ඇටන්වල ගම්මානය
දුම්බර වනපෙතට ආශිර්වාදයකි


මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් ලග්ගල උඩසියපත්තුවේ පිහිටි ඇටන්වල ගම්මානය මෙන්ම පිටවල, රත්නින්ද, මහලකොටුව, මැද ඇළ වැනි ගම්මාන පහසුකම් ඉතා අඩු දුෂ්කර ගම්මාන ලෙස සැලකීම වැරදි නොවේ. මාර්ග දුෂ්කරතාව මෙන්ම ප්‍රවාහන දුෂ්කරතාව මොවුන්ට තදින් බලපා ඇත. මෙම ප්‍රධාන අවශ්‍යතා දෙක මීට වසර 5-6 කට පෙර තිබූ තත්ත්වයටත් වඩා අද පහළට වැටී තිබේ. එකල මාතලේ නගරයේ සිට පෙරවරු හතහමාරට දොළහ මාරට සහ හවස තුනහමාරට ලෙස තනි දොරේ ලංගම බස්‌ තුනක්‌ මෙම ගම්මාන හරහා ගොස්‌ ලග්ගල පල්ලේගම මැදින් රණමුරේ දක්‌වා හෝ පුවක්‌පිටිය දක්‌වා ගමන් අවසන් කළේය. එහෙත්, පසුගිය කාලයේදී මෙම බස්‌ රථ සේවාව මුළුමනින්ම පාහේ කඩා වැටිණි. කලක්‌ උදේ හා හවස බස්‌ රථ දෙක පිළිබඳව ස්‌ථීර බලාපොරොත්තු තබාගෙන සිටි ලග්ගල උඩසිය පත්තුවේ ජනතාවට අවසානයේ ඉතිරි වූයේ හවස බස්‌ රථය පමණකි. උදේ හා දහවල් බස්‌රථ අහෝසිවී ගියේය. ඊට මාතලේ ඩිපෝ බලධාරීන් කීවේ බස්‌රථ දුවන්නට තරම් පිටවල හරහා මාර්ගය හොඳ නැති බවකි.

සැබෑය. අවුරුදු දෙකහමාරක්‌ තිස්‌සේ පිටවල හා රත්නින්ද අතර කිලෝමීටරයක දෙකක බෑවුම් සහිත මාර්ගය සම්පූර්ණයෙන්ම සෝදාපාලුවට ලක්‌විය. මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් සභාව හෝ ලග්ගල ප්‍රාදේශීය සභාව මෙම මාර්ගය නොසලකා හැරියාහ. අවසානයේදී උඩසියපත්තුවේ බොහෝ ගම්මානවලට බස්‌රථය නැතිව ගියේය. වසර දෙකකින්වත් තමන්ගේ ගමට බස්‌රථයක්‌ නොආ නිසා බොහෝ ගම්මු ගම අතහැර ගියහ. ළමා ළපටින් රත්තොට, මාතලේ, කළුගඟ ඇතුළු පාසල්වලට මාරුකර ගත්හ. ඇතැමුන් නගරයේ අයට ඉඩම කඩම තුට්‌ටුවට විකුණා වෙනතක්‌ බලා ගත්හ. මෙවන් දුෂ්කරතා මැදින් කරවටක්‌ ගිලී ගිය ගම්මානයක්‌ වේ නම් ඒ ඇටන්වලය. මධ්‍යම පළාත් මැතිවරණයට පින්සිදු වන්නට පිටවල රත්නින්ද මාර්ගය මැටල් මිශ්‍රණයක්‌ දමා තාවකාලිකව පිළිසකර කරන ලද අතර උදැසන දඹුල්ල දක්‌වා බස්‌රථයක්‌ද නැවත ධාවනයට එක්‌වී ඇත. පිටවල ගමමැද පාර මධ්‍යම රජයේ ප්‍රතිපාදන ඇතිව කැට අල්ලා පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක්‌ද වේ. එනිසා යළිත් උඩසිය පත්තුවට ජීවත්වීමේ බලාපොරොත්තුව එබී බලනු පෙනේ.

