සංහිඳියාවේ මරණය



මරණය යනු දීර්ඝ නින්දක්‌ බවත්, යහපත් මිනිසකුට ජීවිතයේදීත්, මරණයේදී, නපුරක්‌ විය නොහැකි බවත් මරණය යහපත් මිනිසකුට හොඳ දෙයක්‌ බවත්, සොක්‍රටිස්‌ කීවේය. හොඳ මිනිසුන්, යහපත් මිනිසුන් අඩු වයසින් මිය යන්නේ ඇයි? එය දෙවියන්ගේ කැමැත්තද එසේ නැතහොත් බෞද්ධයන් කියන අන්දමට කර්මය පලදීමක්‌ද? මෙයට පිළිතුරු මා දන්නේ නැත. මා දැනගත්, හඳුනාගත් යහපත් මිනිසුන්ද හදිසියේම අසනීපව මියයැම ගැන මට මගේ හද සලිතවීමෙන් දුකක්‌ ඇතිවේ. මා මේ කතා කරන පුද්ගලයා පසුගිය බ්‍රහස්‌පතින්දා දහවල් මියගිය චිත්ත රන්ජන් ද සිල්වා නමැත්තෙකි.

මට වඩා අවුරුදු 5 ක්‌ පමණ කනිෂ්ඨ ශිෂ්‍යයකු ලෙස රාජකීය විද්‍යාලයේදී හඳුනාගත් මා හා ඔහු රාජකීය විද්‍යාලයේ රගර් කණ්‌ඩායමේ නායකයා ලෙස කළ ක්‍රියාවන් ගැන මම කතා නොකරමි. මන්ද එවැනි රගර් ක්‍රීඩාවට දක්‌ෂ තවත් ශිෂ්‍යයන් රාජකීය විද්‍යාලයෙන් බිහිකොට ඇති හෙයිනි. එලෙසම ඔහු නීති විද්‍යාලයට බැඳී 1974 රජයේ නීතිඥවරයකු ලෙස දිවුරුම් දී නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය රජයේ නීතිඥවරයකු ලෙස කටයුතු කර පසුව ඔහු නීතිපතිවරයා දක්‌වා ගිය ගමන ගැන බොහෝ දෙනකුට ආඩම්බර විය හැක. එහෙත් මීට පෙර එලෙසම නීතිපතිවරයා වූ රජයේ අධිනීතිඥවරුන් කිහිප දෙනකු මම හඳුනමි. එයද මට වේදනාවක්‌ දෙන කාර්යයක්‌ නොවේ. මොහු නීතිපතිවරයා වශයෙන් අන්තර්ජාතිකව ඔහු කළ ක්‍රියාදාමයට සහ මෙරටට කළ සේවය ගුණ සැමරුම් ලියා ඇත. ඒවා ගැන මම ආඩම්බර වුවද මගේ හදවතෙහි වේදනාවක්‌ ඇතිවීමට එම කරුණම හේතුභූත නොවේ. මන්ද මෙරට සේවය කළ අද්විතීය නීතිඥවරු බිහිකළ තැනකි නීතිපති දෙපාර්තමේන්තුව.

නීතිපතිවරයා වශයෙන් එම ධුරයට පත්වූ සී. ආර්. ද සිල්වා මහතාව පත් කළේ ඔහුගේ කුලුපග මිතුරා වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාය. නීතිපතිවරයා වශයෙන් ඔහුට පැවරී තිබූ රාජකාරිය තම මිතු=දම ද රැක ගනිමින් රජයකට දැක්‌විය යුතු සහයෝගය දක්‌වමින් එලෙසම නීතිපතිවරයා වශයෙන් ඔහු සතු වගකීම පැහැර නොහැර ඔහු කළ සේවය හා පදවියේ ගෞරවය ආරක්‌ෂා කිරීම සඳහා ඔහු කළ කැපවීම ගැන ද මගේ එවැනි විරල පුද්ගලයකු අප අතරින් වෙන්වීම ගැන මට ඇත්තේ යම්කිසි වේදනාවකි.

