චෝගම් සමග චැනල් 4 තෙවැනි කුමන්ත්‍රණය එළිදකී

* කැල්ලම් මැක්‌රේ ප්‍රමුඛ කල්ලිය මෙරටට එන විට
අභ්‍යන්තර මෙහෙයුම් කණ්‌ඩායම සූදානම්

* ශ්‍රී ලංකා නායකයන්ව යුද අධිකරණයට ගෙන යන
බවට මැක්‌රේ කැනඩා කොටි ජාලයට ප්‍රතිඥ දෙයි

* වසර හතරකට පසු ඉසිප්‍රියා යළි මතුවීම

* ඉන්දියාව මැක්‌රේට දොර වසයි



චැනල් 4 තව චිත්‍රපට දෙකක්‌ නිර්මාණය වන බව
ජනවාරි 8 දා අපි හෙළි කළ අයුරු


"ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බිහිසුණු රජය ද්‍රවිඩ කොටින්ව සදහටම විනාශ කිරීමේ බලපත්‍රයක්‌ තමන්ට ඇතැයි විශ්වාස කළා"
- චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ


ගෝලීය ද්‍රවිඩ සංසදයේ
කොන්ත්‍රාත්තුව ගත්
මැක්‌රේ, මිලර් සහ ජෝන් ස්‌නෝ



පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ආරම්භවීමට තව ඇත්තේ පස්‌ දිනක බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඇතුළත් කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානතම කොන්ත්‍රාත්කරුවන් තිදෙනා වූ කැල්ලම් මැක්‌රේ, ජොනතන් මිලර් සහ ජෝන් ස්‌නෝට මෙරටට එAමට රජය අවසර දී ඇත. ඉන් කැල්ලම් මැක්‌රේ පසුගිය නොවැම්බර් 6 දා නවදිල්ලියට පැමිණීමට නියමිතව තිබිණි. ඔහු නවදිල්ලියට පැමිණියේ නොවැම්බර් 7 දා තමන්ගේ ශ්‍රී ලංකා විරෝධී ඉසිප්‍රියා චිත්‍රපටය තිරගත කර ගිනි ඇවිලවීම සඳහායි. එහෙත් ඉන්දීය රජය මැක්‌රේට එරටට පැමිණීමට වීසා බලපත්‍ර දුන්නේ නැත. එහෙත් මැක්‌රේ ප්‍රමුඛ ත්‍රීමස්‌කටියර්ස්‌ කණ්‌ඩායම ශ්‍රී ලංකාවට එන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ආවරණය කිරීමට නොව මුල්ලිවයික්‌කාල්, මුලතිව්, කිලිනොච්චි සහ යාපනයට ගොස්‌ සිය මීළඟ චිත්‍රපටය සඳහා සාවද්‍ය තොරතුරු ලබාගැනීමටය. එසේ වුවත් රජය සහ ආරක්‍ෂක බලධාරීහු මැක්‌රේ මෙරටට පැමිණීමේ නිසි පසුබිම නිරීක්‍ෂණයට ලක්‌ කළේද?



මේ වසරේ ජුලි මස කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැති පෙන්ටා නමැති ද්‍රවිඩ කොටි සමුළුවේදී කොටි හිතවාදීහු මැක්‌රේට සරුව පිත්තල සළුවක්‌ පොරවා ගොනාට අන්දවනු ලැබීය. සළුව පොරාගත් මැක්‌රේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යායුතුයි යෑයි පවසද්දී ඊළාම්වාදීහු අත්පොළසන් දුන්හ.  ශ්‍රී ලංකාවේ නායකයන් යුද අපරාධ කළ බවට පැහැදිලි සාක්‌කි තිබෙනවා යෑයි මැක්‌රේ තවදුරටත් පවසද්දී කැනඩා කොටි ප්‍රීතිඝෝෂා කළහ.
එම කොටි සමුළුවට සහභාගි වූ මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරියක්‌ වූ ප්‍රැන්සස්‌ හැරිසන් ද පැවසුවේ ශ්‍රී ලංකාවේ පාලකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කළ යුතු බවය.

