැ. පස්‌සෙ ක්‍රීඩකයන්ට යම් දෙයක්‌ ලැබෙන්න පටන් ගත්තෙ අපි තහනම් දකුණු අප්‍රිකා සංචාරය ගියාට පස්‌සෙ. අපි ඒ සංචාරය ගියෙත් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට රිදවන්න ඕන හින්දා. ඒ සංචාරයෙන් පස්‌සෙ ක්‍රීඩකයන්ට කන්ට්‍රැක්‌ ලැබෙන්න ගත්තා. ක්‍රීඩකයන්ට හොඳක්‌ වෙන්න පටන් ගත්තා. ඩී.එස්‌. පළමු ටෙස්‌ට්‌ තරගයේ හොඳට කළා. හැබැයි එයාට වෘත්තීය ක්‍රීඩකයෙක්‌ ලෙස මුලින්ම සැලකුවට එයා කරපු දෙයක්‌ නැහැ.

දකුණු අප්‍රිකානු සංචාරයට මම ගියේ කාගෙවත් උගුලට අහුවෙලා නෙමෙයි. මොකද මාව කණ්‌ඩායමේ නායකත්වයෙන් අයින් කරන්න මුල ඉඳලම කට්‌ටියක්‌ සැලසුම් කළා. අපිට රිද්දන කට්‌ටියට රිද්දන්න. කීයක්‌ හරි හොයාගෙන ජීවත් වෙන්න තමයි දකුණු අප්‍රිකාවේ ගියේ. පළමු ටෙස්‌ට්‌ තරගය අපි ගැහුවෙ පුහුණුකරුවෙක්‌වත් නැතිව. හිටිය නමට දෙතුන් දෙනෙක්‌. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තමයි සියල්ල සංවිධානය කරමින් පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගි වුණේ.

දකුණු අප්‍රිකානු සංචාරයට ගියේ තහනමක්‌ බලාපොරොත්තුවෙන්ම තමයි. ඒත් අවුරුදු 25 ක තහනමක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. උපරිම අවුරුදු දෙක තුනක තහනමක්‌ පනවයි කියල තමයි හිතන් හිටියෙ. ඒ කාලෙ එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් ඔය වගේ වැඩක්‌ කරල ඒ ගොල්ලන්ට දීල තිබුණෙත් අවුරුදු තුන හතරක වගේ තහනමක්‌. නමුත් ඒ ගොල්ලන්ට ඒ තහනම ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න විතරයි. අපිට ක්‍රිකට්‌ වලට සම්බන්ධ කිසිම දෙයක්‌ කරන්න බැරි විදිහට තහනමක්‌ දැම්මා. අනික අපිට ඒ කාලෙ ක්‍රිකට්‌ ආයතනයත් එක්‌ක කිසිම කොන්ත්‍රාත්තුවක්‌ තිබුණෙ නැති නිසා ස්‌වාධීනව තීරණයක්‌ ගන්න පුළුවන් වුණා.

දකුණු අප්‍රිකානු සංචාරය ඔක්‌කොම සංවිධානය කළේ ටෝනි ඕපාත. එයා ඕලන්දයේ ඉඳල අපිට ලැබෙන ගෙවීම් සහ දකුණු අප්‍රිකානු සංචාරය කොහොමද වෙන්නෙ කියන සියල්ල සංවිධානය කළා. ලංකාවෙ මේක සංවිධානය කළේ දුලිප් මෙන්ඩිස්‌ සහ රෝයි ඩයස්‌. නමුත් ඒ ගොල්ලන් ගමනට සහභාගි වුණේ නැහැ. ඒ දෙන්නට දීර්ඝ කාලීනව නායකත්වය සහ උපනායකත්වය දීල පාලක මණ්‌ඩලය ඒ අයව නවත්ත ගත්තා. පාලක මණ්‌ඩලය අනිත් අයත් එක්‌කත් සාකච්ඡා කළා නම් දකුණු අප්‍රිකානු සංචාරය අපි යන එකත් නවත්ත ගන්න තිබ්බා.

නමුත් අපි දකුණු අප්‍රිකා නොගිහින් හිටියත් කැපිල්ලක්‌ එන්න තිබ්බා. මොකද ඒ වෙනකොට මාව කට්‌ටිය පාවාදීල ඉවරයි. ඒ සංචාරයේදී මට ඩොලර් තිස්‌ දාහක්‌ හම්බ වුණා. අනිත් අයට එක එක ගණන් ලැබුණා. අපිට ලැබුණ සල්ලි වලින් අපි ගෙවල් හදන එක තමයි කළේ.

