සංඝරත්නයේ  සමගිය සැපයකි
(සුඛා සංඝස්‌ස  සාමග්ගි)

සම්බුද්ධ ශාසනයේ ආරක්‌ෂාවත්, අභිවෘද්ධියත් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම සිංහල බෞද්ධයන්ගේ උසස්‌ ජීවන පරමාර්ථයකි. අවුරුදු දෙදහසකට අධික කාලයක්‌ තිස්‌සේ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව එම මෙහෙවරෙහි යෙදීම ගැන සිංහල බෞද්ධයෝ සතුටින් කල්පනා කරති. එම උදාර කාර්යයෙහි පෙරමුණ ගෙන කටයුතු කළේත්, කරන්නේත් ශ්‍රී ලාංකීය භික්‌ෂූන් වහන්සේය.

අතීතයේ සිටම මේ රටේ ජනතාවට ආදර්ශවත් වෙමින් දෙලොව යහපත පිණිස අවවාද, අනුශාසනා කළේ උන්වහන්සේය. "ගරුතර මහා සංඝරත්නය" යනුවෙන් ගෞරවනීය ලෙස සඳහන් කරන්නේ ඒ මෙහෙවර නිසාය.

පැරණි ශ්‍රී ලංකාවේ යම් සෞභාග්‍යටත් බවක්‌ සහ අභිමානවත් සභ්‍යත්වයක්‌ දැකිය හැකි නම් ඒ තත්ත්වය ඇතිකිරීමෙහිලා එතුමන්ලාගේ කැපවීම, මාර්ගෝපදේශ සහ ආශිර්වාදය බොහෝ සෙයින් ඉවහල් විය.

විදේශීය ආක්‍රමණත්, විදේශීය ආධිපත්‍යයත් නිසා ඒ අභිමානවත් සභ්‍යත්වය සුන්බුන් වුවද යළි සභ්‍යත්වය යම් පමණකින් ගොඩනැගීමේ පරමාර්ථයෙන් එදා මෙන්ම අද ද මහා සංඝරත්නය යම් ආකාරයකින් ඉදිරිපත් වන බව දැකිය හැකිය.

නිදහස ලබා ගෙවීගිය අවුරුදු හැටපහක කාලය තුළ එබඳු ඉදිරිපත්වීම් නිතර නිතර දැකිය හැකිවිය. එසේ ක්‍රියා කිරීමේදී රටේ විවිධ දේශපාලන පක්‍ෂවලට ලංවීමටත්, සම්බන්ධවීමටත් භික්‌ෂූන් වහන්සේට සිදුවිය. විදේශීය බලපෑමෙන් ඇතිවූ දේශපාලන පක්‍ෂ ක්‍රම අප රට තුළ බලවත් විෂමතා ඇතිකර තිබේ. ගිහි පැවිදි දෙපිරිසම එම විෂමතාවලින් විකෘතියට පත්වී ඇත. ගිහි නායකයෝ අතීත ජීවන පරමාර්ථවලින් ඈත්වී සිටිති. සමහර භික්‌ෂූන් වහන්සේ ධර්මය අමතකකර දේශපාලන පක්‍ෂවල නමින්ම වෙන වෙනම සංවිධානය වී ඇත.

භික්‌ෂු ප්‍රතිරූපයට නොගැළපෙන සේ එම සම්බන්ධතා වර්ධනය වී තිබේ. මේ තත්ත්වය සෙමින් සෙමින් ටිකින් ටික සිදුවූ අතර බෞද්ධ සමාජය එයට අනුගාමීව සිටීමද කනගාටුදායකය.

මේ තත්ත්වය බෞද්ධ භික්‌ෂුවට කෙසේවත්ම ගැළපෙන්නක්‌ නොවේ. එය විනාශකාරී සංවිධානගත වීමකි. ඒ හැර භික්‌ෂූන්ට වෙනම දේශපාලන පක්‍ෂ පිහිටුවා ගෙන ගිහියන් සමඟ තරගකාරී ලෙස කටයුතු කරන සැටි දැකිය හැකිය. එසේම වෘත්තීය සමිතිවල නිලතල හිමිකරගෙනද ඇත.