ශ්‍රී ලංකා ජනාධිපති, ආරක්‍ෂක ලේකම් සහ වන්නි හමුදා නායකත්වය අන්තර්ජාතික යුද අධිකරණය වෙත ගෙනයැම සඳහා මැක්‌රේ පසුගිය ජුලි මස කික්‌ස්‌ටාර්ටර් නමින් මෙහෙයුමක්‌ දියත් කළේය. මෙම මෙහෙයුමේ ඉලක්‌ක දෙකක්‌ ඔහු හෙළි කළේය. 1. යුද අපරාධ ගැන ශ්‍රී ලංකා රාජ්‍ය හා හමුදා නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ගෙනයැම, 2. උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය ලබාදීම.

එම ඉලක්‌කවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අරමුණින් මැක්‌රේ ප්‍රමුඛ ත්‍රීමස්‌කටියර්ස්‌ කල්ලිය ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන බව තවදුරටත් අනාවරණය වී ඇත. පසුගිය ජුලි මස දිනෙක මාධ්‍යවේදීන් රැක ගැනීමේ කමිටුව නමැති රාජ්‍ය නොවන සංවිධානය පොදු රාජ්‍ය මණ්‌ඩල මහලේකම් කමලේශ් ශර්මාට ලිපියක්‌ යවමින් මැක්‌රේ ඇතුළු චැනල් 4 මාධ්‍ය කණ්‌ඩායමට ශ්‍රී ලංකාවට එAමට රජය අවසර දෙන්නේ නැතැයි කියා සිටියේය.

මේ පසුබිම මැද චැනල් 4 රූපවාහිනියේ මැක්‌රේ, මිලර් සහ ස්‌නෝඩන් නමැති තිදෙනා මාධ්‍යවේදීන් නොව කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු මෙහෙය වන තක්‌කඩි යෑයි සනාථ නොවන්නේද? 2011 ජුනි මස 19 වැනි ඉරිදා ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් කිරීමේ කොටි කොන්ත්‍රාත්තුව චැනල් 4 බාරගෙන ඇතැයි අප විශේෂයෙන් හෙළි කළ විට රජයත් ආරක්‍ෂක යාන්ත්‍රණයත් එහි ඇති බරපතළකම තේරුම් ගත්තේ නැත.

එහෙත් චැනල් 4 මෙහෙයුම දැන් උච්චස්‌ථානයට පත්වී ඇත. මැක්‌රේ සමග ශ්‍රී ලංකාවට එන තිදෙනාගෙන් ජොනතන් මිලර් 2009 සැප්තැම්බර් මස සංචාරක වේශයෙන් මෙරටට පැමිණියේය. ඔහුව කටුනායක පැමිණ ගෙන ගියේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ අභ්‍යන්තර මෙහෙයුම්කරුවන් කණ්‌ඩායමයි. (ෂබඉදමබා දචැර්එදරි) මිලර් වවුනියාවට ගොස්‌ කොටි හිතවාදීන් හමුවී සාවද්‍ය තොරතුරු ලබාගෙන ආපසු ලන්ඩනයට ගියේය. එහෙත් අපේ බුද්ධි අංශවලට මිලර්ව හඳුනාගත නොහැකි විය. 2011 වසරේ අගෝස්‌තු මස ලන්ඩන් නුවර ප්‍රන්ට්‌ලයින් ක්‌ලබ් නමැති ශාලාවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් මැයෙන් දේශනයක්‌ පැවැත්විණි. ඊට සහභාගි වූ මිලර්ට කට වැරදුනි. වන්නියේ අවතැන් වූවන් දුක්‌ විඳිනවා යෑයි මිලර් කියා සිටියේය. එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලාංකිකයකු නුඹ එA බව සනාථ කරන්නේ කෙසේද යෑයි ප්‍රශ්න කළේය.

