සොබාදහම සහ පරිසරයේ උරුමකම

අවුරුද්දේ මැදින් මාසය යනු අවුරුද්ද තුළ හඳුන්වනු ලබන යල කන්නය සහ මහ කන්නය වෙන් කරන මාසයයි. වප් මාසයෙන් ආරම්භ වන අවුරුද්දේ මාස්‌ කන්නය මැදින් මාසයෙන් (මාර්තු) අවසන් වේ. නැවත බක්‌ මාසයෙන් (අප්‍රේල්) ආරම්භ වන යල් කන්නය නැවත බිනර මාසය (සැප්තැම්බර්) දක්‌වා දිව යයි. බිනර මාසයෙන් ආරම්භ වන කන්න නැවත මාස්‌ කන්නයයි. මෙය චක්‍රයයි. මේ ආකාරයට මැදින් මාසය අවුරුද්දේ මැද බෙදා රජරට ගොවියා කන්න දෙක හඳුනා ගනී.

තවත් පැහැදිළිව කියතොත් බක්‌, වෙසක්‌ , පොසොන්, ඇසළ, නිකිණි, බිනර යල් කන්නයට අයත් වේ. මේ මාස කිහිපය තුළ නිතරම සුළං හමනු ලැබේ. ඒ වගේම වප් , ඉල් , උඳුවප් , දුරුතු, නවම්, මැදින් යන මාස හය මාස්‌ කන්නයට අයත් කරමින් මැදින් මාසයෙන් මාස්‌ කන්න අවසාන වේ.

එක්‌ කන්නයකට මාස හයක්‌ තිබුණ ද මෙහිදී ගොවිතැන් කිරීමට බොහෝ දුරට උපයෝගී කරනු ලබන්නේ කන්නයකට මාස හතරක්‌ හෝ හතරහ මාරකි. හේන් ගොවියා මාස්‌ කන්නයේදී කුරහන්, බඩඉරිඟු, වට්‌ටක්‌කා, මඤ්ෙÆක්‌කා ආදී විවිධ භව බෝග වගා කරන අතර යල් කන්නයේදී තල, මුං, කව්පි, මෑ ආදී කෙටි කාලීන බෝග වගා කරනු ලබයි. එයට හේතුව යලට වැහිපල කෙටි බැවිනි.

මඩ ගොවියා මාස්‌ කන්නයේදී මාස හතර හතරහමාර යන වයස්‌ ඇති වැඩිමල් වී වගා කරනු ලබන අතර යල් කන්නයේදී මාස තුන තුනහමාර වයසැති බාල මල්වී වගා කරනු ලබයි. වැසි සුළං ආදිය හේතුකොට ගෙන මෙසේ වගා කිරීම උචිත බව ගොවියා දනී.

කන්නයට මෙසේ මාස කීපයක්‌ වැය වුණද කන්න දෙපැත්තට තවත් මාසයක්‌ පමණ ඉතිරි වේ. මේ කාලය යොදාගනු ලබන්නේ ගොවියාගේ නිදහස්‌ විවේක කාලය සහ හේන් එළි පෙහෙළි කර ගැනීම සඳහාය. අනෙක්‌ කාලය තුළ ගොවියාට විවේකයක්‌ නම් නැත්තේමය.

මෙසේ කන්න ස්‌වභාවිකව ගෙවී යන අතර විටින් විට ගොවියා විවිධ රෝග ආබාධයන්ට ලක්‌ වනු ලබයි. මෙම බොහෝ රෝගයන්ට ස්‌වභාව ධර්මය සහ පරිසරය බලපානු ලබයි.

ඉල් මස පුරාවට රෑ දවල් දෙකේ කුඩා වැසි නිතරම ඇද හැලේ. මෙම වැස්‌ස ගොවියා හඳුන්වනු ලබන්නේ චුරු චුරුව යනුවෙනි. තවත් විදිහකින් හඳුන්වන්නේ නම් මේ චුරු චුරු වැස්‌ස කෝඩය නමින් හඳුන්වනු ලබයි. ඉල් - උඳුවප්වල මෙම කෝඩයට හසුවන ගැමියාට සියලු අතින්ම අගහිඟකම් ඇතිවේ. වගාවන්ගේ ආදායමක්‌ නැත. වෙනත් රැකියාවක්‌ කිරීමටත් නොහැක. ඒ නිසා විශාල ආර්ථික හිඟයක්‌ ඇතිවේ.

