සතුරු බලවේග පැරදවූ
පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව


පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව මෙම 15 දා ආරම්භ වේ. ගතවූ මාස කීපය තුළ මෙකී සමුළුව මෙරට පැවැත්වීම නතර කිරීම සඳහා ඉමහත් උත්සාහයක්‌ ගනු ලැබීය. ස්‌විස්‌ බැංකුවල අති විශාල මුදල් සම්භාරයක්‌ ඇති කොටි ඩයස්‌පෝරාව විදෙස්‌ හා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද්‍රවිඩ සන්ධානය තමිල්නාඩුවේ කොටි හිතවාදීහු සහ විවිධ පාර්ශ්ව දැරූ උත්සාහයන් සහ මෙහෙයුම් කිව නොහැකි තරම් ය.



පෙත්සම් තොග පිටින් කැනඩාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල සිට සමුළු නායකයන් වෙත යවනු ලැබීය.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සමයේ ප්‍රදර්ශනය කිරීම පිණිස වීඩියෝපට ද නිර්මාණය විය. චැනල් 4රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ඉන් මූලිකයා විය.

ලෝක ඉතිහාසය දෙස බලන විට මින් පෙර මෙවන් ජාත්‍යන්තර සමුළුවක්‌ නතර කිරීම සඳහා එපමණ උත්සාහයක්‌ දරා නැත.

කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියා සිටියේය. එහෙත් 2009 වසර වන තෙක්‌ම ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළේ කැනඩාවයි. කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාවේ මෙසේද දක්‌වා ඇත.

"කොටින්ට අරමුදල් සැපයූ විශාලතම කේන්ද්‍රස්‌ථානය කැනඩාවයි. මසකට ඩොලර් මිලියනයක්‌ කැනඩාවේ සිට කොටි සංවිධානයට සපයනු ලැබුවා. එසේ නම් කැනඩා අගමැති හාපර් පවා මෙරට ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුතු නොවේද?

මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය හමුදාව රසායනික බෝම්බ 2800 ක්‌ ඉරාකයට දැමූ බව වාර්තා විය. එහෙත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා නඟයි.

එසේම බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා හමුදා නායකයන් ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ගෙන යැමට වලිකයි. එහෙත් රජය චැනල් 4 නියෝජිතයන්ට මෙරටට ඒමට අවසර ලබා දී ඇත. එම අවසරය ලැබුණත් චැනල් 4 රූපවාහිනිය සතුරුකම් කිරීම් නතර කර නැත.

චැනල් 4 රූපවාහිනියේ ජොනතන් මිලර් ඊයේ පැවසුවේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන්ට අතට අත දෙන බවත් ශ්‍රී ලංකාවට ජගත් වේදිකාව හිමිවන බවත්aය.

මේ සතියේ දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පකිස්‌තාන් පොලිසියට අවශ්‍ය අපරාධකරුවකු වූ අබ්දුල් අසීස්‌ට අතට අත දුන්නේය.

හිටපු ලිබියානු නායක කර්නල් ගඩාපි මානව හිමිකම් උල්ලංඝනය කර තිබියදී ටෝනි බ්ලෙයාර් ඔහුට අතට අත දුන්නේය.එහෙත් බ්‍රිතාන්‍ය පුවත්පත් ඒ සම්බන්ධව එදා නිහඬ විය. මේ තත්ත්වය මැද බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසන්නේ ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් ගැන ලන්ඩන් නුවර ටෙලිග්‍රාෆ් පුවත්පත විමර්ශනයක්‌ ඉල්ලා ඇති බවයි. අතුරුදන්වූවන් ගැන විමර්ශනයක්‌ පවත්වා ඇත්තේ ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතය. එම ඉල්ලීම තමන් අනුමත කරන බව විදේශ ලේකම් විලියම් හේaග් කියා සිටී.

ඉරාකයේ සිවිල් වැසියන් ඝාතනයට හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ආරක්‍ෂක ලේකම් හා හමුදාපති වගකිවයුතු බව විමර්ශන වාර්තාවකින් හෙළිවෙද්දී ටෙලිග්‍රාෆ් පත්‍රයට ශ්‍රී ලංකාව ගැන හඬ නැඟීමට සදාචාරමය හිමිකමක්‌ තිබේද? ඇඩෙලා බාලසිංහම් නමැති බිහිසුණු යුද අපරාධකාරියට ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන් මැරූ බංගලාදේශ යුධ අපරාධකරුවකු ද ලන්ඩනයේ සිටී. එහෙත් ටෙලිග්‍රාෆ් පුවත්පත ඔවුන් ගැන හඬක්‌ නඟන්නේ නැත.

