අංක 1 විරාත් කෝලි

ජගත් එක්‌දින ක්‍රිකට්‌ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව එක්‌දින පිතිකරුවන් අතර අංක එකේ ස්‌ථානයට පැමිණීමට ඉන්දීය කණ්‌ඩායමේ පිතිකරු විරාත් කෝලි සමත්විය. ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති තරගාවලියේදී දක්‌වන ලද දක්‍ෂතා මත පදනම්ව පිතිකරුවන්ගේ අංක 1 ස්‌ථානය කෝලිට හිමිවිය.

මෙම තරගාවලියේදී ඉනිම් 6 කට ක්‍රීඩා කළ කෝලි එහිදී ශතක 2 ක්‌ සහ අර්ධ ශතක 2 ක්‌ ඇතුළුව ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 114.66 ක්‌ සමගින් මුළු ලකුණු 344 ක්‌ වාර්තා කිරීමට සමත්වූවේය. තවමත් 24 වැනි වියේ පසුවන කෝලි ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්‌ථානයට පැමිණි පළමු අවස්‌ථාව වශයෙන්ද මෙය සටහන් වේ.

එමෙන්ම ඉන්දියාව වෙනුවෙන් අංක 1 ස්‌ථානයට පැමිණි තෙවැනි පිතිකරුවා වන්නේද විරාත් කෝලි වේ. ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාව වෙනුවෙන් එක්‌දින පිතිකරුවන් අතර අංක 1 ස්‌ථානයට පැමිණි සෙසු ඉන්දියානු පිතිකරුවෝ වෙති.

ප්‍රසාද ලකුණු 857 ක්‌ සමගින් කෝලි පෙරමුණේ පසුවන අතර ඔහුට පෙර එහි පළමු ස්‌ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා ප්‍රසාද ලකුණු 844 ක්‌ ලබා දෙවැනි ස්‌ථානයට පත්වී තිබේ. ඔස්‌ටේ්‍රලියානු ක්‍රීඩක ජෝඡ් බෙයිලි(835) තෙවැනි ස්‌ථානයේද කුමාර් සංගක්‌කාර(829) සිව්වැනි ස්‌ථානයේද පසුවේ.

පන්දු යවන්නන් අතරින් පාකිස්‌තානු කණ්‌ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අඡ්මාල් එක්‌දින පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින අතර ශ්‍රී ලංකාවේ රංගන හේරත් එහි 5 වැනි ස්‌ථානයේ පසුවෙයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.