මේ වකවානුව තුළ මගතොටේ වනාන්තරේ ගෙවත්තේ නියඟලා මල් පිපෙන ආකාරය දැක ගැනීමට හැක. නියඟලා මල් පිපෙන කාලයේදී කිසිම ගොවියකු මොනම භව බෝගයක්‌වත් පොළවේ ඉන්දනු නොලැබේ. මේ කාලය තුළ යම් භෝගයක්‌ සිටුවුවහොත් ඒ කන්නයේම එය අසාර්ථක වේ. කඳ කුණුවී යැම, ශාඛය දුර්වල වීම, අසාර්ථක ලෙස පල හට ගැනීම වගේම විවිධ කෘෂි උවදුරුවලට ලක්‌ වෙනු ඇත.

තවද නියඟලා මල් පිපෙන කාලයට "පොලව තිත්තයි" යනුවෙන් ගොවියා කියනු ඇත. එයට හේතුව නියඟලා මල් පිපෙන විට එහි අල මෝරා අලයෙහි ඇති තිත්ත ගති පොලව පුරාම පැතිරි යන ආකාරය ගොවියා අත්දැකීමෙන් දැනගෙන ඇත. ඒ තරමට නියඟලා අලය තිත්තය.

කලා රසය තිබුණත් නියඟලා මලේ - මලා නොවේද කෑවොත් නියගලා අලේ

මෙම කවි පදයෙන් කියන ආකාරයට නියඟලා අලය තිත්තය. ඒ වගේම උග්‍ර හලා හලා විෂ සහිතය. යම් අයෙකු නියඟලා අල කෑවොතින් ලේ වමනය ඇති වෙමින් සිදු වන මරණ ඕනෑ තරම් ඇත.

මෙසේ නියඟලා මල් පිපිම වගේම ඊට සමගාමීව වත්තේ පිටියේ පාරේ වැවෙන තෝර ගස්‌වල මල් පිපෙනු ලබයි. තෝර මල් පිපෙන කාලයට ගමේ සෑම තැනකම දරුණු විදියට උණ රෝගය පැතිරේ. එවිට ගැමියන් එම උණ රෝගය හඳුන්වන්නේ තෝර මල් සැරට හැදෙන උණ යනුවෙනි. ඒ වගේම එම කාලයට අඹ ගස්‌වල කුඩා අඹ ගෙඩි පැසීමට පෙරාතුව ගැට අවධියේම නටුවෙන් ගිලිහී වැටේ. මේ අඹ ගෙඩි ඇහිදගෙන කෑමට කුඩා ළමයි පෙළඹේ. මේ කුඩා ළමයි අතර අතේ කටේ නිතරම අඹ ගෙඩියක්‌ තිබෙනු දක්‌නට ලැබේ. ඒ අතර ළමුන් අතරේද උණ පැතිරේ. එවිට ගැමියන් හඳුන්වන්නේ උණ අඹ කාලා උණ ගැනුණා කියලයි. එහෙත් වර්තමානයේ බද්ධ කරන ලද අඹ වර්ග නිසා අකාලයේ ද අඹ ඇත.

මෙසේ සෙම් රෝගයෙන් පෙලෙන රෝගියා ඔළුවේ සහ පපුවේ සෙම බුරුල් නොවී වියළි ස්‌වභාවයකට පත්ව කැස්‌ස සහ අපහසුව ඇතිවන විටදී යකිනාරං කොළ ඖෂධ වශයෙන් ගෙන බොහෝ විට යකිනාරං පංචාංගය මුට්‌ටියක දමා තම්බා ගෙමැද්දේ බිමින් තබා හිසේ සිට දෙපතුළ දක්‌වා රෙද්දක්‌ පොරවාගෙන කොල තැම්බු මුට්‌ටිය රෙද්දට මැදි කර එයද රෙද්දෙන් වසා මුට්‌ටියේ පියන හැර කලත් එයින් නැගෙන ඖෂධීය හුමාලය මුහුණට සහ පපුවට වදින සේ අල්වනු ලබයි. සුළු මොහොතකදී ගත පුරාවට දහඩිය පෙරා ගලා යන තරමට දුම් අල්ලනු ලබයි. එයින් අනතුරුව ඉඟුරු සුදුළුEණු තැම්බු වතුර පානය කරන්නේ දිව්‍ය ඖෂධයක්‌ විලසිනි.

