අසා සැහැසිකම් මිහිකත සැලුනාද
තිසා වැවට ඒ කඳුලුත් වැටුණාද?




මහ කන්නයේ භෝග වගාව සඳහා වැසි ආරම්භවීමත් සමඟ උදේ සිට හිරු අවරට ගොස්‌ අඳුර රජයන තෙක්‌ම හරි හරියට මහ පොළොවත් එක්‌ක පොර බදා දැඩි වෙහෙසට පත්වූ අය මෙන්ම ජය මහ හාමුදුරුවන්ගේ සුපුරුදු තේවා රාජකාරිය නිමවා නිවෙස්‌වලට පැමිණි අනුරාධපුර විහාරහල්මිල්ලකුලමේ ගම්මු ඉකුත් 04 වෙනිදා රාත්‍රිය වන විට සුව නින්දකට ගොස්‌ සිටියහ.

එම රාත්‍රියේ විහාරහල්මිල්ලකුලම නම් වූ සොඳුරු ගම්මානයේ වෙනදා දකින්නට නොතිබූ තරම් අන්ධකාරයෙන් පිරි මූසල බවක්‌ ඇතැම් ගම්වැසියන්ට දැනෙමින් තිබිණි.

අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම යනු පුරාණයේ සිටම සමස්‌ත බොදුනුවන්ගේ අපරිමිත වන්දනීයත්වයට වගේම අති ගෞරවයට පාත්‍ර වූ ඓතිහාසික විජය ශ්‍රී ජය ශ්‍රී බෝ හාමුදුරුවන් වහන්සේ තම පණටත් වඩා දිවිහිමියෙන් රැක බලාගත් සහ රැක බලා ගනු ලබන උත්තුංග කාර්යයක නිරතව සිටින බෝධිගුත්ත පරපුරේ අය පදිංචිව සිටින විහාර ගම් නවයෙන් එකකි.

එම ගම්මානයේ මෙතෙක්‌ කලක්‌ සිදු නොවූ මහා ඛේදචාචකයක දුක්‌ මුසු පුවතක්‌ ඉකුත් 05 වෙනිදා පහන් වන විට අසන්නට වූයේ මුළුමහත් රට වැසියන්ගේම හදවත් කම්පා කරවමිනි.

එදවස පහන්වීමට හෝරා කීපයක්‌ තිබියදී අලුයම 2.00 පමණ වන විට විහාර හල්මිල්ලකුලමේ පදිංචි සෑම සියලු දෙනාගේම අනුකම්පාව වගේම ආදරය දිනාගත් අන්ත අසරණ පවුලක ගෘහ අධිපතියා වු කේ. ඒ. පියදාසගේ නිවසේදී එම ඛේදවාචකය සිදුවූයේ ඔහුගේ පවුලේ අය මෙන්ම ගමේ කොයි කවුරුත් සුව නින්දක පසුවෙමින් සිටියදීය.

ඒ මහා ඛේදවාචකය නම් ඔහුගේ පවුලේ හතළිස්‌ හැවිරිදි බිරිඳ ඉඳුමිණි ශ්‍රියාණිද එකම පුත්‍රයා විසිතුන් හැවිරිදි කේ. ඒ. සුමිත් උදය කුමාරද එකම දියණිය විහාරපාළුගම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටි දහතුන් හැවිරිදි කේ. ඒ. තක්‌ෂිලා කුමුදු කුමාරිද බිරිඳගේ සොහොයුරිය වූ හතළිස්‌ හය හැවිරිදි ප්‍රේමදාසගේ පේමාවතී සහ ඇගේa පුත් විසිපස්‌ හැවිරිදි රාජපක්‌ෂගේ ප්‍රියන්ත යන පස්‌ දෙනාම රුපියල් ශතවලට ලොල් වූ මිනිස්‌ ජීවිතයක වටිනාකම ගැන නොදත් තිරිසන් පාපතරයෙකු විසින් නිදි පැඳුරේදීම තියුණු ආයුධයකින් කපා කොටා සාහසික ලෙස ඝාතනය කිරීමයි.

