සුදු පෙණ ලන්දේ අවසඟව නිදන "චීන මකරා..."

විසිඑක්‌ වතාවක්‌ අබලන් වී ඇනහිටි නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අමතකව ගිය අතීත කතාව

සිරිලක ජනතාවද, රජයද මහත් බලාපොරොත්තු තබා රටේ විදුලි ගැටලුවට පිළියම් ලෙස චීන ආධාර යටතේ නොරොච්චෝලේ ඉදිකළ ගල්අඟුරු තාප විදුලි බලාගාරය මේ මොහොත වන විට විසිඑක්‌ වතාවක්‌ (21) අබලන් වී ඇනහිට අකර්මණ්‍ය වී අකාර්යක්‍ෂමව ඇත.

ඇතමුන් පවසන්නේ මේ නිතර නිතර ලෙඩ වීම, ගිනි ගැනීම, අබලන් වීම පසුපස සිටින්නේ එකල වෙඩි තබා, මිනී මරා අමුqවෙන්ම සිරකර දැමූ තාප බලාගාර ජනතා උද්ඝෝෂණ සෙවණැල්ල බවයි.

ඒත් තව පිරිසක්‌ පවසන්නේ ඒ පසුපස සිටින්නේ දූෂිත වූ බලධාරීන්, නිලධාරීන්, චීනුන් හා බාල වර්ගයේ රීකන්ඩිෂන් යන්ත්‍ර සූත්‍ර බවයි.

සැබැවින්ම මේ බිඳවැටීම් තුළ සිටින්නේ අද්භූත නොමිනිස්‌ බලවේගයන්ද... නැතිනම් රට යකාට ගිය දෙන් කියා තම කට බඩ පමණක්‌ පුරවා ගන්නා මිනිස්‌ බලවේගද?

රටේ විදුලි බල ශක්‌තිය සංවර්ධනය කිරීම උදෙසා ඉමහත් බලාපොරොත්තු ඇතිව තැනූ නොරොච්චෝල "ලක්‌විජය" ගල් අඟුරු තාප විදුලි බලාගාරය දැන් රටේ අපේක්‍ෂා සුන්කර තිබේ. රටේ ශීඝ්‍ර සංවර්ධනය හමුවේ ජාතික විදුලිබල පද්ධතිය අදියර කීපයක්‌ යටතේ පෝෂණය කිරීමේ සාඵල්‍ය අරමුණ ඇතිව රුපියල් කෝටි ගණනක්‌ චීන රජයේ අනුග්‍රහය ඇතිව මෙරට ඉදිකළ මෙම බලාගාරයේ අද දවසේ තත්ත්වය කෙසේද?

අද එය ලෙඩෙකි. නැතිනම් "ලෙඩකි." එය නිදා සිටින දැවැන්ත චීන මකරකු මෙන් දෙනාස්‌ පුඩුවලින් දුම් පිට කරමින් ඔහේ එකතැන වැතිර සිටී. රටේ දැන් සිදු කෙරෙන්නා වූ දැවැන්ත සංවර්ධනයත්, පුළුල් ජනාවාසකරණයත්, නව ලෝකයත් හමුවේ එයට එසේ නිදා සිටිය හැකිවේද...?

අප රටට අලුත් වුවත් ගල් අඟුරු දැවීමෙන් ටර්බයිනයන් කරකවා විදුලිය උත්පාදනය කරවීමේ ශිල්පය ලෝකයට අලුත් නැත. අපේ රටේ ඇරැඹූ මුල්ම ගල්අඟුරු තාප විදුලි බලාගාරය රුපියල් දශලක්‌ෂ තුන්දහස්‌ අටසීයක (3800) මුදලක්‌ මෑතකදී පමණක්‌ සිය භාරකරුවා වන විදුලිබල මණ්‌ඩලයට පාඩුකර තිබුණි. අප මේ කතා කරන්නේ ඒ ව්‍යසනය ගැනම නොවේ. වේදනාව අතරින් මතුවන නොරොච්චෝලේ සොඳුරු අතීත මතක ගැනය.