අතීතය හා සසඳනවිට මෙය ශ්‍රී ලාංකීය භික්‌ෂුවගේ පූර්ණ විකෘතියකි. බුදුන්ගේ ධර්මය වෙනුවට දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්තිවලට මුල්තැන දී කටයුතු කිරීමට බෞද්ධ භික්‌ෂූන්ට සිදුවී තිබේ. සමහරවිට එම ප්‍රතිපත්ති බෞද්ධ ප්‍රතිපත්තිවලට මුළුමනින්ම හානිකරය.

ගිහි ජනතාව ධර්මයෙහි පිහිටුවීමටත්, ඔවුන් අතර ඇතිවන අසමගිතාවත් දුරුකර සමගිය දියුණු කිරීමටත් ඉදිරිපත් විය යුතු භික්‌ෂූන් වහන්සේ ගිහියන්ගේ ලෞකික ප්‍රතිපත්ති අනුමත කිරීමට ඉදිරිපත් වෙයි. එපමණක්‌ නොව භේදභින්නකාරී දේශපාලන මඩවලෙහි තමනුත් එරී සිටීමෙන් වැරදි ආදර්ශයක්‌ දෙයි.

එබඳු තත්ත්වයක සිටිමින් රට දැය සමය වෙනුවෙන් කියා කළ නොහැකිය.

මේ නිසා නිදහසින් පසු කාලයේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්‌ෂුවගේ සියලු ප්‍රයත්න ගඟට ඉණි කැපුවා සේ අසාර්ථක වී ඇත. නැවත නැවත අත් දකින්aනට ලැබෙන බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම්වලින් ඒ බව පෙන්නුම් කෙරේ.

විවිධ උපක්‍රම මගින් බෞද්ධයන් අබෞද්ධයන් බවට පත් කරවීම ඒ අතර ප්‍රධානම කරුණයි. එය දැන් සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී තිබේ. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අප රට තුළ මේ ප්‍රශ්නය අළුයට ගිනි මෙන් පුපුරු ගසමින් පවතී. ගංගොඩවිල සෝම හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේ මෙන්ම ගිහි බෞද්ධ නායකයෝද මේ සම්බන්ධයෙන් විසඳුම් පතා කටයුතු කළහ. සෝම හිමිගේ හදිසි අපවත්වීමෙන් පසු, ඒ තැන ගැනීමට සමත් භික්‌ෂූවක්‌ හෝ සංවිධානයක්‌ ඇති නොවීය. සෝම හිමි නිසා ඇතිවූ උදේHdaගය පදනම් කරගෙන භික්‌ෂූන් පිරිසක්‌ පාර්ලිමේන්තුවට වැඩම කළත් සිදුවූ යහපතක්‌ ගැන දැනගන්නට නැත. ඒ හැර එසේ ක්‍රියාකාරී වූ භික්‌ෂූන් අතර නොයෙක්‌ භේදභින්තා ඇතිවී ඔවුනොවුන් අතරට අසමගිය වැඩි දියුණු වූ බව රටටම දැකිය හැකි විය.