මෙහිදී තම බිරිඳ, දරුවන් පස්‌ දෙනා සහ නෑනා මෙන්ම ඇගේ පුත්‍රයාද ජීවිතයෙන් වන්දි ගෙව්වත්, පියදාසගේ ජීවිතය වාසනාවකට යන්තමින් බේරුණි.

සිද්ධියේ මුල

අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්‌ථානයක නාටාමි කෙනකු ලෙස බඩු මුට්‌ටු කර ගසමින් තම අඹුව ඇතුළු දරුවන් ජීවත් කරවීමට දිසපතා කීයක්‌ හෝ හම්බ කොට විහාරහල්මිල්ලකුලම ගමේ කිසිවෙකුටත් හිරිහැරයක්‌, කරදරයක්‌ හෝ නොමැතිව ඉතාම අහිංසක ජීවිතයක්‌ ගත කළ කේ. ඒ. පියදාසගේ බිරිඳ වන ඉඳුමිණි ශ්‍රියාණිගේ වැඩිමහල් සොයුරියවූ පේමාවතී පදිංචිව සිටියේ හසලක, කොටියාපොළ ප්‍රදේශයේය.

මීට වසර කීපයකට පෙර සිදුවූ තම සැමියාගේ වියෝවෙන් පසු අන්ත අසරණව ජීවත් වූ පේමාවතී සහ ඇගේ පුත්‍රයාවන ප්‍රියන්ත හසලක පිහිටි තම නිවස සහිත ඉඩම රුපියල් තුන් ලක්‍ෂ පනස්‌ දහසකට විකුණා නිවසේ තිබූ බඩු බාහිරාදියත් ලොරියක පටවා ගෙන ඉකුත් 04 වෙනිදා පියදාසගේ නිවසට ආහ. ඒ විහාර හල්මිල්ලකුලමෙන් නව ඉඩමක්‌ මිලදී ගෙන සිය ඥතීන් සමඟ එකට ජීවත්වීමටය.

මේ අතරතුර හසලක සිට විහාර හල්මිල්ලකුලමට භාණ්‌ඩ රැගෙන ආ ලොරියේ රියෑදුරු සහ රිය සහායකට අමතරව ප්‍රේමාවතීගේ පුතා ප්‍රියන්තගේ මිතුරෙකුවූ දැනට හසලක ප්‍රදේශයේ පදිංචිව සිටින විසිහත් හැවිරිදි නම්බුකාර ගමගේ ජගත් කුමාර නැමැත්තාත් පැමිණියේය.

මෙලෙස පේමාවතීගේ භාණ්‌ඩ ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරා සහ රිය සහායකයා පේමාවතී මිලදී ගැනීමට සුදානම් ව සිටි විහාරහල්මිල්ලකුලමේ පිහිටි නව ඉඩමට යාබද නිවසක බඩු බාහිරාදිය බා එදින රාත්‍රී 8.00 ට පමණ ආපසු යන්නට ගියහ. එහෙත් පේමාවතීගේ පුත්‍රයාගේ මිතුරා ජගත් කුමාර පසුදා හසලක යන බව පවසා පියදාසගේ නිවසේ නතර විණි.

ඔහු කලක්‌ යුද හමුදාවේ දහවෙනි ගැමුණු හේවා බල ඇණියේ සේවය කොට මීට වසරකට පෙර හමුදා සේaවයෙන් පලා ආ අයෙකි. ඔහු ගේ සෙබළ අංකය 24368 විය. ඔහු තාවකාලිකව 7 අමුණ ප්‍රදේශයේ විහාරස්‌ථානයක නැවතී සිටියේය.

මේ අතරතුර හසලක සිට රැගෙන ආ පේමාවතීට අයත් භාණ්‌ඩ ලොරියෙන් බෑමෙන් පසු භාණ්‌ඩ බෑමට උදව් ලබාදුන් පිරිසට හා විහාරහල්මිල්ලකුලමට පේමාවතීලාගේ පැමිණීම හේතු කොට ගෙන ඇතිවූ ප්‍රීතිය භුක්‌ති විඳීමට සාදයක්‌ සුදානම්ව තිබිණි. පියදාසත් ඔහුගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටින ඔහුගේ බිරිඳගේ සහෝදරයෙකු වන සමන් ඇතුළු පිරිසත් අනුරාධපුර නගරයෙන් මත්වතුර ගෙනවිත් මදුවිත තොලගාමීන් රාත්‍රී 10.00 පමණ වනතුරු ගී ගයා කා බී විනෝද වූහ.

