පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල
සකසුරුවම් සමිතියේ
කෝටි 10 මකර කටේ?


* රහස්‌ පරිගණක තැටිය අතුරුදන්
* ලොක්‌කොත් හවුල්?
* ගිණුම් පරීක්‍ෂකට හදිසි මාරුවක්‌
* භාණ්‌ඩාගාරිකත් වැඩට එන්නේ නැහැ

අජිත් අලහකෝන්

පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතියේ මුදල් රුපියල් කෝටි දහයක්‌ වංචා කිරීමේ සිද්ධියට අදාළව පරීක්‍ෂණ පවත්වන ලෙසට කථානායක චමල් රාජපක්‍ෂ මහතා නියෝග කළ පසුව එම සමිතියේ සියලු ගනුදෙනු ඇතුළත් පරිගණක යන්ත්‍රයේ දෘඨ තැටිය (Hard disk) අතුරුදන්ව ඇතැයි අනාවරණය වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ තිබෙන ආරක්‍ෂක පද්ධතිය අනුව පරිගණකයක දෘඨ තැටියක්‌ ගලවා ඉවත් කර පිටතට ගෙන යැම ඉතා අසීරු කටයුත්තක්‌ වුවත් අදාළ පරීක්‍ෂණ යට ගැසීම සඳහා මෙම දෘඨ තැටිය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට ගෙනගොස්‌ තිබෙන්නේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ සහාය මත බව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතියේ හිටපු භාණ්‌ඩාගාරික විසින් එම සමිතියේ රුපියල් කෝටි දහයක මුදලක්‌ වංචා කිරීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ අභ්‍යන්තර විගණන අංශය වෙත කථානායකවරයා විසින් පවරා ඇත.

පරීක්‍ෂණ පවත්වන්නට නියෝග කළ පසුව සකසුරුවම් සමිතියේ ගිණුම් පරීක්‍ෂක ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ (04 දා) සිට අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා ලෙස පත් කිරීම ද විමතියට කරුණක්‌ බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති. ඒ අනුව මෙම වංචාව යට ගැසීමට පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු උත්සාහ කරන බව තහවුරු වන්නේ යෑයිද පවසන සේවකයෝ දැනට ලැබී ඇති තොරතුරු අනුව හිටපු භාණ්‌ඩාගාරික සමිතියේ සාමාජිකයන් නොවන දස දෙනකුට ද රුපියල් ලක්‍ෂ දහය බැගින් රුපියල් කෝටියක මුදලක්‌ ණය වශයෙන් ලබාදී ඇතැයිද කීහ.

මෙම භාණ්‌ඩාගාරික කිසිදු දැනුම්දීමක්‌ නොමැතිව මේ වන විට සේවයට වාර්තා නොකර සිටින බව කී සේවකයෝ එහෙත් ඉහළ නිලධාරීන් විසින් වැටුපෙන් අඩක්‌ ගෙවමින් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවද කීහ. එහෙත් ආයතන සංග්‍රහය අනුව කළ යුත්තේ සේවය අතහැර ගියා සේ සලකා ඔහු සේවයෙන් ඉවත් කිරීම බවද සේවක පිරිස පවසති.

මේ පුවත පිළිබඳ ඔබේ අදහස්‌ වහාම SMS කරන්න 0712109999
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.