මෙයට අදාළ සිද්ධිය වූයේ මා ඉතාලියේ තානාපතිවරයා වශයෙන් වැඩ කරමින් සිටිද්දීය. එහිදී යුරෝපීය රටවල් ඇමරිකා එක්‌සත් ජනපදයේ උවමනාවට යුද අපරාධ සම්බන්ධයෙන් ලංකා රජයට එල්ලවන චෝදනා හා විශේෂයෙන්ම යුද්ධය අවසානයේදී සිදුවූවා යෑයි කියන මහා මනුෂ්‍ය ඝාතන ගැන ඉතාලියේ විදේශ අමාත්‍යාංශය බලවත් නිලධාරීන් හා විදේශ ඇමැතිතුමා සමග ද මට සාකච්ඡා කිරීමට සිදුවුණි. එවකට යුරෝපයේ තිබූ සියලුම රටවල්වලින් ශ්‍රී ලංකාවට වඩාත්ම හිතවත්කම් දැක්‌වූයේ ඉතාලි රජයයි. අප විසින් යුද්ධය කරන අවස්‌ථාවේදී ද. යුද්ධයෙන් පසුවද දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ලබාදීමට රජය තිරසාර පොරොන්දුවක්‌ දී ඇති බවත් එම ඉල්ලීම් ලබාදෙන බවත් දකුණේ ජීවත්වන සිංහල ජනතාව මෙන්ම උතුරේ ජනතාවටද සියලුම පහසුකම් සලසන බවත් අප සඳහන් කළෙමු.

එවකට දෙරටේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රධානම මාතෘකාව වූයේ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් පත්කරන ලද දරුස්‌මාන් වාර්තාවේ නිර්දේශයයි. දරුස්‌මාන් ඉන්දුනීසියානු රාජ්‍යයේ ආසියාතික විශිෂ්ට ගනයේ නීති නිලධාරියකු වූ බවද එම නිසා ඔහු විසින් සකස්‌ කරන ලද වාර්තාව කිසිසේත්ම පක්‍ෂග්‍රාහී වාර්තාවක්‌ විය නොහැකි බව ද යුරෝපීය රටවල මතය විය.

එසේ හෙයින් දරුස්‌මාන් වාර්තාව පිළිනොගන්නේ නම් ඒ වෙනුවට වෙනත් ස්‌වාධීන කමිටුවක්‌ ලංකාවට ගොස්‌ සාක්‌ෂි විමසා වාර්තාවක්‌ පිළියෙල කළ යුතු බව ද ඔවුන් දන්වා සිටියේය.

ජනාධිපතිවරයා විසින් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවක්‌ පිහිටු වූ බවට අපට දැනුම් දෙනු ලැබීය. එහි සභාපති ලෙස ඔහුගේ පැරණි නීතිඥ මිතුරෙකු වන සී. ආර්. ද සිල්වා මහතා පත්කර තිබිණි.

මම සී. ආර්. ද සිල්වා දන්නේ ජනාධිපතිවරයාට පෙර. ඔහු හා මම ලංකාවේ තිබුණු හොඳම විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ දෙදෙනෙක්‌. මොහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ පුතෙකි. මොහු අතිශයින්ම අවංක කෙනෙක්‌. මොහු හා ජනාධිපතිවරයා ළඟÊ ඇති මිත්‍ර සම්බන්ධය නිසාම ස්‌වාධීනව වාර්තාවක්‌ ඉදිරිපත් කළ හැකි කෙනකු ලංකාවේ සිටී නම්, ඒ. සී. ආර්. ද සිල්වා යෑයි මම සිතමි. මොහු නීතිපතිවරයා වූද මොහු ජනාධිපතිවරයාගේ අණසක එලෙසම ක්‍රියාකරන පක්‍ෂග්‍රාහී නීතිපතිවරයකු බවට චෝදනා නගා නැත.

මේ අවස්‌ථාවේදී මට ග්‍රීසියේ ජනාධිපති කී දේ මතක්‌ වුණි. ඔබ රටේ තිබෙන යුද්ධය අවසන්වීම ගැන අප රජය සතුටු වුණා. එහෙත් පෑරුනු හදවත් සනසාලන්ට ඔබ රජයට බැරි වුවහොත් එය යුද්ධයෙන් සිදුවූ පරාජයට වඩා පරාජයකි. අද සුළු ජාතීන්ට මහජාතීන්ට වඩා අයිතිවාසිකම් තිබෙනවා. මේ රැකදීමට ඒ වෙනුවෙන් යුරෝපා රජය බැඳී සිටිනවා. එමනිසා යුද්ධයෙන් පරාජය අය සමඟ සංහිඳියාව ඇතිකරන ක්‍රමවේදයක්‌ ඇතිකර ගන්න. ඔබේ රටේ අගනා බුදු දහම තරම් මෛත්‍රිය ගැන සාකච්ඡා කරන වෙනත් ආගමක්‌ ලෝකයේම නැහැ. සී. ආර්. ද සිල්වා මහතා නැතිවීම ඇසීමෙන් මගේ හදවත අවුරුදු ගණනාවකට පසු සලිත වූයේ ඔහු විසින් ශ්‍රී ලංකාවට දායාද කරපු විශිෂ්ටතම පණිවිඩය මේ කොමිෂන් වාර්තාව වී තිබෙන හෙයිණි. එය සංහිඳියාවේ. මෛත්‍රියේ පණිවිඩයයි.

ජනාධිපති නීතිඥ
හේමන්ත වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.