අනතුරුව පියදාසගේ පවුලේ අයත් පේමාවතී සහ ඇගේ පුතාත් රාත්‍රී 10.00 න් පසු අලුත් හෙටක්‌ ගැන සිහින මවමින් සුව නින්දට ගියහ.

එහෙත් ජගත් කුමාර හැර තමන් මෙලෙස ගෙවා දමනුයේ තම ජීවිතයේ අවසන් හෝරා කීපය හෝ විනාඩි තත්පර කීපය හෝ බව ඔවුන් කිසිවිටෙකත් දැනගෙන සිටියේ නැත.

සුව නින්දකට ගිය ඔවුන් යළි පසුදා අවදි නොවූහ.

මරණ දැනගැනීම

හැමදාමත් සුපුරුදු පරිදි අලුයම 5.00 පමණ විට අවදි වන පියදාස සහ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් උදේ 6.30 පමණ වනතුරුත් අවදි නොවීම යාබද නිවසේ පදිංචි පියදාසගේ බිරිඳගේ සහෝදරයා වන සමන්ට සහ ඔහුගේ බිරිඳ අනෝමා ප්‍රියදර්ශනට ප්‍රහේaලිකාවක්‌ වී තිබිණි.

ඒ නිසාම මේ ගැන විපරම් කර බැලීමට සමන්, පියදාසගේ නිවස පසු පසින් ගොස්‌ බලන විට මුළුතැන්ගේ දොර වසා තිබීම නිසා ඔහු නිවසේ ඉදිරිපසට ගියේ නිවසේ ඉදිරිපස දොර යන්තමින් විවෘත කොට තිබෙන අයුරු දිස්‌වීම නිසා ඔහු ඉන් නිවස තුළට එබිකම් කර බැලුවේය.

යන්තමින් දොර විවර කොට නිවස තුළට එබී බලන විට සමන්ට සිය දෙනෙත් අදහගත නොහැකි දසුනක්‌ නිවසේ සාලයෙන් පෙනුණි. ඔහු වහා දුව ගොස්‌ සිය බිරිඳ අනෝමාටද මේ බව දැනුම් දුන්නේය.

නැවතත් අනෝමාත් සමනුත් පියදාසගේ නිවසට ගොස්‌ නිවස තුළ විපරම් කර බලනවිට පෙරදින රාත්‍රි එහි නවාතැන් ගත් ආගන්තුකයා වූ ජගත් කුමාර එහි නොසිටි අතර පියදාසත් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාත් බිරිඳගේ සොහොයුරිය හා පුත්‍රයාත් නිවස තුළ ලේවිලක්‌ මැද තැන තැන වැටී සිටිනු දක්‌නට ලැබුණි. ඒ දැකුමෙන් ඔවුන් දෙදෙනා ඉමහත් කම්පනයට පත්වූහ.

එම අවස්‌ථාවේම සමන් සහ අනෝමා යුවල මහ හයියෙන් විලාප නගමින් අහස පොළොව නුහුලන තරම් වූ ඒ මහා අපරාධයේ දුක්‌මුසු පුවත කියාපාන්නටද වූහ.

ගතවූයේ නිමේෂයකි. විහාරහල්මිල්ලකුලමේ ගම්මු දහස්‌ ගණනක්‌ පියදාසගේ නිවස වටා රොක්‌වූහ. එසැණින් යන්තම් පණ අදිමින් සිටි පියදා ව අසල්වාසීන් විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත රැගෙන ගියහ.

විහාරහල්මිල්ලකුලමේ එකම පවුලේ පහක්‌ කපා කොටා මරාදාලා පුවත තත්පර විනාඩි ගණනින් කටින් කට හා විද්යුත් මාධ්‍ය ඔස්‌සේ රට පුරා ප්‍රචාරය විය.