මෙම තාප විදුලි බලාගාරය පිහිටුවා වූ නොරොච්චෝලේ ග්‍රාමය සුන්දර වෙරළක්‌ පිහිටි කෘෂි ගම්මානයකි. විවිධ එළවළු, පලතුරු එහි වැවෙයි. ධීවරයන්ට මත්ස්‍ය සම්පතද බහුලව ලැබේ. ගම සුන්දර වගේම ගමේ නමද සුන්දර ය. දමිළ බසින් "නූරෙයි" යනු සුදු පෙණ කැටිතිය. "චෝලේ" යනු කැලය ලන්ද මූකලාන යන අරුත් දෙයි. මුහුදු රළ ගෙඩි චිරාත් කාලයක්‌ සුදුපෙණ කැරැළි ගොඩබිම් වන තීරුවේ වෙරළේ ගොඩ ගසා ශේෂ කොට ඔබ මොබ යන්නට ඇති. බාධාවකින් තොරව වෙරළේ හැපෙමින් සෙනෙහසින් සිඹිමින් පැද්දෙන්නට පෙරළෙන්නට ඇති. ඔබට එවන් සුන්දර සිතුවමක්‌ සිහියට නඟා ගැනීමට හැකි වේ නම් මීට වසර සිය ගණනකට එපිට සිට නොරොච්චෝලේ මුහුදු බිම්තීරුව පැවති ආකාරය ගැන වැටහීමක්‌ ගැනීමට හැකිවනු ඇත. සැබැවින්ම සුදු පෙණ පිරුණු ඒ කැලෑ ලන්ද සොඳුරු සිතිවිලි ඇති ගම්මුන් විසින් දමිළ භාෂාවෙන් "නුරෙයිචෝලේ", "නොරොච්චෝලේ" ලෙසින් නම් තබන්නට ඇති. සිංහල භාෂාවෙන් නම් "සුදු පෙණ ලන්ද" නම ඒ ගමට අපූරුවට ගැලපෙයි.

සිරිලක්‌ යුවතිය දකුණු අත් දණ්‌ඩ පැත්තකට ඉහළට ඔසොවා සිටින්නාක්‌ මෙන් සිරිලක දිවයින සිතියමේ සටහන් වී තිබෙන පෙනෙන කල්පිටිය අර්ධද්වීපය රටේ ඓතිහාසික අගයකින් යුතු පෙදෙසකි. කලපුවෙන්ද, ගැඹුරු මුහුදෙන් ද වටවූ මෙම අත් දණ්‌ඩෙහි, අත්තෙහි මධ්‍යයට වන්නට වාගේ නොරොච්චෝල පිහිටා ඇත. කොළඹ - පුත්තලම පාරේÊපාලාවි හන්දියෙන් හැරී කල්පිටිය මාර්ගය දිගේ කිලෝමීටර් විස්‌සක්‌ පමණ පැමිණ නාරක්‌කල්ලි හන්දියෙන් වමට මුහුද පැත්තට ඇති මාර්ගය දිගේ කිලෝමීටරයක්‌ පමණ ගමන් කළ විට නොරොච්චෝල තාප බලාගාරය හමුවෙයි. නොරොච්චෝල නගරය ආර්ථික වෙළෙඳ මධ්‍යස්‌ථානය වෙත යැමට නම් නාරක්‌කල්ලි හන්දියෙන් නොහැරී කල්පිටිය මාර්ගය ඔස්‌සේ තවත් කිලෝමීටර් පහක්‌ පමණ ඉදිරියට යැමට සිදු වෙයි.

මීට වසර පහළොවකට විස්‌සකට ප්‍රථම මෙම තාප විදුලි බලාගාර පෙදෙස හිස්‌ ශූන්‍ය භූමියකි. මාදැල්කරුවන් මාදැල් ඇදීමට මේ කිලෝමීටර කීපයක්‌ වූ බිම් තීරුව භාවිත කළ අතර ඔවුන්ගේ පොල් අතු පැල්පත් කීපයක්‌ද එහි විය. අපද ධීවර මිතුරන් සමග මාදැල් ඇද්ද අයුරුද අලුත් මසුන් ලුණට තම්බා කිරි රසට කෑ අයුරුද මේ මොහොතේ සොඳුරු අතීතයක සැමරුම් ලෙස මනසේ මැවෙයි.