එයින් පසු සෙම්ප්‍රතිශ්‍යාවේ වියලි භාවය ඉවත් වී සෙම බුරුල් කොට කැහි සහ හොටු ආදියෙන් සෙම ඉවත් වේ. මෙයට හෙම්බිරිස්‌සාව පැසෙව්වා යන වචනයද භාවිතා කෙරේ. මෙම ප්‍රතිකාරයෙන් පසුව ඔළුවේ සහ පපුවේ සෙම වියලිභාවය පහව ගොස්‌ ක්‍රමයෙන් රෝගියා සුවපත් වේ. (මාස 6 කට වතාවක්‌ වත් සෙම්ප්‍රතිශ්‍යාව මිනිසාට වැළඳිය යුතු බව ගැමියා විශ්වාස කරයි).

තවද සෙම රෝගියෙකු සෙම්ප්‍රතිශ්‍යාව මුල් කරගෙන හොටුදිය ගැලීම වැඩි වී පපුවේ සෙම බුරුල් වී වැඩිපුරම සෙම රෝගයෙන් පෙලෙන රෝගියෙකු නම් දෙහි කොළ (පංචාංගය) පෙර වගේම තම්බා මුහුණට පපුවට දුම් ඇල්ලීමෙන් බුරුල් වී වැඩි වූ සෙම ආසාදනය සමනය කර ගැනීමට ගැමියා කටයුතු කරයි. එහෙත් අද මිනිසා සදහටම සෙම රෝගියෙකු බවට පත්වී ඇත.

නියඟලා මල් පිපීම සහ තෝර මල් පිපිමේදී කරුණු කිහිපයක්‌ සිහිපත් කළ යුතුය. බක්‌ මාසයෙන් ආරම්භ වන යල් කන්නය බිනර මාසයෙන් අවසන් වන අවසාන කාලය තුළදී සූර්යයා වෙතින් පොළවට ලබා දෙන රශ්මිය ඉතා අධිකය. මෙයින් පොළවේ දැඩි වේලීමක්‌ සිදු වේ. වියළීමත් සමග පොලව දැඩි උණුසුම් ස්‌වභාවයක්‌ උසුලයි.

වප්, ඉල් , උඳුවප් ආදී මාසවල ඇද හැලෙන වර්ෂාව නිසා එක්‌වරම පොලව සීතල භාවයට ලක්‌වෙනු ඇත. එවිට පොළවේ තිබු උණුසුම සමග අහසින් වැටෙන ජලයේ සීතල සමග යම් ගැටුමක්‌ ඇති වේ. මෙයින් පොළවේ ස්‌වභාවික වෙනසක්‌ ඇති වේ. ඒ අතර විස ස්‌වභාවයක්‌ ගොඩනැගේ.

මෙම විෂ පොළව මත ශාකයන්ට උරාගෙන මල, ගෙඩිය, පත්‍රය, පිටපොත්ත ආදියෙන් නැවත වතාවක්‌ එළිමහන් වාතයට මුසු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය පාරිසරික ස්‌වභාවයකි.

නියඟලා අලය මගින් එක්‌රැස්‌ කර ඇති විෂ සහිත ස්‌වභාවය නියඟලා මල තුළින් වායුගෝලයට මුදා හරි. ඒ වගේම තෝර ශාකය පොළවෙන් ලබා ගන්නා රසායනයන් පත්‍ර මත ගැබ්කර තෝර මලෙහි ක්‍රියාකාරීත්වයන් තුළින් වායුගෝලයට මුදා හරී. මේ ක්‍රියා දෙකෙන්ම සිදුවන්නේ පොළවෙන් යම් උණුසුම් රසායනයක්‌, වෙනත් ආකාරයට වායුගෝලයට මුසු වීමය. මේ ගතිය හේතුවෙන් මිනිසාට පවා වෛරස්‌ රෝග ඇති වේ. මෙම රෝගද ස්‌වාභාවිකව වැළඳෙන රෝගයන් අතර ශරීරයේ ඇති ප්‍රතිශක්‌තිකරණ බලය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගයන්ගේ බරපතළකම වෙනස්‌ වේ. මීට අමතරව මෙම වකවානු තුළදී විවිධ වෘක්‌ෂයන්ගේ පිටපොත්ත පැලීමකට ලක්‌වේ. එයින්ද පොළවේ උණුසුම රුක්‌ෂය මගින් වායුගෝලයට මුදාහරියි තවද ගස විශාල වීම නිසාද පොත්ත පුපුරා යැමට ලක්‌වෙයි.

