තරාතිරම වැඩක්‌ නෑ
යුද හමුදාවේ නම කැත කළොත්
යුද අධිකරණය හමුවට

යුද හමුදාපති

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

යුද හමුදාවේ කීර්ති නාමය කෙලෙසමින් අපරාධ, සොරකම්, දූෂණ අක්‍රමිකතාවල නිරත යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් තරාතිරම නොබලා යුද අධිකරණ වෙත පමුණුවා උපරිම දඬුවම් ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක "දිවයින"ට පැවසීය.

විවිධ අපරාධ සහ කොල්ලකෑම්වලට සම්බන්ධ බවට සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන හමුදා සෙබළුන් පිළිබඳව පරීක්‍ෂණ සඳහා යුද හමුදා පොලිසියේ සහයෝගය ද ලබා දීමට ක්‍රියාකරන අතර එම සැකකාර සෙබළුන් සිවිල් අධිකරණය මගින් වැරදිකරුවන් හෝ නිවැරදිකරුවන් වන තුරු බලා නොසිට ඔවුන්ගේ හමුදා සේවය අත්හිටුවා යුද අධිකරණයක්‌ මගින්ද වෙනම නඩු විභාගයක්‌ පවත්වා දඬුවම් පමුණුවන ලෙස තමා යුද හමුදා නීති සේවා අධ්‍යක්‍ෂ වෙත උපදෙස්‌ දුන් බවද හෙතෙම පැවසීය.

මුස්‌ලිම් කාන්තාවන් අඳින හිස සහ මුහුණ වසාගත් ඇඳුමකින් සැරසී මහනුවර ප්‍රදේශයේ බැංකුවක්‌ කොල්ලකෑමට ගොස්‌ පොලිස්‌ අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයාගේ සේවයද පසුගියදා අත්හිටුවා එම නිලධාරියාට එරෙහිව යුද අධිකරණයක්‌ ක්‍රියාත්මක කළ බව ලුතිනන් ජෙනරාල් රත්නායක වැඩිදුරටත් පැවැසීය.

ජාඇල ලක්‍ෂ 75 කොල්ලය ඇතුළු කොළඹ ප්‍රදේශයේ සිදුවූ මුදල් කොල්ලකෑම් රැසක්‌ සම්බන්ධව පොලිස්‌ අත්අඩංගුවට පත් හමුදා සෙබළාට එරෙහිව කඩිනමින් යුද අධිකරණයක්‌ කැඳවා එහි පරීක්‍ෂණ අවසන් වන තුරු එම සෙබළාගේ සේවය අත්හිටුවන ලෙස තමා නියෝග කළ බවද යුද හමුදාපතිවරයා කීවේය.

සිවිල් සමාජය අපහසුතාවට පත් කරමින් නීති විරෝධී කටයුතුවල නිරත වන යුද හමුදා සාමාජිකයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබාදිය යුතු යෑයි ද හෙතෙම අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.