සුනාමිය සිහිකර විමල්ගේ අනන්තය ලන්ඩනයේ තිරගත වේ

අවුරුදු නවයක්‌ ගතව ඇත. ඒත් ඒ අමිහිරි සිද්ධිය මතකයෙන් බැහැර කරන්නට හැකි කිසිවකු සිටීද? නැත. අපේ රටේ අප සමගම ජීවත් වූ වැඩිහිටියන්, තරුණයන්, දරුවන් දහස්‌ ගණනක්‌ සදහටම අපෙන් ඈත් කළ උදම් රළ පෙළ, සුනාමිය කෙසේ නම් අමතක වේද?

සුනාමියෙන් මියගිය සෙනෙහෙබර පුතකුගේ උත්තරීතර ආදරය, මරණින් පසුව ද තම ආදරණීය මව වෙත ගලා එන අයුරු පෙන්වන චිත්‍රපටයක්‌ ළඟදීම තිරගත වීමට නියමිතය. ඒ 'අනන්තය'ය. ලන්ඩනයේ ජීවත් වන අපේ රටේ ඉංජිනේරුවකු වන විමල් අලහකෝන් 'අනන්තය' නිෂ්පාදනය කළේය. හේ සම්මානලාභී රංගන ශිල්පියකුද වේ. අනන්තය අධ්‍යක්‍ෂවරයා ප්‍රවීණ මාධ්‍යවේදී රොඩ්නි විදානපතිරණය. සංගීතය මනෝඡ් පීරිස්‌ගෙනි. සීතා කුමාරි, මොරින් චාරුණි, ආනන්ද වික්‍රමගේ සමග විමල් අලහකෝන් රඟන 'අනන්තය' එළැඹෙන දෙසැම්බර් 01 දා ලන්ඩනයේදී විශේෂ දර්ශනයක්‌ පැවැත්වේ. එහිදී තිරගතවීමට සමගාමීව 'සුනාමියෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීමද සිදුකෙරේ.

'අනන්aතය' හි ආදරණීය මවගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ නිළි සීතා කුමාරිය. එහෙත් ඇය දැන් අප අතර නැත. පසුගියදා ඇය ද ජීවිතයෙන් සදහටම සමුගත්තාය. 'අනන්තය' ලන්ඩනයේ තිරගත වීමත් සමඟ සීතා කුමාරි ප්‍රවීණ ශිල්පිනියට පිං පැමිණවීමද සිදු කෙරෙන බව විමල් අලහකෝන් මීවිතට පැවැසුවේය.

යුරෝපීය ජාතිකයනට ශ්‍රී ලංකාවෙන් විශේෂ පණිවිඩයක්‌ 'අනන්තය' ඔස්‌සේ ලබාදෙන බවට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ඇතුළු ශ්‍රී ලාංකීය ප්‍රවීණයන්ගේ අදහස බවද විමල් අලහකෝන් කීවේය.

එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහ බ්‍රිතාන්‍ය වැසියන් රැසකට 'අනන්තය' ප්‍රදර්ශනය කෙරෙන මොහොතට ආරාධනා කර ඇත. එහිදී 'සුනාමිය සහ බුදු දහම' යන මැයෙන් දේශනයක්‌ ද පැවැත්වෙන බව විමල් අලහකෝන් මීවිතට පැවසුවේය.

'අනන්තය' ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙල ද නියෝජනය කිරීමට නියමිත අතර ලබන වසරේදී ශ්‍රී ලංකාවේ තිරගත වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.