නොරොච්චෝල ගම්මුන්ට සුන්දරත්වය දුන් වෙරළ සුදු පෙණ ගොඩ ගැස්‌වූ ගැඹුරු මුහුදම පසුව ඔවුනට එරෙහි විය. නොරොච්චෝල අවට මුහුද සිරිලක ගැඹුර මුහුද පිහිටි ස්‌ථානවලින් එකකි. ත්‍රී'මලයේ, ගාල්ල, මාවැල්ල යන ස්‌ථානවලද මුහුද ගොඩබිම ආසන්නයේ මීටර් පහළොවකට වඩා ගැඹුරින් යුක්‌ත විය. එනිසාම ලොකු මාළුන් වන තෝර, මෝරු, බල ආදීන් මා දැල් යොදාගෙන ධීවරයෝ ගොඩට ගෙන ධීවර දිවිය සරුසාර කර ගත්හ.

මුහුදේ පිහිටි මේ ගැඹුරම ගම්මුන්ට හෙනහුරු දශාව කැටියේය. තාප බලාගාරයට අවැසි ගල් අඟුරු ගෙන්වීමට නැව්වලට මුහුදේ ගැඹුර මීටර් පහළොව හෝ ඊට වැඩිවීම අනිවාර්ය සාධකයක්‌ විය. මහ මුහුද මැදට මීටර් 1000, 1500, 2000, 3000 අතර දුර ප්‍රමාණයට ජෙටි තනා ඒවායින් ආධාරක පටි (CONVEYING BELT) ආධාරයෙන් ගල් අඟුරු බලාගාරය වෙත රැගෙන ඒමට මෙම මුහුදේ ගැඹුර අත්‍යවශ්‍ය සාධකයක්‌ ම විය. මෙම ගැඹුර ආශ්‍රය කර ගෙන තාප බලාගාරය ඉදිකීරීමට රාජ්‍ය බලධාරීහු තීරණය කළහ.

සැබැවින්ම මෙම තාප බලාගාරය ඉදිකිරීම සඳහා මුලින්ම සැලසුම් කෙරුණේ ත්‍රීකුණාමලයේ ය. ඒ දිනවල උතුරු නැගෙනහිර පැවැති කොටි ත්‍රස්‌ත තර්ජන නිසා එම අදහස අත් හැරී ගොස්‌ ඊළඟට ගාල්ලේ මාවැල්ලේ ඉදි කිරීමට සැලසුම් කෙරුණි. ඒ දිනවලම දකුණේ පැවැති ජවිපෙ භීෂණය හේතුවෙන්ද ඔවුන්ගේ විරෝධතාව හේතුවෙන්ද එම අදහස ද ප්‍රේමදාස රජයට අකුළා ගැනීමට සිදු වුණි. ඉන් අනතුරුව රජයන් හැරුණේ වයඹ දිග ගැඹුරු මුහුqද පෙදෙසටයි. නොරොච්චෝලය තෝරා ගැනීමට හේතු වූයේ එපරිදිය. රටට කෙසේ වෙතත් නොරොච්චෝල ගම්මුන්ට මෙම තෝරා ගැනීම වඩා යහපත් ලෙස හෝ අයහපත් ලෙස බලපාන බව තීරණය කළ හැකි වනුයේ අනාගතයේදීය.

ත්‍රිකුණාමලයේ ද, මාවැල්ලේ ද ඉදිකිරීමට නොහැකි වූ තැන නොරොච්චෝලේ දී බලාගාරය මූලික ඉදිකිරීම් කිරීමට ලංකා විදුලි බල මණ්‌ඩලය ආරම්භ කළේ වැරැදි පැත්තෙනි. වැරැදි ක්‍රමයටය. වැරැදි මොහොතකය. මෙසේ පැවසීමට හේතු කාරණා රැසක්‌ම තිබේ.