එම ආරංචිය ලද වහාම මම අනුරාධපුර නගරයේ සිට පියදාසගේ නිවසට වහා පැමිණියෙමි. පියදාසගේ ගමට පිවිසෙන මාර්ගයේ කෙටි දුරක්‌ ගමන් කරන විට මාර්ගයේත් පියදාසගේ නිවස අවටත් මහා ජන ගඟක්‌ රැස්‌ව සිටියහ.

එහි සිටි පිරිස හැඬූ කඳුළින් වික්‌ෂිප්තව බලාගත් අත බලා උන්හ. සිදුවී ඇති ඛේදවාචකයේ තරම ඔවුනට අදහාගත නොහැකි තරම්ය.

පොලිස්‌ පරික්‍ෂණ ඇරඹීම

මහා ජන ගඟ අතර සිටි ඇතැම්හු රත්තරන් හදවතක්‌ ඇති, කිසිවෙකුටත් කරදරයක්‌ හෝ හිරිහැරයක්‌ නොවී ජීවත් වූ පියදාසගේ පුවලේ අයට කළ මේ අපරාධයට සම්බන්ධ පාපතර මිනීමරුවා සොයා දෙන්නැයි ජය මහා හාමුදුරුවන්ට වගේම කළුබංඩාර දේවතාවුන් වහන්සේටත් කන්නලව් කළහ. හඬා වැළපුනාහ. ඒ අතර වහා යුහුසුළුවූ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න යන අයගේ මෙහෙයවීම මත අනුරාධපුර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ ප්‍රමුඛ ප්‍රධාන පොලිස්‌ නිලධාරීන් සහ අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ විමර්ශන ඒකක ගණනාවක මෙන්ම බුද්ධි අංශ නිලධාරීන් මිනීමරුවන් සෙවීමේ විමර්ශන සහ මෙහෙයුම් වහ වහා ක්‍රියාත්මක කළහ.

මේ අතරතුර ඇතැම් පොලිස්‌ විමර්ශන නිලධාරීන් පියදාසගේ නිවසේ පෙරදින රාත්‍රී පැවැති සාදයට පැමිණි පුද්ගලයන් සහ ඔවුන් කළ කී දැ පිළිබඳව සොයා බලමින් විමර්ශනයක යෙදුණාහ.

එහි ප්‍රතිඵලයක්‌ ලෙසට පංචපුද්ගල ඝාතනයෙන් පසු අතුරුදන් වූ සැකකරු ජගත් කුමාර සමග සාදයේදී කුළුපඟවූ අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ තරුණයෙකුගෙන්ද පොලීසිය ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්න කිරීම්වලදී ඔහු අතුරුදන්වූ සැකකරු ජගත් කුමාර මත්වතුර සාදයේදී තමාට කිව් කතාවක්‌ මෙලෙස හෙළි කළේය.

"මචං මට අන්රෙජිස්‌ටර් (ලියාපදිංචි නොකළ) ත්‍රීවිල් එකක්‌ තියෙනවා. මම ඒකෙන් පොළොන්නරුවෙ බකමූණට ගිය වෙලාවෙ පොලිසියට අහුවුණානෙ. දැන් ඒකට පොලීසිය නඩුදාලා තියෙන්නේ. මට ළඟදී ඒ නඩුවටත් යන්න තියෙනවා.

මේ හෝඩුවාව ඝාතන සිද්ධියේ සැකකරු ඉතාම ලෙහෙසියෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මහත් පිටුවහලක්‌ විය.

ඒ ඔස්‌සේ ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලීසිය වහා බකමූණ පොලිස්‌ ස්‌ථානයේ රථවාහන අංශය අමතා ජගත් කුමාරගේ පදිංචි ලිපිනය ඇතුළු තොරතුරු රැසක්‌ අනාවරණය කොටගෙන ඒ බව හසලක පොලීසියටද දැනුම් දී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඒ වන විට අතුරුදන්ව සිටි සැකකාර ජගත් කුමාර විහාරහල්මිල්ලකුලමේ පදිංචි පියදාසත් කපා කොටා ඔහුටද බරපතල තුවාල සිදු කොට ඔහුගේ බිරිඳ ඇතුළු දරු දෙදෙනාත් බිරිඳගේ සහෝදරිය සහ ඇගේ පුත්‍රයා ඝාතනය කර තිබිණ. පියදාසගේ බිරිඳගේ සොහොයුරිය විසින් හසලක පිහිටි ඉඩම විකුණා රැගෙනවිත් තිබූ රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මුදලකුත් රැගෙන ඝාතනයට යොදා ගත් පිහිය සෝදා පිසදමා එම නිවසේ මුළුතැන්ගේ සඟවා තම ශරීරයේ තැවරී තිබු ලේ සෝදා ගත් මිනීමරුවා පියදාසගේ දියණියගේ පාපැදියෙන් අනුරාධපුර නගරයට පැමිණියේය.

