දරුවන්ව නොදත් ගුරුවරු

මෙය ගුරුවරුන්ට අසුබ කාලයක්‌ දැයි සිතේ. අප එසේ කීවේ පලාපල කියවා නොවේ. එක්‌තරා ගුරුවරු දෙපළකගේ ක්‍රියා කලාප හේතුවෙන් මුළුÊගුරු පරපුරම ලැඡ්ජාවට පත්ව ඇති නිසාය.

මෙයින් එක්‌ සිදුවීමක්‌ වාර්තා වූයේ උතුරු මැද පළාතේ අරලගංවිලින්ය. අනෙක්‌ සිදුවීම ඇසුණේ දකුණු පළාතේ වැලිගම දෙනිපිටියෙන්ය.

වැලිගම දෙනිපිටිය නම් ඉතිහාසයේ සිටම මේ රටේ ප්‍රසිද්ධව පැවතියේ ගජමන් නෝනා කිවිඳිය නිසාය. දෙනිපිටිය කියූ සැනින් දෙනිපිටියේ වලව්වත් ඒ වලව්වේ හාමුට ගජමන් නෝනා ලියූ කවිත් මතක්‌ වන්නේ ඒ නිසාය.

නමුත් ඉහත කියමනෙ වලංගු භාවය පසුගිය මස අවසන් වන විට නැත්තටම නැතිව ගියේය. දැන් දෙනිපිටිය කිවූ සැනින් මතක්‌ වන්නේ ගජමන් නෝනා නොව කතුරක්‌ අතින් ගෙන සිසුන්ගේ කලිසම් පලන්නට දත කන ගුරුවරියකය.

අප එවැන්නක්‌ කියන්නෙ දෙනිපිටිය මධ්‍ය පාසලෙන් ඇසෙන මේ අශිලාචාර කතාව නිසාය.

වැලිගම දෙනිපිටිය මධ්‍ය පාසලේ පෙර පරිදිම ඒ දිනයේද උදෑසන ශරීර සුවතා වැඩසටහන පැවැත්විණ.

මෙම වැඩසටහනේ "ගුරුහරුකම් කළේ" පෙර කී ගුරුවරිය විසිනි. සිසු සිසුවියෝ එක පෙළට හිඳ ඇගේ විධානය අනුව ශාරීරික ව්‍යායාම්වල නිරත වුණේය. එහෙත් එහි සිටි ඇතැම් සිසුන්ට ඒ ක්‍රියාකාරකම් නිසි පරිදි කළ නොහැකි වූයේ ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් ව්‍යායාම්වලට නොගැලපෙන ඒවා නිසාම නොවේ. ඒ එක්‌ එක්‌ සිසුවාගේ ශරීර ප්‍රමාණය අනුව එම ඇඳුම් ව්‍යායාම සිදු කිරීම සඳහා පහසු වන්නාක්‌ නොවන නිසාය. එහෙත් මේ ගැන තැකීමක්‌ නොකළ ක්‍රීඩා භාර ගුරුවරිය කළේ එවැනි ඇඳුම් ඇඳ සිටි සිසුන් කිහිපදෙනෙක්‌ ඉදිරියට කැඳවා ඔවුන්ගේ කලිසම් වල වාටි කපා දිගු කර දඬුවම් පැමිණ වීමය.

ඒ සිසුන් පිරිස අතර සිටි තවත්a සිසුවකු වූයේ ජනිsත් ඉමල්කය. ජනිත් ඇඳ සිටියේ හිරට හිරේ දිගු කලිසමකි. ගුරුවරිය හනික ජනිතව ඉදිරියට කැඳවා ජනිත්ට ද කතුරු දඬුවම පැමිණ වූයේ පෙර කී සිසුන්ට සිදු කළ පරිදි නොවේ. ඇය මේ දරුවාගේ දිගු කලිසමේ එක්‌ පාදයක්‌ ඉඟටිය ළඟට වන්නට පලා එය සරුවාලයක්‌ බවට පත් කළේය. ඒ දඬුවමෙන් සහෝaදර සිසු සිසුවියන් ඉදිරියෙ ලැඡ්ජාවටත් ආත්ම අනුකම්පාවටත් පත් මේ දරුවා යතුරු කටුවලින් කලිසම එල්ලාගෙන ගෙදර ගියේ පාසල් ගමන ගැන මහා කළකිරීමෙනි. ඇස්‌වල කඳුළු පුරවා ගනිමිනි. සැබෑවටම ජනිත්ට තමන් ගැන ආත්මානුකම්පාවක්‌ ඇතිවන්නෙ සහේතුකවය. ඒ කාරණය මේ දරුවාට මෙවැනි දඬුවමක්‌ දුන් ගුරුවරියවත්, නොදන්නවා වෙන්නට පිළිවන.

