බසයක්‌ ප්‍රපාතයට: 9ක්‌ මරුට

සිරිමෙවන් කස්‌තුරිආරච්චි, හේමන්ත රන්දුණු

බණ්‌ඩාරවෙල සිට පූනගල දක්‌වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්‌රියක්‌ ඊයේ (04 දා රාත්‍රි 7.30 ට පමණ මාපිටිය ප්‍රදේශයේදී මීටර් 300 ක්‌ පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ඇතුළු 09 දෙනකු මරු මුවට පත්වී 17 දෙනකු පමණ තුවාල ලබා ඇත.

මියගිය 09 දෙනා අතර පිරිමි 05 දෙනකු සහ කාන්තාවෝ 04 දෙනකු වෙති.

අනතුරින් තුවාල ලැබූ 9 දෙනකු දියතලාව රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර ඔවුන් අතර සිටි පාසල් ශිෂ්‍යාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිට ඇත. එම ශිෂ්‍යාව පාසල් නිල ඇඳුමින් සිටි අතර ඇය බණ්‌ඩාරවෙල කන්‍යාරාම විදුහලේ නිමේෂා තරුෂි ඒකනායක ලෙස හඳුනාගත් බව රෝහල් ප්‍රකාශිකාවක පැවසුවාය.

තවත් තුවාල කරුවන් පිරිසක්‌ බණ්‌ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තිදෙනකු බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.
බණ්‌ඩාරවෙල සිට කි. මී. 18 ක්‌ පමණ දුරින් මාපිටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබේ. දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක්‌ වන මෙහිදී බස්‌ රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 300 ක්‌ පමණ ප්‍රපාතයකට ඇද වැටී ඇත. අනතුරින් බස්‌ රථය කැබලිවලට කැඩී සුන් බුන් බවට පත්වී ඇති අතර පවතින අධික අඳුරු සහ මීදුම් සහිත අයහපත් කාලගුණය නිසා බසය පෙරළී තිබෙන ප්‍රපාතයට බැසීම ඉතා අසීරු වී ඇතැයි එම ස්‌ථානයට ගොස්‌ සිටි පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

දියතලාව යුද හා ගුවන් හමුදා සෙබළුන් සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් සමග පොලිසිය දැඩි පරිශ්‍රමයක්‌ දරමින් පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විටත් බසය පෙරළී තිබූ ස්‌ථානය කරා ළඟාවෙමින් සිටි බවද එම නිලධාරියා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.