එසේ යන අතරතුර පාන්දර 4.00 ට පමණ අනුරාධපුර දහයියාගම, පවිත්‍රපුර හන්දියේ කොළ කැඳ අලෙවි කරන ස්‌ථානයකින් මුදල් දී කොළ කැඳ වීදුරුවක්‌ පානය කළේය. දුම්වැටි දෙකක්‌ද මිලදී ගත්තේය. අනතුරුව ඒ අසල බයිසිකලය දමා ත්‍රීරෝද රථයක්‌ කුලියට ගෙන අනුරාධපුර නව බස්‌ නැවතුම්පොළට පැමිණියේය.

අනතුරුව ජගත්කුමාර බස්‌රථයකින් අනුරාධපුර රඹෑවටත්, ඉන් හෙට්‌ටිපොල හා පසුව හසලක ප්‍රදේශයටත් ගියේය.

එසේ යන අතරතුර ඔහු හෙට්‌ටිපොල ප්‍රදේශයේදී රුපියල් අසූ දෙදහස්‌ පන්සියයක මුදලකට ස්‌වර්ණාභරණ වෙළෙඳසලකින් රත්රන් දම්වැල් හතරක්‌ද මිලදී ගත්තේය. පසුව බස්‌ රථයකින් ගොස්‌ හසලක නගරයේදී ඉන් බැස්‌සේය. ගතවූයේ මොහොතකි. පංච පුද්ගල ඝාතන සිදු කොට පැය දහයක කාලයක්‌ ගතවීමටත් පෙර ජගත් කුමාර හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පාපෝච්චාරණය

අනතුරුව එදිනම හසලක පොලීසිය විසින් සැකකරු අනුරාධපුර පොලිසිය වෙත භාරදුන්නේය. අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී හේ කතාව කියන්නට වූයේය.

මම මා විසින්ම මරපු ප්‍රියන්ත කුමාරගෙ හොඳම යාළුවා. මං ප්‍රියන්තලත් එක්‌ක මහියංගනේ ඉඳලා බඩු පටවාගෙන ආවා. එතකොට මට ඇහුණා ඒගොල්ලොගාව රුපියල් ලක්‍ෂ ගානක්‌ සල්ලි තියෙන කතාව.

හොඳින් හරි නරකින් හරි මේ සල්ලි ගන්න මං හිතා ගත්තා. පාන්දර 2.00 ට විතර මං ගේ ඇතුළේ ඇවිද්දා. මං සල්ලි හොයද්දි ගෙදර අයිති ගෑනු කෙනාට ඇහැරුණා. කරන්න දෙයක්‌ නෑ මං කුස්‌සියේ තිබ්බ මන්නෙන් ඒ ගෑණිට කෙටුවා.

ඒ ගැනි විලාප නගනකොට ප්‍රියන්තගේ අම්මා නැගිට්‌ටා. මං ඒ ගැනිටත් පිහියෙන් කෙටුවා. ඊට පස්‌සෙ ප්‍රියන්තව කපල දැම්මා. පස්‌සේ අල්ලපු කාමරේ හිටපු ගේ අයිති මිනිහයි එයාගේ පුතාටයි කොටලා මැරුවා. පස්‌සේ සල්ලියි රත්රන් බඩු දෙකකුයි අරන් ගෙදර තිබුණ බයිසිකලෙන් නැගලා ආවා.

ඝාතකයා කීවේය. මේ කතාව කීමට පෙර ඔහු කියා තිබුණේ අමුතු කතාවකි. එනම් මරා දැමු කාන්තාවන් දෙදෙනාගේ බාල සොයුරාත් ඉඩම විකිණීමට සිටි තැනැත්තාත් මේ ඝාතනය කළ බවය. ඒ සඳහා ඔහු ඔත්තු බැලූ බවය. අනතුරුව කොල්ලකන ලද ලක්‍ෂ 6 ක මුදල ලක්‍ෂ 02 බැගින් බෙදාගත් බවය.