දුප්පත්කම යනු කිසි විටකත් ආත්මාභිමානය නැති කර ගැනීමට කාරණයක්‌ නොවේ. නමුත් ජනිත් ඉමල්ක යන මේ දරුවා අන්ත දුප්පත්කමේ පරිභෝග මතින් ජීවිතය ගැට ගසා ගන්නෙකි. ඒ බව සඟවාගෙන සහෝදර සිසු සිසුවියන් සමග සිනාසිසී අනාගතයට මුහුණ දෙන බව දන්නේද ඔහුම පමණි. ජනිත්ගෙ නිවහන ලෑලි ගැසු පියස්‌සට ටකරන් සෙවිලි කළ පැල්පතකි. ඒ පැල්පතේ ලිප ගිණි මෙලවෙන්නේ නම් ඒ ජනිත්ගේ පියා මුට්‌ටා කරගසා උපයා ගන්නා සොච්චමනි. එහෙව් ආර්ථික පසුබිමක හිඳ පාසලට යන ජනිත්ගේ ඇස්‌වල කඳුළු පිරෙන්නෙ පාසලේ එකම වයසේ ගැහැණු ළමෝ ඉදිරියේ ලැඡ්ජාවට පත්වීම නිසාද නොවේ. ඒ ගුරුවරිය කතුරෙන් කපා දෙපළු කළේ විලි වසාගෙන පාසලට යැමට තමන්ට පැවැති එකම සුදු කලිසම එය වූ බැවිනි. ජනිත්ගෙ මුවින් මේ වේදනා බර වචන පිටවූයේ ගුරුවරිය කෙරෙහි උපන් වෛරයකින්වත් වෙනත් හේතුවක්‌ නිසාවත් නොවේ.

"ඒ මට තිබුණ එකම සුදු කලිසම හැමදාම ගෙදර ඇවිත් ඒක මම හෝදනවා. පහුවදා ආයෙත් ඒක ඇඳගෙන යනවා. මම ඉස්‌කෝලෙ ගියේ එහෙම. මගේ අම්මා අපි ළඟ නැහැ. තාත්තා අපිව ජීවත් කරවන්නෙ මුට්‌ට කරගහල කියල මම දන්නවා. අපි ජීවත් වෙන විදියට අලුත් ඇඳුමක්‌ කියන්නෙ මහ බරක්‌ කියලත් මම දන්නවා. එදා උදේ ව්‍යායාම් කර කර ඉඳිද්දී ක්‍රීඩා බාර මිස්‌ මාව ඉස්‌සරහට ගෙන්නුවා. මම ඇඳන් හිටිය කලිසම හිරයි කීවා. ඊට පස්‌සෙ කතුර අරන් පල්ලෙහා ඉඳන් දනිහෙන් උඩට එනකන් කලිසමේ කකුල කැපුවා. ළමයි ඉස්‌සරහ එහෙම කරනකොට මට එතැන හිටගෙන ඉන්න බැරි ලැඡ්ජාවක්‌ ඇති වුණා.

පස්‌සෙ මම එහෙම්ම විදුහල්තිතුමා ළඟට ගියා. සර් කිව්වා මට ගෙදර යන්න කියල. සායක්‌ වගේ පලල තිබ්බ කලිසම ඇඳගෙන පාරේ යන්න බැරි නිසා යතුරු කටුවලින් කලිසම අමුණාගෙන ගෙදර ගිහින් වෙච්ච හැමදේම අක්‌කට කිව්වා. අක්‌කා කිව්වා පොලිසියට ගිහින් මේ ගැන පැමිණිලි කරමු කියලා. පොලිසියට යන අතරතුරෙයි ආයෙත් අක්‌කත් එක්‌ක ප්‍රින්සිපල් සර් හම්බවෙන්න ඉස්‌කෝලෙට ආවේ. ඒ වෙලාවෙ සර් ගුරුතුමිය කපපු කලිසම ඉල්ලා ගත්තා. අක්‌කා නැවත ඒක ඉල්ලුවත් දුන්නෙ නෑ.

