තමන් ගැන කියන්න තැනක්‌a නැති මාධ්‍යවේදීන්ට
ජනමාධ්‍ය පදනම වේදිකාවක්‌ වේවි

- ඌව පළාතේ මහ ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ

තුෂාරී කළුබෝවිල

රටක්‌, සමාජයක්‌ වෙනුවෙන් හඬක්‌ නගන මාධ්‍යවේදීන්ට තමන් ගැන කියන්න වේදිකාවක්‌ නැති අඩුව පිරවීමට ජනමාධ්‍ය පදනමට හැකිවනු ඇතැයි ඌව පළාත් මහා ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

හෙතෙම එසේ පැවසුවේ ජාතික මාධ්‍ය පදනම මගින් ජනමාධ්‍යවේදීන්ට නොමිලේ රක්‍ෂණ වාරික හා මොබිටෙල් ඩොංගල් ප්‍රදානය කිරීමේ උළෙල ඊයේ (30 වැනිදා) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති අවස්‌ථාවේදීය. එහිදී රාජපක්‍ෂ මහතා තවදුරටත් මෙසේ පැවසීය.

"අනුන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන මාධ්‍යවේදීන්ට තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න ජාතික මාධ්‍ය පදනම බෙහෙවින් ඉවහල් වෙයි කියා මම හිතනවා. ජාතික මාධ්‍ය පදනම අවංකවම ජාතික වැඩපිළිවෙළක්‌ බව ආරම්භයේදීම පේන්න තියෙනවා.

මාධ්‍යවේදීන් අතර අද තියෙන එකමුතුව පදනමක්‌ හැටියට ඉදිරි අනාගතයේදීත් ශක්‌තිමත්ව පැවතිය යුතුයි. මාධ්‍යවේදීන්ගේ හඬ බවට ජාතික මාධ්‍ය පදනම පත් වේවි. මෙවැනි පදනමක්‌ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් අත්‍යවශ්‍යයි. මුළු ලෝකයේම මාධ්‍ය ක්‍ෂේත්‍රය අද පුළුල්වෙලා තියෙනවා. කටින් කටට පණිවුඩ යවපු මිනිස්‌සු පත්තරවලින් තොරතුරු හුවමාරු කරගත්තා. වයර්ලස්‌ එක ආවාට පස්‌සේ තව තවත් තොරතුරු හුවමාරුව වේගවත් වුණා. අද මම මෙතැන පොල්තෙල් පහන දැල්වු ආකාරය තව මොහොතකින් ෙµaස්‌ බුක්‌ හරහා අපේ ගමේ මට ඡන්දය දුන්නු ඡන්ද දායකයාටත් දැකගන්න ලැබෙනවා. නව තාක්‍ෂණයත් සමගම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක්‌ ඇති වී තිබෙනවා. එවැනි තත්ත්වයක මාධ්‍යවේදියා හුදකලා විය යුතු නැහැ. ඔවුන් වෙනුවෙන් ජාතික මාධ්‍ය පදනම ආශිර්වාදයක්‌ වේවායි මම ප්‍රාර්ථනා කරනවා".

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා,

මාධ්‍යවේදියා තම යුතුකම ඉටු කරන්නේ මාධ්‍යවේදියා යන ලේබලයේ රැඳී සිටයි. මාධ්‍යවේදියාට පක්‍ෂ, ජාති, කුල භේදයක්‌ නැහැ. එහෙව් මාධ්‍යවේදීන්ටත් උපහාස අපහාස කරන සමාජයක ජාතික මාධ්‍ය පදනම මාධ්‍යවේදීන් වෙනුවෙන් බිහිවීම වැදගත් වෙනවා. මේ සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීනුත් සම්බන්ධ කර ගත යුතුයි. ඒ අය තමන්ගේ ගම් පළාත්වල අප්‍රමාණ ලෙස දුක්‌ වේදනා විඳිමින් ජීවත් වන අතර තම මාධ්‍ය මෙහෙවරක්‌ නොපිරිහෙළා, ඉටු කරනවා. ඒ අය වෙනුවෙනුත් රැකවරණයක්‌ තිබිය යුතුයි. මේ රටේ බොහෝ දේශපාලන පක්‍ෂ හා සංගම්වලට සිදුවූ දේ ජාතික මාධ්‍ය පදනමට අත් නොවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ මහතා -

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය ඉතාම බලවත්. රටක යහපාලනය ඇති කිරීම සඳහා මාධ්‍යයෙන් ලබාදීය හැකි දායකත්වය ඉතා ඉහළ මට්‌ටමක පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස්‌ තොරතුරු ජනතාවට දැන ගැනීමේ අයිතිය තව තවත් ශක්‌තිමත් කළ යුතුයි. ඒ සඳහා හොඳ කතිකාවතක්‌ අප සමාජයේ ඇති විය යුතුයි. එම කතිකාවත විශ්වාසවන්තව ගොඩනැගීමට සියලු දෙනා ඒකරාශී කර ගැනීමට ජනමාධ්‍ය පදනමට හැකිවේවා යෑයි ප්‍රාර්ථනා කරනවා.

ජාතික මාධ්‍ය පදනමේ කැඳවුම්කරු ශාස්‌ත්‍රපති හර්ෂ බී. අබේකෝන් මහතා

අද අපි ඉටු කළේ යුතුකමක්‌. කාලයක්‌ තිස්‌සේ ජාතික මාධ්‍ය පදනමත් එක්‌ක අත්වැල් බැඳගෙන සිටි මාධ්‍ය සාමාජිකයන්ට රක්‍ෂණ වාරණයක්‌ සහ ඩොංගල් පිරිනැමුවේ ඒ නිසයි. අපි ඉදිරියේදී මාධ්‍යවේදීන් වෙනුවෙන් තව බොහෝ දේ කරන්න සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ උපදෙස්‌වලට අනුව වෘත්තීය ජනමාධ්‍යවේදීන් බිහි කිරීම උදෙසා අවශ්‍ය මග පෙන්වීම හා නායකත්වය ලබාදීම ජාතික මාධ්‍ය පදනමේ ප්‍රමුඛතම අපේක්‍ෂාවයි. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම පුළුල් කිරීම, ජනමාධ්‍ය පර්යේෂණ සිදු කිරීම, ජනමාධ්‍ය සතු සමාජ වගකීම් පිළිබඳ බුද්ධිමය සංවාදයක්‌ ගොඩනැගීම, මෙරට ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට අවස්‌ථාවක්‌ ලබාදීම, ජාත්‍යන්තර ජනමාධ්‍ය ප්‍රවණතා අධ්‍යයනය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්‌ථාව ලබාදීම, ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය නැංවීම හැමෝටමත්, මේ සංවිධානයේ සක්‍රීය ක්‍රියාකාරකම් වෙනුවෙන් දායකත්වය ලබාදෙන හා ලබා දුන් සැමටත් ස්‌තුතිවන්ත වෙනවා.

ඉදිරියේදී ජාතික මාධ්‍ය පදනමට ප්‍රදේශීය මාධ්‍යවේදීන් ද ඒකරාශී කර ගැනීමට අපේක්‍ෂා කරන බව ජාතික මාධ්‍ය පදනමේ සභාපති කපිල ප්‍රසන්න මහතා මෙතැනදී සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආරිය රූබසිංහ, ශ්‍රීලංකා පුවත්පත් මණ්‌ඩලයේ සහකාර කොමසාරිස්‌ නිරෝෂන් තඹවිට යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිහු රැසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.