තිස්‌ස අබේසේකරගේ නැන්දණිය ඝාතනය
යාබද නිවසේ කැමරාවෙන් ඝාතකයෝ හඳුනා ගැනෙති

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ උදේනි චන්ද්‍රසිරි මහරගම

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ තිස්‌ස අබේසේකර මහතාගේ නැන්දණිය රාජගිරිය, මොරගස්‌මුල්ලේ නිවස තුළදී ඝාතනය කර රුපියල් ලක්‌ෂ දහයක දේපළ සොරාගෙන පලාගිය සේවයෙන් පහකළ පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ හා යුද හමුදාවෙන් පලා ආ සෙබළෙක්‌ මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස්‌ කොස්‌තාපල්වරයා වසර හතරක්‌ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ සේවය කරමින් සිටියදී සේවයෙන් පහකළ අයකු බව පොලිසිය කියයි. මොහු පෝද්දල පදිංචි විවාහක 26 හැවිරිදි එක්‌දරු පියෙක්‌ වන අතර අවිවාහක පුද්ගලයකු ලෙස පොලිසියට ලියකියවිලි ඉදිරිපත් කර සේවයේ යෙදී සිටියදී මොහු විවාහක පුද්ගලයකු බවට හෙළිවීමත් සමග සේවයෙන් පහ කළ අයෙකු බව තහවුරු වී තිබේ.

අනෙක්‌ සැකකරු යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සිටියදී පලා ආ 27 හැවිරිදි අවිවාහක සෙබළකු බවත් පොලිසිය කියයි.

රාජගිරිය මොරගස්‌මුල්ල පදිංචිව සිටි ඊඩා මාගරට්‌ ප්‍රනාන්දු (84) නමැති නවදරු මාතාව ඝාතනයට ලක්‌වූයේ 2013.09.28 වැනිදා රාත්‍රියේය. ඇගේ සැමියා හා දියණිය වත්තල පදිංචි තවත් දියණියකගේ නිවසට ගොස්‌ සිටියදී මෙම ඝාතනය සිදුව තිබිණි.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පොලිස්‌ කොස්‌තපල්වරයා ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ නිවසේ සේවය කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. මොහු පොලිස්‌ සේවයෙන් පහ කළ පසු මෙම නිවසේ වැඩට පැමිණ ඇත්තේ 2011 ජනවාරි මාසයේදීය.

මෙම ඝාතනය සිදුවූ දින එම නිවසට ඇතුළු වූ දෙදෙනකු පිළිබඳව සී.සී.ටී.වී. කැමරා වල සටහන් වී ඇතැයි යාබද නිවසක නිවැසියන් පොලිසියට කියා ඇත. පසුව පොලිසිය මේ පිළිබඳව විමර්ශන සිදුකර ඇත. සී.සී.ටී.වී. දර්ශන වල සිටින එක්‌ අයකු ඝාතනයට ලක්‌වූ ඊඩා මහත්මියගේ දියණිය විසින් හඳුනාගත් අතර එහිදී නිවසේ සේවය කළ අය බවට (ප්‍රධාන සැකකරු) හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම ප්‍රධාන සැකකරු හා අනෙක්‌ සැකකරු පෝද්දල ප්‍රදේශයේදී කොටුකරගෙන තිබේ. කාන්තාවගේ ගෙල අතින් සිරකර මැරූ බවට ප්‍රධාන සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

කාන්තාව මරා රන් මුදු තුනක්‌, රිදී බඩු සොරාගත් බවද සැකකරු පොලිසියට පවසා ඇත. මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක නිමල් කරුණාරත්න මහතාගේ අධීක්‌ෂණය යටතේ පොලිස්‌ පරීක්‌ෂක සිල්වා, උප පොලිස්‌ පරීක්‌ෂක සිල්වා, උපපොලිස්‌ පරීක්‌ෂක ජයන්ත පෙරේරා, පොලිස්‌ සැරයන්වරුන් වන ලක්‌ෂ්මන් (28415) ප්‍රසන්න, (56958) පොලිස්‌ කොස්‌තාපල් වරුන් වන ප්‍රසන්න (40247) විපුල, (51857), අමරකීර්ති (70744) සමීර, (81600) කුලරත්න, (83782) රත්නායක, (44836) වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.