ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු තේරීමේ
සම්මුඛ පරික්‍ෂණය හෙට පස්‌ දෙනකු කැඳවයි


චමිල කරවිට

පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා අයෑදුම්පත් එවා ඇති අයෑදුම්කරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලධාරීන් අතර සාකච්ඡාව හෙට (06 දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා පළ කරන ලද දැන්වීමට පුහුණුකරුවන් 12 දෙනකුගෙන් අයෑදුම්පත් ලැබී තිබෙන අතර ඒ අතරින් පුහුණුකරුවන් 5 දෙනකුට කැඳවීම් ලිපි ලැබී තිබේ.

ඒ අතරට විදේශීය පුහුණුකරුවන් දෙදෙනකු වන ස්‌ටීව් රික්‌සන් සහ ඔස්‌ටේ්‍රලියාවේ මාක්‌ ඩේවිස්‌ යන දෙදෙනා ඇතුළත්ව සිටින අතර සෙසු තිදෙනා ශ්‍රී ලාංකික පුහුණුකරුවෝ වෙති.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සහාය පුහුණුකරු සහ විශේෂඥ පිතිකරණ පුහුණුකරු වන මාවන් අතපත්තු, ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ පුහුණුකරු රොමේෂ් කලුවිතාරණ සහ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේ යන අය ශ්‍රී ලාංකික පුහුණුකරුවෝ වෙති.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු තෝරා ගැනීම වෙනුවෙන්ම පත්කර ඇති විශේෂ කමිටුවක්‌ හමුවේ මෙම පුහුණුකරුවන් පෙනී සිටිය යුතු වේ.

රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, ලේකම් නිශාන්ත රණතුංග, භාණ්‌ඩාගාරික නුස්‌කි මොහොමඩ්, පුහුණුකරුවන්ගේ ප්‍රධානී ජෙරම් ජයරත්න, අතිරේක ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, උප සභාපති මොහාන් ද සිල්වා යන මහත්වරු අයත් වෙති.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු තනතුරට විදේශිකයකු පත් කිරීමේ දැඩි උවමනාවක්‌ ක්‍රිකට්‌ බලධාරීන් අතර පවතින නමුත්, ඒ සඳහා බලාපොරොත්තු වූ පරිදි අයෑදුම්පත් නොලැබීම විශේෂත්වයක්‌ විය. එහිදී හිටපු ඔස්‌ටේ්‍රලියානු නායකයකු වන ග්‍රේග් චැපල්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් උත්සුක වුවත් ඒ සඳහා චැපල් මහතා යහපත් ප්‍රතිචාර දක්‌වා නොමැති බවද සඳහන් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.