ඒ ජනිත්ගෙ එකම සුදු කලිසම නැතිව ගිය අයුරුය. පසුව මේ අවනඩුව ජනිත්ගෙ සහෝදරිය මැදිහත්ව පොලිස්‌ පොතේ ලියෑවුණේය. ඒ වනවිට ගම්මුන් අතර ද මේ දරුවාට සිදුවූ අසාධාරණය ගැන කතාවක්‌ පැතිර ගියේය. ඔවුන් මේ ක්‍රියාවට විරෝධය දැක්‌වීම නිසා සිද්ධිය ජාතික ළමාරක්‍ෂක අධිකාරිය හා පොලිසිය මැදිහත් වන තරමට දුර දිග ගියේය.

ඒ උණුසුම එසේ තිබියදීම අරලගංවිල විලයාය විදුහලේ බුද්ධාගම විෂයභාර ගුරුවරයා සිසුවකුගේ කනට ගැසුවේ පොලිතින් කොළයේa ඔතා කෑම ගෙන ඒමේ වරදටය. ඒ දඬුවමින් ඒ දරුවාගේ කන පැලී ගියේය. එය ජනිත්ගේ සිද්ධියට වඩා ප්‍රසිද්ධියක්‌ ලැබ පුවත්පත්වල පළ වූයේ සිසුවා ආහාර ගනිමින් සිටින විට අමානුෂික ලෙස ඔහුගේ කනට ගැසුවා යනුවෙන්ය. සුනඛයකුට හෝ එවැනි මොහොතක ගහන එකා ඌටත් වඩා තිරිසනෙක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා සමහරු කීවේ බුද්ධාගම ගුරා දඬුකඳේ ගැසුවාත් මදිය කියාය. නමුත් එය සිදුව ඇත්තේ එසේ නොවේ.

විලයාය විදුහලට පොලිතින්වල ඔතා කෑම ගෙන ඒම තහනම් ය. මේ සිසුවා පොලිතින්වල ඔතා කෑම ගෙනැවිත් ඇති බව දුටු බුද්ධාගම ගුරුවරයා ඔහුට තමන් හමුවන ලෙස දන්වා ඇත.

එහෙත් සිසුවා කළේ වැරැද්ද කර කට්‌ටි පැනීමය. මේ ගුරුවරයාට ද ඔහු පසුපස පන්නා දඬුවම් කළ නොහැකිය. හේතුව ඔහු ඇවිදින්නේ කිහිළිකරුවක ආධාරයෙනි. ඒ මීට පෙර ඔහුට සිදුවූ අනතුරක්‌ නිසාය. ඊට වඩා මානුෂික කාරණය නම් මේ ගුරුවරයාගේ බාල දියණිය පිළිකාවක්‌ හේතුවෙන් මේ වනවිට හිඳින්නේ මහරගම පිළිකා රෝහලේය. එවැනි පසුබිමක හිඳින බුද්ධාගම ගුරුවරයාට පෙරකී වරද කළ සිසුවා හමුව ඇත්තේ ඔහු ගුරුවරයාව මග හරිමින් සිටිදීය. ඒ අවස්‌ථාවේ ගුරුවරයා සිසුවාට තරවටු කරන විට ඔහු ගුරුවරයා සමග එකට එක කියා ඇත. බුද්ධාගම ගුරුවරයා සිසුවාගේ කනට ගසා ඇත්තේ ඒ මොහොතේය. දැන් ඒ පහරින් සිසුවාගේ කනට හානි සිදුවී ඇති බව වෛද්‍යවරු සනාථ කර ඇත.

දැන් අප මේ සිදුවීම් දෙක තේරුම් ගත යුත්තේ ඉතා පරිස්‌සමිනි. සිසු දරුවකුගේ වරදකට ගුරුවරයකුගෙ දඬුවමින් තොරව යහපත් සමාජයක්‌ ගොඩනැගිය නොහැකි බව අප මේ පසු කරන යුගය දෙස බලන විට ඔබට වැටහෙනවා ඇත. නමුත් ගුරුවරුන්ගෙ දඬුවම්වල අරමුණ විය යුත්තේ දරුවා යහපත් මගට ගැනීම විනා ඔවුන්ගේ කේන්තිය පිට කිරීම සඳහා නොවේ. අතීතයේ ද ගුරුවරුන් දරුවන්ට වේවැල් කෝටු කහඹිලියා අතුවලින් දඬුවම් කළත් අද ටද නොකැඩෙන ඒ ගුරුගෝල සබඳතාවේ රහස එයයි.

තිස්‌ස ගුණතිලක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.