එකල ජපන් රජයේ ආධාර ඇතිව මෙම බලාගාරය ඉදිකිරීමට එවක චන්ද්‍රිකා රජය හා විදුලිබල අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ ගිවිසුම් කර තිබුණි. ජපන් මුදල් රුපියල් මිලියන ගණනේ කප්පම්, කොමිස්‌ ලෙස බලධාරීන් හා නිලධාරීන් වෙනුවෙන් එකල ස්‌විස්‌ බැංකුවල සැඟවුණ බව පැවසිණ.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්‌ වූ මෙය ජනතාවගෙන් නොවිමසාම ජනතාවට පටවන්නට තැත් කෙරුණේ මෙම කොමිස්‌ මුදලේ රසට ලොල් වූ මේ දෙපිරිසය. එකවරම පැමිණ මාදැල් වාඩි කඩා දමන්නට පටන් ගැනීම නිසා ජනතාව උරණ වූහ. අවි, කැති, පොලු, මුගුරු අමෝරා ගත්හ. පළමු වෙඩිල්ල ජනතාවගෙන් පත්තු විය. විදුලිබල මණ්‌ඩලයේ ජෙනරේටරයකට ගිනි තැබූහ. නිලධාරීහු ගම දමා පැන ගියහ. ලත් තැනම රජයේ උත්සාහය ලොප් විය.

රජය වැරැදි ආරම්භයක්‌ ගත් නිසාම ජනතාවද කැත්තට පොල්ලට සිටියහ. ඒත් රජය යළිත් බලය පාමින් ආරක්‌ෂක අංශ යොදමින් සීමා මායිම් පනවමින් යළිත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යත්න දැරීය. එවිට ජනතාව අළු දැමූ කඩිගුලක කඩියන් සේ උරණ වූහ. උද්ඝෝෂණ, පෙළපාලි ඇරැඹුණි. පල්ලිය මුලින්ම සහායට සිටියේය. තලවිල ඓතිහාසික පුදබිම මෙම බලාගාරය නිසා විනාශ වෙතැයි කියා පල්ලිය ජනතාව හා එක්‌වී විරෝධය පෑහ. පසුව පන්සල, කෝවිල, මුස්‌ලිම් පල්ලිය එක්‌විය. උද්ඝෝෂණ නිමාවක්‌ නැතිව දිනපතා සතිපතා පැවැත්වුණි. ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයන්වලින් උණුසුම් හා වර්ධනාත්මක ප්‍රවෘත්ති ලෙස ඒවා ජනතාව හමුවට ගෙනෙන ලදී.

ජනතා උද්ඝෝෂණ රැල්ල දින දින උත්සන්න වෙමින් තිබියදී චන්ද්‍රිකා රජය අපූරු මෙන්ම භයානක නීතිද මේ වෙනුවෙන් පනවන ලදී. දණ්‌ඩ නීති සංග්‍රහයට හෝ වෙනත් කිසිදු නීති සංග්‍රහයකට යටත් නොවන නවතම නීතියක්‌ පැනවිණි. එය නම් පස්‌දෙනකුට වඩා එක්‌ව මේ ගැන සාකච්ඡා කිරීම, උද්ඝෝෂණ කිරීම, ජනතාව පෙළඹවීම, අයුතු ජන රාශිය යන ඒවා තහනම් කිරීම හා අත්අඩංගුවට ගැනීමද, දින නියමයක්‌ නොමැතිව රඳවා ගැනීමද යන මේ කරුණු ඊට අඩංගුව තිබිණි.

උද්ඝෝෂණ සඳහා මේ නීති කොතෙක්‌ දැමුවත්, මිනිසුන් අත්අඩංගුවට ගත්තත්, ජනතාව නොවේ ඉදිරියට තැබූ පියවර පසුපසට ගත්තේ.

මේ සෑම දෙනා මේ කළේ රටට ඇති අනාදරය නිසා නොවේ. විදුලිබලය හිඟව පැවැති එකල විදුලියේ අගය නොදැනද නොවේ. අනාගත විදුලි අවශ්‍යතාවයේ වටිනාකම නොදැනද නොවේ. ඔවුන්ට මුලින්ම රජය කළ රිදවීම කෙණහිල්ලට ඔවුන් එකටෙක කළා විය යුතුය.