මම ශ්‍රී ලංකාවට ගියා යෑයි මිලර් ප්‍රතිචාර දැක්‌වීය. තමා සංචාරකයකු ලෙස වෙස්‌ ගනිමින් ශ්‍රී ලංකාවට ගිය බව ඔහු කියා සිටියේය.

ජොනතන් මිලර් නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය අසලදී ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග ද වාදයක්‌ ඇති කරගත්තේය. යුද අපරාධ ගැන අපට චෝදනා කරන්නේ නුඹ විතරයි. ශවේන්ද්‍ර සිල්වා මිලර්ට ප්‍රතිචාර දැක්‌වීය. ඊට ප්‍රතිචාර දැක්‌වූ මිලර් යුද අපරාධ චෝදනා ලත් අයකුට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රැඳී සිටීමට හිමිකමක්‌ නැතැයි කියා සිටියේය. මේ අතර චැනල් 4 අධ්‍යක්‍ෂ මැක්‌රේ සිය තෙවැනි වීඩියෝ පටය ඉදිරිපත් කර ඇත. එය කොටි ත්‍රස්‌තවාදී ඉසිප්‍රියා නමැති නිවේදිකාවට ශ්‍රී ලංකාවේ සෙබළුන් විසින් අතවර කර ඝාතනය කර ඇති බව දැක්‌වීමය. එහෙත් ඉසිප්‍රියා ගැන චෝදනා එල්ල වූයේ 2011 දෙසැම්බර් මසදීය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම සමයේ ලන්ඩනටය පැමිණ සිටියේය. ඉසිප්‍රියා හෙවත් ශෝබාව මරා දමා ඇති බවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ජොනතන් මිලර් වීඩියෝ පටයක්‌ ද විකාශනය කළේය. ඉසිප්‍රියාගේ ඡායාරූප 2010 දෙසැම්බර් 1 දා ලන්ඩන් කොඩි ජාලය විසින් විකාශනය කර තිබිණි. මිලර් 2010 දෙසැම්බර් මස චැනල් 4 රූපවාහිනියෙන් විකාශනය කළ ඉසිප්‍රියා වීඩියෝ පටය කැල්ලම් මැක්‌රේ විසින් අලුතින් අමුද්‍රව්‍ය දමා 2013 නොවැම්බර් 1 දා චැනල් 4 නාලිකාවෙන් විකාශනය කරනු ලැබීය.

2012 මාර්තු මස මැක්‌රේ විසින් ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ව ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කර ඇතැයි කියමින් වීඩියෝ පටයක්‌ නිර්මාණය කර එය ජිනීවා වෙත ගෙන ආවේය. ඔහු ඉන් පසු ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පට කැනඩාව, නෝර්වේ, ඇමරිකාව, ඕස්‌ටේ්‍රලියාව, මැලේසියාව යන රටවලට ගෙන ගොස්‌ තිරගත කළේය.

එහෙත් මැක්‌රේට මේ ගමන් බිමන් යැමට මුදල් ලැබෙන්නේ කෙසේද යෑයි ඔහු හෙළි කර නැත. එසේම ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් යෑයි දක්‌වමින් මැක්‌රේ සහ මිලර් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් ප්‍රකාශ සිය වීඩියෝ පටවලට ඇතුළත් කර තිබේ. මේ සතියේ දිනෙක මැක්‌රේ ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කර ඇතැයි කියා සිටියේය.
ඊට සති කිහිපයකට පෙර ඔහු ලන්ඩන් නුවරදී ප්‍රකාශයක්‌ කරමින් තමාට ශ්‍රී ලංකාවෙන් මරණීය තර්ජන එල්ලවී ඇතැයි කියා සිටියේය.

මරණීය තර්ජන එල්ලවී ඇතැයි පවසන මැක්‌රේ දැන් මෙරටට එන්නේ මන්දැයි විමතියක්‌ නොවේද?