මේ තොරතුරු මත ඉඩම විකිණීමට සිටි අයත් කාන්තාවන්ගේ සොයුරනුත් අත්අඩංගුවට ගැනුණි. එහෙත් මේ කතාව අමූලික බොරුවක්‌ බව නොබෝ වේලාවකින්ම හෙළිවූයේය. ඝාතකයා තමා ඝාතනය කළ ආකාරය ගැන පූර්ණ හෙළිදරව්වක්‌ පොලීසියට කළේය.

සැකකරු පැදගෙන ආ පාපැදිය දහයියාගම හන්දියේ කඩයක්‌ අසල තිබී පොලිසියට හමුවිය.

මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ සහ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා නිමවීමෙන් අනතුරුව එදිනම රාත්‍රී ඝාතනයට ලක්‌ වූ සියලු දෙනාගේ සිරුරු පියදාසගේ නිවස ඉදිරිපිට මිදුලේ තාවකාලික ආවරණයක්‌ තුළ එක පෙළට මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට විහාරහල්මිල්ලකුලම ගමේ ජනතාව හා ස්‌වෙච්ඡා සංවිධාන කටයුතු කළහ.

ඔවුන්ගේ නිසල දේහයන් එකිනෙකට යාවන සේ තැන්පත් කර තිබු අයුරු එහි ආ ගිය සැමගේ හදවත් කම්පාවට පත් කළේය.

ඔවුන්ට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි දස දහස්‌ සංඛ්‍යාත ජනතාවගේ දෙනෙත් කෙවෙනි අතරින් රූරා ගලා හැළුණු කඳුළු අතරින් කියා පෑවේ මොවුන් සියලු දෙනාගේ එම සමුගැනීම කොතරම් වේදනාත්මක සමුගැනීමක්‌ද යන්නය.

මිනිසත්කමට වඩා රුපියල් ශතවලට උපන් තෘෂ්ණාවේ තිරිසන් භාවය නිසාම පාපතරයෙකු විසින් වටිනා මිනිස්‌ ජීවිත පහක්‌ බිලිගෙන තිබේ. ජීවිතයෙන් වන්දි ගෙවූ ඔවුහු සිය ඥති මිත්‍රාදීන් ඇතුළුÊසියලු දෙනාගෙන් සමු ගැනීමට මා මේ ලිපිය ලියන මොහොතේ බලා සිටී. මට ඇසෙන්නේ ඔවුන්ගේ නිසල දේහයන් වටා රොක්‌වී විලාප නගන මිනිසුන් නුඹලාට යළි මෙවන් අකල් මරණයකට හෝ විපතකට පත් නොවේවායි නගන වේදනාත්මක ප්‍රාර්ථනයයි.

කෙසේ වුවද ඔවුහු රටක්‌ හඬවා ඉකුත් 07 වෙනිදා සවස හිතවතුන් සහ ඥතීන්ගේ ශෝකාලාප මධ්‍යයේ විහාරහල්මිල්ලකුලම පොදු සුසාන භූමියේ එකම ස්‌ථානයක එකට මහපොළොව මත සැඟවී ගියේය.

අපරාධකරුවන් නිසා අසරණ මිනිසුන් ගේ ආයුෂ කෙටි වේ. එසේ අපරාධ කරන උන්ට වගේම අපරාධවලටත් ආයුෂ නොමැති බව ඉතිහාසය පුරාම ඔබ අප අත්දුටු සත්‍යයකි.

කවුරුන් කෙසේ සූක්‍ෂම ලෙස අපරාධයක්‌ සිදු කොට පලාගොස්‌ බේරීමට උත්සාහ කළද ඔවුන් නීතියට කොටුවන බව නම්බුකාර ගමගේ ජගත් කුමාරලා වැනි පාපතරයින් අනිවාර්යයෙන්ම සිත්හි තබා ගත යුතුය.

අනුරාධපුර - පර්සි කුරුණේරු
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.