මේ අතර මේ වකවානුවේදී පොලව පලාගෙන විවිධ හතු වර්ග මතු වේ. කුකුල් බඩවැල් (හිස කුඩාවට නැට්‌ට දිගට) විශේෂයෙන් හුඹස්‌ මත වේයන්ගේ අමුද්‍රව්‍ය සමග හට ගනී. චිර හතු, හීං වැලියව, වේ බිම්මල් මේ ආදී නොයෙක්‌ නාමිකව හටගන්නා වු හතු වර්ග පොළව පලාගෙන මතු වෙද්දී එහි මිනිසාගේ ශරීරයට අහිතවත් භාවයක්‌ ඇති නිසා ගැමියන් මෙම බිම්මල් උණු දියෙන් තම්බා මිරිකා හැර පසුව ආහාරයට ගනු ලබයි. මෙහිද ඇත්තේ පොළවෙන් පිට කරන්නා වු විස භාවයයි. (පොළොවෙහි මතුවෙන සියලුම බිම්මල් වර්ග වල විෂ ප්‍රමාණයක්‌ ඇත.) එහෙත් නිවැරදිව පිස ගැනීමේදී නිරෝගී රසවත් ව්‍යංජනයකි.

නමුත් පිදුරු බිම්මල්, ලේන් හතු ආදී වර්ග විෂ භාවයක්‌ නැත්තේ එහි හට ගැනීම පොළවේ නොවන බැවිනි. ඉල් මස ගෙවීමෙන් පසු ලඳු කැලෑවල පොඩි පොඩි කටු පඳුරු අතරින් කුඩා කුඩා මල් පිපෙනු දැක ගැනීමට හැකි වේ. එම කාලය පොළවේ උණුසුම පිට වී අවසන් වන කාලයයි. සමහර වෘක්‌ෂවල නොයෙක්‌ ගෙඩි වර්ග (බොරදමුණ ආදී) හට ගනු ලබයි. ගස්‌වැල් කරලින් සරු වීම ආරම්භ වේ. ගොවියාගේ විවිධ වගාවන්වලද පල හට ගැනීම ආරම්භ වේ. මෙයින් ගැමි පරිසරය නව ජීවයකට පත් වෙනු ලබයි.

මේ හට ගන්නා විවිධ භව භෝග වර්ග දුරුතු මසදී කිරි වැදීමට නියමිතය.

මෙසේ ගස්‌වැල්වල මල් පල හටගන්නා කාලය වන විට නොයෙක්‌ සතුන්, කුරුලු කොබෝ, ආදින්ද වලිකුකුලන්, සාවුන්, මී මින්නන් ආදි නොයෙක්‌ සතුන්ගේ රඟමඬලක්‌ මෙන් ගැමි පරිසරය දක්‌නට හැක.

තෝර මල් පිපීම නිසා පැතිර යන්නාවූ උණ වසංගතය සහ වෛරස්‌ බවට පත් වන්නා වූ සෙම්ප්‍රතිශ්‍යා රෝග ආදිය සුව වීමෙන් ගැමියා නිරෝගී මිනිසකු බවට පරිවර්තනය වන අතර ස්‌වාභාවිකව වන පරිසරයේ නැවත කොල හැලී වියළී ගෙඩි මල් හැලී නැවත වතාවක්‌ තවත් පාරිසරික වෙනසකට සුදානම් වේ. මේ ස්‌වාභාවික පරිසර ක්‍රියාවලියයි.

සියඔලංගමුවේ ජිනරතන හිමි
සාකච්ඡා කළේ - රත්න. බී ඒකනායක
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.