නඩත්තු කරන ලද අර්බුදය රන් හා සමානය
(නව ලෝක අනුක්‍රමයට අයත් පාඨයකි)

අන්තිමේදී සියලු කුණු කන්දල්, අසූචි බාල්දි, සහ මඩ වතුර පොඩි දරුවන් පිටින් යන බව පෙනෙයි. කසිප්පු වැටලීමට ගිය අයගම පොලිසියේ ගොන් පොලිස්‌කාරයකු කසිප්පු ඇල්ලීම සඳහා කොළඹෑව ගමේ ගෙයකට පැන හතර හැවිරිදි දරුවකු අල්ලාගෙන ඔහුගේ කලිසම තුළට කෝටුවක්‌ දමා අඹරා කසිප්පු හංගා ඇත්තේ කොයිදැයි ප්‍රශ්න කර තිබෙන අතර ඉන්පසු ඒ පොඩි එකාට මුත්‍රා කිරීමට පවා හැකිව නැත. දැන් මේ දරුවා නාගොඩ රෝහලේ ය. මෙකී දුෂ්ට සහ නීච ක්‍රියාව සිදු කළ පොලිස්‌කාරයා අල්ලා ගසක බැඳ ගිනියම් කළ යකඩයක්‌ ඒකාගේ කලිsසම තුළට රුවා කරකැවිය යුතු බව අපි යෝජනා කරමු. ඉන්පසු ඔහුට වතුර ගැලුමක්‌ පමණ බොන්නට දී පොඩි දරුවා පත්වූ දුෂ්කරතාවට පත් කළ යුතුය. මේ අතර දොළොස්‌ හැවිරිදි සිසුන් දෙදෙනකුට ලිංගික අපචාර කළ ක්‍රිකට්‌ පුහුණුකරුවකු ගැන ඊයේ (8 දා) වාර්තා විය. බැට්‌ පිත්තකින් හයේ සීමා ඉක්‌මවන පහරක්‌ බෝලයට දෙන ආකාරයේ දඬුවමක්‌ අපි ඔහු වෙනුවෙන් යෝජනා කරමු. එහිදී එක 'දඬුවම් පහරකින්ම' දඬුවම තහවුරු කිරීමට වග බලා ගත යුතුය. මේ අධමයන් සමාජයට බරකි. ඔවුන් සමාජයෙන් තුරන් කිරීම සඳහා උසාවි, පොලිසි සහ නීතිවලට බැරි නම් එකී කාරිය සඳහා සිවිල් සමාජය සංවිධානය විය යුතුය.

බලන්ගොඩ මුල්ගම ප්‍රදේශයේ පදිංචි පහළොස්‌ හැවිරිදි සිසුවියක්‌ තරුණයන් කිහිපදෙනකු විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ කෙළෙසන ලද්දේ යෑයි දැන ගන්නට තිබේ. පාසල් සිසුවකු සමග ප්‍රේමයෙන් වෙළී සිටි මේ දැරිය මෙයට වසරකට පෙර ඔහු විසින් දූෂණය කරන ලදී. එම සිදුවීම වීඩියෝ කර ඇති බව කියමින් සිසුවිය බියපත් කර තිබෙන එකී දූෂක සිසුවාගේ මිතුරන් කීපදෙනකු ඇය මෙසේ කෙළෙසා ඇත. ඒ අයද පාසල් සිසුවෝ ම වෙති. මේ යොවුන් ස්‌ත්‍රී දූෂකයන් ලොකු මහත් වී සමාජයට ගිය විට ඉතා භයානක වූද, ඉතා අන්තරාදායක වූද, තත්ත්වයක්‌ ඇති වන බව අපි දනිමු. මෙය පාසල නමැති ඒකකය අර්බුදයට ලක්‌ වීමක්‌ බව කෙනකු කල්පනා කරනු ඇත. නැත මිතුරá මේ අර්බුදයට ලක්‌ව ඇත්තේ සමස්‌ත සමාජයයි. මේ අර්බුදය පාලනය කිරීමට කිසිදු කෙනෙක්‌ කිසිදු කාලයක කිසිදු පියවරක්‌ ගෙන නැත. නූතන සමාජ සම්ප්‍රදායට අනුව අර්බුද සමතයට පත් කරනු නොලැබේ. ඒවා නඩත්තු කරගෙන යනු ලැබේ. අර්බුදයක්‌ නොවිස¹ නඩත්තු කරන විට දේශපාලනඥයන්ට හැමදාම බිස්‌නස්‌ තිබේ. තම බිස්‌නස්‌ කඩා ගැනීමට කැමැති කවුද?

හසලක මහඅස්‌වැද්දුම ප්‍රාථමික විදුහලේ දරු දැරියෝ පසුගියදා 'අපි ආසයි ඉගෙන ගන්න ගුරුවරු අපට දෙන්න'යෑයි ලියූ පුවරු ඇතිව දෙමාපියන් සමඟ පාසල් ඇඳුමින්ම පාරට බැස්‌සහ. ඒ විදුහලේ දරු දැරියෝ 140 ක්‌ ඉගෙනුම ලබති. මෙහි ගුරුමාරු සිදු කරන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් සභාවෙන් නොව දේශපාලනඥයන් ය. මේ නිසා ඒ පාසලට ගුරුවරුන් නැත. අඩුම ගණනේ ස්‌වෙච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කරන කාන්තාවකගේ පත්වීම ද ස්‌ථිර කර නැත. ගුරුවරු නැතිව කලුලෑලිවලට සහ හුණුකූරුවලට ළමයින්ට ඉගැන්වීමට බැරිය. මේ විරෝධතාව ළමයි ඉදිරියට දමා දෙමාපියන් විසින් සංවිධානය කරන ලද්දකි. ඔවුන් එසේ නොකළා නම් මේ දරුවන් පන්තියෙන් පන්තියට ඉහළ යැමේ ස්‌වයංක්‍රීය ක්‍රමයට ඉහළ ගොස්‌ අ.පො.ස. සා.පෙළ විභාගයේදී සියලු විෂයයන් අසමත්ව ඉමහත් දුෂ්කරතාවට පත් වෙනවා ඇත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විශාලතම වරදක්‌ නම් සියලු හොඳ ගුරුවරු කොළඹ ඇතුළු නගරයේ පාසල්වලට යන්නට පොරකෑමය. ළමයින් මෙන්ම ගුරුවරු ද, ජාතික පාසල්වලට යැමට පොර කති. මේ නිසා ගමේ තිබෙන පාසල්වලට යැමට කවුරුත් නැත. ගමේ පාසල්වල ද දරුවන්ට ඉගෙනීමට ක්‍රමයක්‌ ද නැත. මෙන්න මෙතැන ඇත්තේ පාසල් අර්බුදයකි. මේ කතුවැකියේ මුලින් සඳහන් අකටයුතුකම්වලට මැදිහත්වී දූෂකයන්ට පහර දී අඬු කඩා දැමීමට සිවිල් සමාජයට හැකි නමුත් මහඅස්‌වැද්දුමේ සිද්ධියට මැදිහත් විය යුත්තේ රජයම ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.