ලස්‌සනම වැඩේ වුණේ අපි දකුණු අප්‍රිකාවෙ සෙල්ලම් කරන කොට ශ්‍රී ලංකා කණ්‌ඩායම සිම්බාබ්වේ සමග ක්‍රීඩා කරමින් හිටියෙ. ඒ සංචාරය අතරතුර දුලිප් මෙන්ඩිසුයි, ඩී.එස්‌. ද සිල්වා සහ රෝයි ඩයස්‌ ආයිත් දකුණු අප්‍රිකාවට එන්න හැදුවා. එතනදි ඒගොල්ලන් ඩොලර් තිස්‌ දාහක්‌ම ඉල්ලුවා. ඒ ගාන දෙන්න බැරි කියපු නිසා ඒ ගොල්ලන් ආවෙ නැහැ. පස්‌සෙ දුලිප්ල සිම්බාබ්වෙ සංචාරය ඉවර වෙලා දකුණු අප්‍රිකාවට එන්න හැදුවා. එතකොට අපේ මැච් භාගයක්‌ ඉවරයි. අපිට අවුරුදු 25 ක තහනම දැම්මට පස්‌සෙත් දකුණු අප්‍රිකාවට එන්න කැමැතියි කියල දුලිප්, රෝයි සහ ඩී.එස්‌. අත්සන් කරපු ලියකියවිලි තාම මගේ ගාව තියෙනවා. ඒ අයට එන්න බැරි වුණේ පාස්‌පෝට්‌ කළමනාකරු ගත්ත හින්දා.

අර්ජුන රණතුංගවත් ඔය දකුණු අප්‍රිකාවෙ එක්‌ක යන්න කට්‌ටිය හැදුවා. පස්‌සෙ මම කියල තමයි එයාව නැවැත්තුවෙ. මම කිව්වා අර්ජුනට ඔයා තාම පොඩි ළමයෙක්‌ අනාගතේ ඕගොල්ලන් බාර ගන්න ඉන්න කට්‌ටිය කියලා එයාව නැවැත්තුවා.

අපි අවුරුදු 25 ක තහනම අඩු වුණේ නඩුවක්‌ දාල නන්ද මැතිව්ස්‌ ඇපිල් කළාට පස්‌සෙ තමයි. ඒත් මට අවුරුදු 9 කට තහනම වැටුණා. අනිත් අයට අවුරුදු 8 යි. ඉතිං ඒකාලෙදි බැට්‌ එකක්‌ අතින් අල්ලන්නවත් ප්‍රැක්‌ටිස්‌ කරන්නවත් ගියේ නැහැ. ඒව කරන්නත් තහනම්නෙ. ජීවන ගමන උදෙසා මොකක්‌ හරි කරනව කියල හිතාගෙන මම මගේ වැඩක්‌ කරගෙන හිටියා.

තහනම ඉවර වුණාටත් පස්‌සෙ කට්‌ටිය කියන්නෙ ඒ දකුණු අප්‍රිකානු සංචාරයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මම කියල. නමුත් තරගාවලිය සංවිධානය කළ කට්‌ටිය ගැනම සහ අපිව පාවා දුන්න කට්‌ටිය ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.

වර්ණපුරගේ ක්‍රිකට්‌ තහනමින් පසුව ඇතැමුන් ඔහුව දේශෙද්‍රdaහියෙක්‌ ලෙස හංවඩු ගැහීමට උත්සාහ කළහ. පදනමක්‌ නොමැති එම වාචික ප්‍රහාරවලට වර්ණපුර නොසැලී මුහුණ දුන්නේය. විටෙක ඔහුට හතරවැනි තට්‌ටුවට නගින්නට සිදුවූ අවස්‌ථාද ඒ අතර විය.

83 ඔස්‌ටේ්‍රලියාවත් එක්‌ක අස්‌ගිරියෙ තිබුණ මැච් එකක්‌ බලන්න ගියා. ඒ මැච් එකේදි මිනිස්‌සු කුපිත වෙලා උද්ඝෝෂණයක්‌ කළා. ඒකටත් අපිව ගාවලා හතරවැනි තට්‌ටුවට ගෙනිච්චා. අපි විතරක්‌ නෙමෙයි අපි ගැන ලියපු මාධ්‍යවේදීන්වත් ගෙනිච්චා. ඒ තරමට අපි දිහා සමහරු සැකෙන් බැලුවෙ. පස්‌සෙ මැච් බලන්න යන එකත් නැවැත්තුවා.

ඒ දවස්‌වල මැච් එක ඉවර වුණාම පුටු 30 ක්‌ එළියෙන් තියල ටීම් දෙකම සාකච්ඡා කරනවා. අද ඉතින් මැච් එකක්‌ ඉවර වුණාම ෙµdaන් එක කණේ ගහගෙන තමන්ගෙ වාහනයෙන් ගෙදර යනවා. ඒ කාලෙ පාලක මණ්‌ඩලයට තිබුණෙ වාහන දෙකක්‌ වගේ. අපේ ඇඳුම් බෑග් සහ ක්‍රිකට්‌ ආම්පන්න වාහනයෙන් ග්‍රවුන්ඩ් එකට යවල අපි බස්‌ එකේ මැච් එකට යනවා. වනාතමුල්ල බස්‌ ස්‌ටෑන්ඩ් එකෙන් බස්‌ එකේ නැගල ගිහිල්ල තමයි අපි ක්‍රිකට්‌ ගැහුවෙ.

අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.