කාලගුණය දරුණු අතට

තුෂාරී කළුබෝවිල

මේ දිනවල දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සවස්‌ කාලයේ අකුණු අනතුරු ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට නැවත නැවතත් අනතුරු අඟවයි.

විශේෂයෙන් ම දහවල් කාලයේ අහස පැහැදිලි හිරු එළිය සහිත ව පවතින නමුත්, සවස්‌ කාලයේ අහස වලාකුළින් බරව අඳුරු ස්‌වභාවයක්‌ ගන්නා බවත්, එම අඳුර සමඟ වැසි නොමැතිව වුවද අකුණු ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාඥ කේ. ඩී. සුජීව මහතා "දිවයින"ට පැවසීය.

එසේ ම සවස්‌ කාලයේ පවතින ගිගුරුම් සහිත වැසි සමග ද අකුණු අනතුරු ඇති විය හැකි බව ඒ මහතා අවධාරණය කළේය.

එබැවින් මේ දිනවල විශේෂයෙන්ම සවස්‌ කාලයේ ගමන් බිමන්වලදී අකුණු අනතුරුවලින් ආරක්‍ෂා වීම සඳහා ක්‍රියා කළ යුතු බවත්, ගිගුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවලදී හැකි තරම් එළිමහන් ස්‌ථානවල රැඳී නොසිටින ලෙස ජනතාවට දන්වන බවත් හෙතෙම පැවසීය.

විද්යුත් හා ලෝහමය උපකරණ භාවිතය ද අකුණු අනතුරුවලට ගොදුරු වීමේ ප්‍රබල සාධකයක්‌ වනු ඇතැයි ද ඒ මහතා කීවේය.

විශේෂයෙන්ම නිවෙස්‌වල රූපවාහිනි සහ ගුවන්විදුලි යන්ත්‍ර, ජංගම හා අනෙකුත් දුරකථන විදුලි පද්ධතියෙන් විසන්ධි කර තැබිය යුතු අතර ඇන්ටෙනාවල වයර් ආදිය රූපවාහිනි යන්ත්‍රයෙන් ගලවා නිවසෙන් එළියට සිටින සේ තැබිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙම අකුණු අවදානම නොවැම්බර් මස අග දක්‌වා පැවතිය හැකි බවද හෙතෙම පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.