මැක්‌රේ සමග මෙරටට එන ජොනතන් මිලර් පසුගිය ඉරිදා චැනල් 4 රූපවාහිනිය ඔස්‌සේ ප්‍රකාශයක්‌ කරමින් වත්මන් ශ්‍රී ලංකාවේ පාලනය අපරාධවලින් පැන යමින් සිටින බව කියා සිටියේය.

එහෙත් බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයට රසායනික බෝම්බ 2700 ක්‌ දැමූ බව මෑතකදී හෙළි විය. ඉන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව අපමණය. හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ආරක්‍ෂක ලේකම් හා විදේශ ලේකම් ඊට වගකිවයුතු යෑයි ද විමර්ශන වාර්තාවක්‌ විසින් හෙළිදරව් කෙරිණි. එහෙත් මැක්‌රේ, මිලර් සහ ස්‌නෝ එකී යුද අපරාධ ගැන වීඩියෝ පට නිර්මාණය කළේද?

මෙලෙස පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක හමුවට එන රාජ්‍ය නායකයන් වෙත යොමුවී ඉසිප්‍රියා පෙන්වා ගිනි ඇවිලවීමට මැක්‌රේ ප්‍රමුඛ කල්ලිය උත්සාහ කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ ව්‍යාපාරය නමැති විදේශ සංවිධානය පොදු රාජ්‍ය මණ්‌ඩලය මෙහෙයවීමට ශ්‍රී ලංකාවට ඉඩ නොදිය යුතු යෑයි ප්‍රචාරය කර ඇත. එකී එන්.ජී.ඕ. සංවිධානය මෙලෙස ප්‍රකාශ කර තිබේ. 20,000 ත්, 40,000 ත් අතර ද්‍රවිඩයන් ශ්‍රී ලංකාවේදී මරා දමා ඇත. තවත් 300,000 ක්‌ සිවිල් වැසියන් අත්අඩංගුවේ සිටී.

ශ්‍රී ලංකා කැම්පේන් නමින් හඳුන්වන මෙකී විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය මෙහෙය වන කණ්‌ඩායමේ එක්‌ නියෝජිතවරියක්‌ වන්නේ කළුකොටි බෝම්බකාරියන් ගැන ශ්‍රී ලංකාවට පැමිණ වීඩියෝ පටයක්‌ නිපදවූ නෝර්වේ අධ්‍යක්‍ෂිකා බියටේ ආන්ස්‌ටඩ්ය.

මෙවන් පසුබිමක්‌ මැද මැක්‌රේ පවසන්නේ ද්‍රවිඩ සිවිල් වැසියන් 70,000 ක්‌ මරා දමා ඇති බවය. එහෙත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රශ්න කරන්නේ මරා දැමූ බව කියන අයගේ ඥතීහු සිටින්නේ කොහේද යන්නයි.

එසේම මැක්‌රේගේ තවත් වීඩියෝ පටයක පෙන්නුම් කරන ප්‍රනාන්දු නමින් හඳුන්වන සාක්‌කිකරු පවසන්නේ 50,000 කට අධික පිරිසක්‌ මරා දමනු තමා දුටු බවය. තමා හැඬූ බව ප්‍රනාන්දු තවදුරටත් පවසා ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව සුද්දන්ට පාවා දුන් විටෙක 50,000 ක්‌ මරන බව ප්‍රනාන්දු දුටු බව පැවසීම පුදුමයක්‌ නොවේ.

මේ අතර කොටි ඝාතන කල්ලියේ සාමාජිකාවක්‌ වූ ඉසිප්‍රියා පිළිබඳව චැනල් 4 වීඩියෝ පටයෙන් හෙළි කරන සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන්නැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් රජයෙන් ඉල්ලයි. එහෙත් මඩු දේවස්‌ථානයේදී කොටි විසින් ඝාතනය කළ ගුවන්විදුලි සංස්‌ථාවේ නිෂ්පාදක මරියදාසන් හා ඇව්රෝ යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර මැරූ මාධ්‍යවේදීන් තිදෙනා සහ කොකාවිල් රූපවාහිනි සම්ප්‍රේෂණාගාරයේ සිට එමින් සිටියදී ඝාතනය වූ රූපවාහිනි කන්ඩායම මරා දැමීම ගැන සම්පන්දන් අද වන තෙක්‌ විමර්ශන ඉල්ලා නැත.

