වාස්‌ගේ සගයන්ගෙන් සාක්‍ෂිකරුවන්ට බලපෑම්
සීඅයිඩී අධිකරණයට කියයි

සමන්ත ඉලේපෙරුම

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති අය පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන යන සැකකරුවන් ඔවුන්ගේ ඥතීන් හා මිතුරන් මගින් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට විවිධාකාරයේ බලපෑම් සිදුකරන බවට පැහැදිලිව අනාවරණ වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සහාබ්දීන් මහතා වෙත වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් එසේ දන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට වන බලපෑම් සම්බන්ධයෙන් ඔවුන් මිරිහාන පොලිසියට කළ පැමිණිලි අනුව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ විභාග වන බවත් එම නඩුවට අදාළව ලබාගත් දුරකථන ඇමතුම් වාර්තා අනුව බලපෑම් කළ පුද්ගලයන් වාස්‌ ගුණවර්ධන සැකකරු හා රවිඳු වාස්‌ ගුණවර්ධන සැකකරු අතර ඇති සබඳතාවන් හෙළිදරව් වන බවත් කියා සිටියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන, උප පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගාමිණී සනත් චන්ද්‍ර, ප්‍රියන්ත සංජිව, කැලුම් රංග දිසානායක හා දිමුතු ශ්‍රීමාල් හෙට්‌ටිආරච්චි නමැති සැකකරුවෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

වැඩිදුර වාර්තා ගොනු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්‌වමින් සැකකරුවන්ගේ පාර්ශ්ව වෙතින් පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට යම් යම් බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවත් බලපෑම් එල්ල වී ඇති අයගෙන් ප්‍රකාශ ලබාගත් බවත් දන්වා සිටියේය.

ප්‍රකාශ ලබාදී ඇති බලපෑම් එල්ල වූ අය මිරිහාන පොලිසිය වෙත කළ පැමිණිලි අනුව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්‌ විභාග වන බවද එම නඩුවට අදාළව ලබාගත් ඇමතුම් වාර්තා අනුව බලපෑම් එල්ලකර ඇති එක්‌ අයකු ලෙස වාස්‌ ගුණවර්ධන සැකකරුගේ හා රවිඳු වාස්‌ ගුණවර්ධනගේ ඥතියකු වන අතර එක්‌ අයකු වාස්‌ ගුණවර්ධන සැකකරුගේ පාසල් මිතුරකු වන බවට අනාවරණය වී ඇති බවද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ලබාගත් ප්‍රකාශ අනුව ඔවුන් එසේ බලපෑම් කර ඇති බවටද ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පැවැසීය.

වාස්‌ ගුණවර්ධන සැකකරුව හමුවීමට බන්ධනාගාරයට ගිය ඔහුගේ පාසල් මිතුරාට රවිඳු වාස්‌ ගුණවර්ධන සැකකරු විසින් මෙසේ ඇමතුම් ලබා ගන්නා ලෙසට උපදෙස්‌ දී ඇති බවද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාස්‌ ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන යන සැකකරුවන්ගේ පාර්ශ්ව වෙතින් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට විවිධාකාරයේ බලපෑම් එල්ල වන බවට මෙයින් පැහැදිලි වන බවත් සැකකරුවන්ට නඩු පැවරීමට අදාළ මේ වන තෙක්‌ නීතිපති උපදෙස්‌ ලැබී නොමැති නිසා ඔවුන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

පස්‌වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්‌වමින් නීතිපතිවරයාට නඩුවක ඕනෑම සැකකරුවකු සාක්‍ෂිකරුවකු කළ හැකි බවත් එහෙත් මෙහිදී නිදහස්‌ වී ඇත්තේ ඝාතනය කුමන්ත්‍රණය කළ එම වුවමනාව තිබූ සැකකරුවා බව පැහැදිලි වන බවත් කියා සිටියේය.

නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා(

ඝාතනයේ ප්‍රධාන සැකකරු සාක්‍ෂිකරු ලෙසට පත්වෙනවා නම් ඔබතුමාට පෙනී යනවා යුක්‌තියේ පසිඳිලීමේ සාධාරණ බව.

මහෙස්‌ත්‍රාත්වරයා(- උසාවියෙන් කරන ඉල්ලීමක්‌ තියෙනවාද? ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස්‌ දීලා ඉවරයි. ඉහළ උසාවියකට කරුණු කිව යුතුයි.

නීතිඥ අජිත් පතිරණ මහතා-

මෙම පැමිණිල්ල කැඳවන්නේ ඔබතුමා ඉදිරියේ ස්‌වාමිනී. මේ ගැන මුළු රටම බලා ඉන්නවා. පෞද්ගලික අවශ්‍යතාවන් සපුරාගන්න යුක්‌තිය පසිඳිලීම වෙනස්‌ කරන්න ඉඩදිය යුතු නෑ. පොලිසිය හැමදාම විත්තිකරුවන්ගේ බලපෑම් එල්ලවන බවට කියා සිටිනවා.

මහෙස්‌ත්‍රාත්වරයා(- අද ලේඛනගත වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. යම් නිලධාරියෙක්‌ අසාධාරණයක්‌ කරනවා නම් ඉහළ උසාවියට දැනුම්දිය හැකියි.

නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා(- හුවමාරු වූ චෙක්‌පත් අංක එක්‌ක කියන්නම්. සල්ලි වියදම් කරලා මිනී මරපු අයට ගෙදර යන්න පුළුවන්නම් දෙයියන්ගේම පිහිටයි ශ්‍රී ලංකාවට.

මහෙස්‌ත්‍රාත්වරයා(- නීතිපතිවරයා කුමන කරුණක්‌ මත මෙම තීරණය ගත්තාද යන්න විත්තිය තවම දන්නේ නෑනේ. එය දැනගත් පසු ඔය අදහස්‌ වෙනස්‌ වෙයි.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා දිමුතු ශ්‍රීමාල් හෙට්‌ටිආරච්චි නමැති සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම පිළිගනිමින් ඔහු ඇප මත මුදාහරින ලෙසත් අනෙක්‌ සියලු සැකකරුවන් ලබන 18 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.