සත්‍යය නම් ටෙලිග්‍රාෆ් පුවත්පත වෙනුවෙන් අතුරුදන් වූවන් ගැන සාවද්‍ය වාර්තා සපයන්නේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන කල්ලියයි.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වෙන සමයේ ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළ අයුරු මෙලෙස දැක්‌විය හැකිය.

1. හිටපු බී. බී. සී. වාර්තාකාරිය ප්‍රැන්සස්‌ හැරිසන් - මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 100000

2. චැනල් ෆ් කැල්ලම් මැක්‌රේ - 70,000

3. ශ්‍රී ලංකා කැම්පේන් 50,000

4. ගෝලීය ද්‍රවිඩ සංසදය - 15,0000

5. කැනඩා ද්‍රවිඩ සංවිධානය 200,000

මෙලෙස වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව ගැන කොටි හිතවාදීහු විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරද්දී මියගිය අයවළුන්ගේ ඥතීහු සිටින්නේ කොහේදැයි කිසිවකු විමසා නැත.

ඉරාකයේ අති විශාල ජනතාවක්‌ අතුරුදන් වුවත් ස්‌වාධීන විමර්ශනයක්‌ පැවැත්වූයේ නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් ගැන බ්‍රිතාන්‍ය හඬ නඟන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව යනු බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ නොවේ. පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් රටවල් 53 කින් ශ්‍රී ලංකාවේ කටයුතුවලට බරපතළ ලෙස මැදිහත් වී ඇත්තේ කැනඩාව බ්‍රිතාන්‍ය වැනි රටවල් ය.

යුද අපරාධකාරියක්‌ වූ ඇඩෙලා බාලසිංහම්ට එරෙහිව ක්‍රියාකිරීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියා නොකරන්නේ මන්ද විදේශ ලේකම් හා අගමැති කැමරන්ලා ද්විත්ව පිළිවෙතක්‌ අනුගමනය කරන බව සනාථ නොවන්නේද?

ඩේවිඩ් කැමරන් පොදු රාජ්‍ය මණ්‌ඩලයට සමුළුවට සහභාගි වන අතර උතුරට ගොස්‌ මාධ්‍ය පාර්ශ්ව හා මානව හිමිකම් ක්‍රියාකාරීන් හමුවන බව පවසයි. කවුද මේ මාධ්‍ය පාර්ශ්ව හා මානව හිමිකම් ක්‍රියාකාරින් ද ඔවුන් ප්‍රභාකරන්ගේ පදයට නැටුවන් නොවේද?

අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට පෙර හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් යටතේ සිදුවූ ඉරාකයේ යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට එකඟ වන්නේ ද?

ඔහු ඇමරිකාව සිදු කරන යුද අපරාධ ගැන නිහඬව සිටින්නේ මන්ද? මේ තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධානය ද පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සමයේ උතුරේ ගිනි ඇවිලවීමට උත්සාහ කරයි.

එහෙත් ද්‍රවිඩ සන්ධානය කොටි රූකඩයක්‌ බව අමතක කළ යුතු නැත. ප්‍රභාකරන් ඝාතකයා මෙරට විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් මෙන්ම නීලන් තිරුචෙල්වම් ද ඝාතනය කරද්දී බ්‍රිතාන්‍ය නිහඬව සිටියේය.

එම තත්ත්වය මැද චැනල් 4 කැල්ලම් මැක්‌රේ ඇඩෙලා බාලසිංහම් සිදු කළ යුද අපරාධ ගැන වීඩියෝ පටයක්‌ නිර්මාණය නොකරන්නේ මන්ද?

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්aකින්ද ඇඩෙලා සම්බන්ධව බ්‍රිතාන්‍ය රජය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම ගැන ප්‍රතිචාර නොදැක්‌වීම මවිතයට හේතුවකි.

මේ අතර දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටුටූ ද පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කරන්නැයි ඉල්ලා තිබේ.

ඩෙස්‌මන් ටුටූ හිටපු රදගුරු පවසන්නේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට වධහිංසා සිදුවන බවයි. ඊටත් අමතරව හිටපු මාධ්‍යවේදිනියක්‌ වූ දැන් ඉන්දීය ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානයට සම්බන්ධ මීනාක්‍ෂි ගංගුලි ද ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

මේ පසුබිම මැද තමා සමුළුවට පැමිණ ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්බන්ධව ස්‌වාධීන විමර්ශනයක්‌ ආරම්භ කළ යුතු යෑයි ඉල්ලන බව ද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටී.

මෙම වාතාවරණය මැද ලබන 10 දා සිට ආරම්භ වන පොදු රාජ්‍ය මණ්‌ඩලය සමුළුවේ රාජ්‍ය නායකයන් හමුවන නොවැම්බර් 10 දා සිදුවීම් ගැන රටවල් 53 ක ජනතාවක්‌ බලා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.