මෑත කාලයේදී බෞද්ධ ප්‍රශ්න මුල්කරගෙන තව තවත් භික්‌ෂු සංවිධාන රැසක්‌ බිහිවී ඇත. ඒ අතරින් සමහර සංවිධාන ජාතික හා ආගමික වශයෙන් මතුවී ඇති ප්‍රශ්නවලට නිර්භීතවත්, එඩිතරවත් මුහුණදී කටයුතු කරන බව දැකිය හැකිය. කෙසේ වෙතත් මේ සියලුම සංවිධාන එකිනෙකට සම්බන්ධතාවක්‌ නැති බව පෙන්නුම් කරන අතර භික්‌ෂූන් අතර ඇති අසමගිය ප්‍රදර්ශනය කරයි. සියලු භික්‌ෂූන් බෞද්ධ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා නම් එක්‌ සංවිධානයක්‌ වශයෙන් පෙනී සිට සමගියෙන් කටයුතු කිරීමට නොහැක්‌කේ ඇයිද යන ප්‍රශ්නය පැනනගී. ප්‍රබල පෙළේ භික්‌ෂූන් වහන්සේ අතරට මේ සංවිධාන පිළිබඳ විරෝධාකල්ප මතුවී ඇත. අන්‍යාගමිකයෝද එම සංවිධානවල ක්‍රියාකාරිත්වයන් දැඩි ලෙස විවේචනයට ලක්‌ කරති. කෙසේ වෙතත් බෞද්ධයන් මුහුණදී ඇති ගැටලු සලකා බැලීමේදී එම විවේචන, සාධාරණ යෑයි කිව නොහැක.

අනාගතය ගැන උපකල්පනය කිරීමේදී පෙනී යන දර්ශනය නම්, ගොඩගැසී ඇති ප්‍රශ්න තව තවත් අවුල්සහගත වීමයි. භික්‌ෂූන් අතර මෙන්ම බෞද්ධ ගිහියන් අතරත් අසමගිය තව තවත් වැඩෙනු ඇත.

ඒ අතරම සිය ජීවිතය බුදු දහම වෙනුවෙන් කැපකර බොදු ජනතාවගේ දහම් පියාසය සංසිඳවමින් දෙලොව යහපත පිණිස වැඩකරන දහස්‌ ගණන් භික්‌ෂූහු වනවාසීවත්, ගමේ හා නරගවලත් නිහඬව සිය මෙහෙවර ඉටුකරති.

සියලුම භික්‌ෂූන් රටේ දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික ගැටලුවලින් මුළුමනින්ම වෙන්වී සිටිය යුතු යෑයි සිතනවා නම් එය නිවැරැදි සිතුවිල්ලක්‌ නොවේ. මේ සියලු කණ්‌ඩායම් අතර ධර්මානුකූල යම් සම්බන්ධීකරණයක්‌ තිබීම වඩාත්a ප්‍රතිඵලදායක වේයෑයි පෙන්වා දිය හැකිය. මේ කාරණයේදී භික්‌ෂූන් වහන්සේ ගිහියාට ඉහළින් සිටිය යුතු වේ. ඔහුගෙන් ගිහියන්ගෙන් උපදෙස්‌ ලබන ඔහුගෙන් ලාභ සත්කාර බලාපොරොත්තුවන භික්‌ෂු චරිතය ආත්ම ශක්‌තිය හීනකර ගනී.

දේශපාලකයන් හෝ ධනවතුන් හෝ ඉදිරියේ නොනැමෙන නොසැලෙන පෞරුෂයක්‌, ආත්ම ශක්‌තියක්‌ ගොඩනගා ගෙන විනා රටේ, ජාතියේ, සම්බුද්ධ ශාසනයේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකිවේ යෑයි සිතිsය නොහැකිය. එබඳු භික්‌ෂූන් සමගිව නැගී සිටිය යුතුය. අතීතයේ සිට මේ රටේ ජනතාවට ආදර්ශවත් වෙමින් දෙලොව යහපත පිණිස සිදුකළ මෙහෙවර හොඳින් නිවැරදිව පරිපූර්ණ ලෙස කළ හැක්‌කේ එසේ වූ විටය.

නිදහස්‌ ශ්‍රී ලංකාවේ බුදු දහමට අදාළව ශ්‍රී ලාංකීය භික්‌ෂුවගේ ව්‍යායාමය අසාර්ථක වී ඇති අතර එයට ප්‍රධානම හේතුව සියලු කණ්‌ඩායම් අතර ඇති අසමගියයි. එනිසා වර්තමාන භික්‌ෂුවගේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ බෞද්ධ භික්‌ෂූන් වශයෙන් සමගි වී බෞද්ධ ජනතාවද සමගිසම්පන්න කිරීමයි.

ජී. වී. වීරසේන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.