ගිනි පොලියට ණය අරගෙන නූපන් පරපුරත් උගසට තබලා
ජනතාව හාමතේ තබන මේ ආණ්‌ඩුව
පන්නා දැමීමේ කාලය දැන් උදාවෙලා

එජාප මන්ත්‍රී නිරෝෂන් පෙරේරා

ඉතිහාසයේ කිසිදු ආණ්‌ඩුවක්‌ සිදු නොකළ ආකාරයට වත්මන් ආණ්‌ඩුව විදේශ රවවලින් හා ආයතවලින් ගිනි පොලියට ණය ලබාගෙන නූපන් පරපුරද උකසට තබා ඇති බව පුත්තලම දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.

මේ ආණ්‌ඩුව ලබාගෙන ඇති ණය කොපමණ ද කියනවා නම් ණය. වාරික හා පොලිය ගෙවීමට රටේ සමස්‌ත ආදායම ප්‍රමාණවත් නැති බව හෙතෙම කීය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ඊයේ (4 දා) මාධ්‍යට අදහස්‌ දක්‌වමින් මේ බව සඳහන් කළ නිරෝෂන් පෙරේරා මහතා තවදුරටත් මෙසේද කීය.

ඉතිහාසය මේ රටේ විවිධ ආණ්‌ඩු බලයට පත්ව තිබෙනවා. නමුත් ඒ කිසිදු ආණ්‌ඩුවක්‌ වත්මන් ආණ්‌ඩුව තරම් ණය ලබාගෙන නැහැ. මේ ආණ්‌ඩුවට ණය ආධාර ලබාදීමට ලෝකයේ රටවල් කැමැති නැහැ. ඒ නිසා ගිනි පොලියට ණය ලබාගැනීමට ආණ්‌ඩුව පෙළඹිලා තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‌ෂය රට පාලනය කළ කාලවකවානුවල විදේශ රටවලින් ණය ලබාගත්තා නමුත් ගිනි පොලියට ණය ගත්තේ නැහැ. අපිට ණය ආධාර ලැබුණා. සහන ණය ක්‍රම ලැබුණා. එ.ජා.ප. ආණ්‌ඩුව ලබාගත් සෑම ණය ආධාරයකින්ම රටේ පවතින සංවර්ධනයක්‌ ඇති කළා. මහවැලිය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. නමුත් අද එවැනි ව්‍යාපාර දකින්නට නැහැ.

මේ ආණ්‌ඩුව හොරකමට, දූෂණයට වංචාවට මුල්තැන දී තිබෙන නිසා ණය ලබාගෙන ඉදිකරන සෑම සංවර්ධන ව්‍යාපෘතියක්‌ම දූෂණයට යට වී තිබෙනවා. ඒ නිසාම ඒවා අසාර්ථක වෙනවා. නොරොච්චෝලය, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතිවලින් අපේක්‍ෂිත ආදායම ලබාගැනීමට හෝ අපේක්‍ෂිත ඉලක්‌ක කරා යැමට හෝ නොහැකි වී තිබෙනවා.

යුද්ධයෙන් පසු සියලු දෙනා බලා සිටියේ රටේ පුළුල් සංවර්ධනයක්‌ ඇතිවෙයි කියායි. නමුත් ආණ්‌ඩුව කළේ යුද්ධයෙන් පසුවත් ජනතාව පිට අසීමිත බරක්‌ පටවා රට අගාධයට තල්ලු කිරීම පමණයි.

මේ ආණ්‌ඩුවේ අකාර්ක්‍ෂම ආර්ථික ක්‍රියාපිළිවෙත නිසා අද රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. පසුගිය කාලය පුරාවට ජනතාව ගේ වැටුප් වැඩිවීමක්‌ හෝ ආදායම් මාර්ගවල වැඩිවීමක්‌ සිදු වුණේ නැහැ.

නමුත් දිගින් දිගටම ආහාර පාන, ජල ගාස්‌තු, විදුලිය ගාස්‌තු, බස්‌ ගාස්‌තු ආදිය වැඩි කළා. ජනතාව මත බදු පිට බදු පැනවීමට ක්‍රියා කළා. ජනතාවට කිසිදු පැත්තකින් හව්හරණක්‌ නැහැ. මේ නිසා අපි ඉල්ලා සිටින්නේ එළැඹෙන අයවැයෙන් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් ප්‍රමුඛ සමස්‌ත මහජනතාවට සහන ලබාදෙන ලෙසයි.

ලබන අයවැයෙන් වැඩ කරන ජනතාවට සැලැකිය යුතු වැටුප් වැඩිවීමක්‌ ලබා දීමටත් ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම හා බඩු මිල අඩු කිරීමට ක්‍රියා නොකළොත් සියලු බලවේග සමග එක්‌ව එ.ජා.ප. පාරට බහිනවා.

ජනතාව හාමතේ තබන මේ ආණ්‌ඩුව පන්නා දැමීමේ කාලය දැන් උදාවී තිබෙනවා. 2014 අගබාගය වනවිට එම කටයුත්ත ඉටු කිරීම සඳහා ඒ අඩිතාලම අපි මේ වනවිටත් දමමින් සිටින බව කිව යුතුයි.

එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන් සියලු දෙනා අද එක අරමුණකින් සමගි සම්පන්න ගමනක්‌a ආරම්භ කර තිබෙනවා. මේ සමගිය තුළින් ඉදිරියේ පවත්වන සියලු මැතිවරණ ජයග්‍රහණ කළ හැකි බව අපට විශ්වාසයි.

ආණ්‌ඩුව පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ලහි ලහියේ සූදානම් වෙමින් සිටිනවා. සමුළුව මෙරට පැවැත්වීම ඉතාම හොඳයි. නමුත් එයින් නිසි ප්‍රයෝජනයක්‌ ලබා ගැනීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ හැකියාවක්‌ තිබේද යන්න ප්‍රශ්නයක්‌ වී තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වෙනුවෙන් විශාල මුදල් සම්බාරයක්‌ වියදම් කර එය තවත් එක්‌ සමුළුවක්‌ පමණක්‌ නම් එයින් සිදු වන්නේ එයිනුත් ජනතාවට තව බරක්‌ පැටවීම පමණයි. ඒ නිසා ආණ්‌ඩුව මෙහිදී උපායශීලීව ක්‍රියා කළ යුතුයි. නමුත් මේ ආණ්‌ඩුවේ උපායශීලී බවක්‌ පෙනෙන්නට නැහැ. තිබෙනවා නම් ජාත්‍යන්තරය හමුවේ අපේ රට මේතරම් අසරණ තත්ත්වයට පත්වෙන්නේ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.