මේ අතර චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේගේ වීඩියෝ පටයට සම්බන්ධ ඉසිප්‍රියා යෑයි හඳුන්වන කොටි නිවේදිකාව කවුද යෑයි ස්‌විස්‌ කොටි විරෝධීහු හෙළි කර ඇත. ඇය යාපනයේ ධර්මරාජන් සහ වේදමන්ජරීගේ දියණියකි. 1999 දී ඇය කොටි ත්‍රස්‌ත කල්ලියට බැඳී තිබේ. එවකට ඇගේ නියම නම ශෝගවානාය. කොටි ඇයගේ නම ඉසපි අරුවි යෑයි වෙනස්‌ කළේය. ඉන් පසු ඇය ප්‍රභාකරන් හමුවට පැමිණවීමෙන් පසු ප්‍රභාකරන් ඇයට ඉසිප්‍රියා යෑයි නම් කළේය. කැල්ලම් මැක්‌රේගේ සිය වීඩියෝ පටයේ දර්ශනවල එක්‌ හමුදා නිලධාරියෙක්‌ මේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වර්කා නොවේ යෑයි පවසන හඬක්‌ ද ඇතුළත් කර ඇත.

එකී වීඩියෝ පටයෙන් මැක්‌රේ පැමිණිලි කරු, සාක්‌කිකරු පමණක්‌ නොව විනිසුරු ලෙස ද ක්‍රියා කර තිබේ. කොටි ඝාතන කල්ලිය විනාශ වූයේ 2009 මැයි 19 දාය. එහෙත් මැක්‌රේ ඉසිප්‍රියාව හමුදාව ඝාතනය කළ බවට වීඩියෝ පටයක්‌ නිර්මාණය කර පෙන්නුම් කරන්නේ වසර 4 කට පසුවය. මේ වසරේ ජනවාරි 06 වැනිදා ආරක්‍ෂක විශේෂාංගයෙන් තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක්‌ නිර්මාණය වන බව අපි විශේෂයෙන් අනාවරණය කළෙමු. එම හෙළිදරව්ව දැන් සනාථ වී තිබේ. මැක්‌රේ ඇතුළු කල්ලිය ශ්‍රී ලංකාවට එන්නේ ප්‍රභාකරන්ගේ දියණිය වූ ද්වර්කා ගැන තවත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කිරීමේ අරමුණෙනි. එහෙත් යුද හමුදා බලධාරීහු අසරණ තත්ත්වයකට පත්වී සිටී. මේ අතර කොටි ඝාතන කණ්‌ඩායම වෙනුවෙන් තමිල්නාඩුවේ තන්ජවූර්හි ඉදිකළ ස්‌මාරකය පසුගිය 8 දා විවෘත විය. ඉන් කියන්නේ රජිව් ගාන්ධි ඝාතනය ද නිවැරදි බවයි.

මේ අතර කැල්ලම් මැක්‌රේගේ නම බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමග එන මාධ්‍ය ලැයිස්‌තුවට ද ඇතුළත්වී ඇතැයි හෙළි විය. ඔහු නොවැම්බර් 5 දා ලන්ඩනයේ රිවර්සයිඩ් ශාලාවේදී ශ්‍රී ලංකා විරෝධී වීඩියෝ පටය තිරගත කළේය. එම අවස්‌ථාවේ නැගී සිටි ශ්‍රී ලාංකිකයකු නුඹ දිගින් දිගටම චිත්‍රපට නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට අවමන් කිරීමට ක්‍රියා කළ බවට චෝදනා කළේය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.