අවසන නොරොච්චෝල මංසන්ධියේ පැවැති උද්ඝෝෂණයකදී පොලිසිය ජනතා පොකුරට කලුවරේ වෙඩි තැබීමෙන් සෝමසිරි නම් නාටාමිවරයා එතැනම මිය ඇදුණි. තවත් කීප දෙනෙක්‌ගේ දත් කැඩී, අතපය බිඳී ඔත්පල වූහ. මේ ලියුම්කරුද ඒ මොහොතේ සිටියේ එතනය. මමත්, ජූඩ් මාධ්‍යවේදියාත් ඒ ෙ€දනීය අවස්‌ථාව මාධ්‍යයට සටහන් කළේ එදින උදේ සිටම රාත්‍රී වන තුරුම ඒ ජනතාව සමගම ගත කරමිනි.

මින්පසු රජය මඳකට ව්‍යාපෘතිය හකුළා ගත්තේය. යළි රජය පැමිණියේ පාඩම් ඉගෙන ගෙනය. ඉන්පසු ජනතා ඇමතීම්, දැනුවත් කිරීම්, වාර්තා ප්‍රදර්ශනය කිරීම් ඇරැඹුණි. ජනතා ව්‍යාපෘති ආරම්භ කළ යුත්තේa ජනතාව සමග බව රජය තේරුම් ගෙන තිබුණි.

ඒ අතරේ පැමිණි රනිල් රජය තාවකාලික පැලැස්‌තර ගසා තුවාලය මඳකට වසා දැමීය. ඒ රජය බිඳ වැටුණු පසු පොදු පෙරමුණු රජය මානූෂීය මුහුණුවරකින් ව්‍යාපෘතියට එබිකම් කළේය.

විදුලිබල අමාත්‍ය ඩී. ෙ-. සෙනෙවිරත්න සමයේ දී ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය චීනය සමග ගිවිස ගන්නා ලද්දේ ජපානය, පළමු ගිවිසුමෙන් ඈත් වූ නිසාය.

කෙසේ හෝ අවසන බලාගාරය ඉදිවුණි. ජනපතිවරයා විවෘත කිරීමට පෙරද යන්ත්‍ර ගිනි ගැනීම්, අකර්මණ්‍ය වීම්, දෝෂ ඇති විය. කෙසේ වෙතත් තවමත් ගල්අඟුරු බලාගාරය එලෙසින්ය.

රුපියල් සියයේ කොළයේ මෙම ගල්අඟුරු තාප විදුලි බලාගාරය සටහන් කොට ඇත්තේ දේශීය විදුලිබල අවශ්‍යතාව සපිරීමට එම සංවර්ධන ව්‍යාපෘතිය ඉවහල් වේ යෑයි සිතා විය යුතුය. එහෙත් මෙලෙස සංවර්ධන ව්‍යාපෘතියක්‌ දිගින් දිගටම අසාර්ථක වන්නේ නම් ලෙඩ වන්නේ නම් ඊළඟ නව රුපියල් සියයෙන් එම රූපයද හැළී යනු ඇති.

ජනතාව එදා උරණ වූයේ ගල්අඟුරු තාප විදුලි බලාගාරයක්‌ ඉදි කරනවාටය. අද උරණ වූවොත් උරණ වන්නේ මෙවැනි "ලෙඩ" ඉවත් කර දැමීමටය. මෙතෙක්‌ කලක්‌ ලෙඩ වී තිබූ බලාගාරය යළිත් ක්‍රියාත්මක බව ඉංජිනේරුවෝ පවසති. ඒත් මෙතුවක්‌ ලත් අත්දැකීම් අනුව හෙට දවසේත් එය කොයි මොහොතක නතර වේදෝ ගිනි ගනීදෝ යන්න සැක සහිතය. අප උඩ බලාගෙන විදුලිය ලැබෙන තුරු බලා සිටියදී චීනුන් අපගේ යටිපල්ලද අතගා ගලවාගෙන ගොස්‌ තිබෙනු ඇති.

ටෙරන්ස්‌ වනිගසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.