දැන් මහකන්නයේ මෝසම් වැස්‌ස උඩසියපත්තුවට අල්ලා ඇත. මේ නිසාම නාය යාමේ අවදානමද ඇටන්වලට නැතිවා නොවේ. කෙසේ හෝ පසුගිය කාලයේ ඇටන්වලින් පවුල් සියල්ලම ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කිරීම පසුපස සංචාරක කටයුතු සඳහා මේ අලංකාර ගම්මානය නතුකර ගැනීමේ අවශ්‍යතාවක්‌ පැවැති බවටද රාවයක්‌ ඇත. එය එසේ වුවත් ගමේ නිවාස කිහිපයක්‌ නාය යාමේ අනතුරක ඇති බවද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය තහවුරු කර තිබේ. එනමුත් මේ අසරණ ගැමියන්ට කාගෙන් හෝ පිළිසරණක්‌ ලැබෙන බවක්‌ පෙනෙන්නට නැත. ඇටන්වල විහාරාධිපති පූජ්‍ය කඹරව සමිත හිමි පවසන ආකාරයට ගමේ දුෂ්කරතාවට පිළියම් යෙදීම රජයේ බලධාරීන්ගේ යුතුකමකි. එහෙත් එය ඉටුවන බවක්‌ පෙනෙන්නට නැත. මාර්ගය ස්‌ථීරව පිළිසකර කර බස්‌ රථ සේවාව අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීම මගින් ගම්මුන්ට සෙත සැලසෙන බවද ගම්මුන් ගම අතහැර නොයැමට හේතුවක්‌ වන බවද උන්වහන්සේ පවසති. එසේම, නායයාමේ තර්ජනයක්‌ ඇති පවුල් නැවත සුදුසු ස්‌ථානයක පදිංචි කරවීම වහා ඉටුකළ යුතු බවද පාසල, පන්සල සඳහා රාජ්‍ය අනුග්‍රහය මීට වඩා ලබාදී ගම්මුන්ගේ යටිතල පහසුකම් දියුණු කළ යුතු බවද උන්වහන්සේගේ ඉල්ලීමකි. විශේෂයෙන්ම ගමට පැමිණෙන මාර්ගයේ ඉතිරි වැඩ කොටස නිමාකර තෙල්ගමුඔයට ඉහළින් පාලමක්‌ ඉදිකර ගමට ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු බවද උන්වහන්සේ පවසති.

පාරම්පරික කෘෂි ගම්මානයක්‌ සේ ප්‍රකට ඇටන්වල ගම්මානය හෙල්මලු කුඹුරුවලින් පෝෂිත, තෙල්ගමුඔය ඉහත්තාවේ පිහිටි අති සුන්දර ගම්මානයකි. දුම්බර කඳුවළල්ල තුළ පිහිටි මෙගම දුම්බර වනපෙතේ උතුරු කෙළවරේ නැගෙනහිරට වන්නට පිහිටා ඇත.

ඇටන්වලට හිරු උදාවන්නේ මානිගලට ඉහළිනි. මඳක්‌ පමාවී හිරු උදාවුවද, මේ ගමේ තරුණන් මෙන්ම සියලු වැඩිහිටි පිරිම ගොවිතැනට දක්‍ෂයෝය. උදැහැනැක්‌කේම කෙතේ කමතේ වැඩට බසින ඔවුහු හිරුබැස යන්නට මත්තෙන් තම දෛනික ඉලක්‌ක සපුරා ගනිති. හිරු උදාව මෙන්ම හිරු බැසයාමද ඇටන්වලට වෙනස්‌ය. අහස සිපගත් බටහිර කඳුවළල්ල තුළ හිරු සැඟව යන අතරම ඇටන්වලට අඳුර ගලාගෙන එයි. එහෙයින් ඇටන්වල ඇතුළු උඩසියපත්තුවේ ගැමියෝ වේලාසන නින්දට යති. තම දැතේ ශක්‌තියෙන් ජීවිකාව කරගෙන යන ඔවුන්ට පිහිටට ඉන්නේ දුම්බර වනපෙතත්, ගඟේ බණ්‌ඩාර දෙයියනුත් පමණකි. තම ගොවිතැන බත, වෙදහෙදකම, ආවාහ විවාහ සියල්ලක්‌ම සිදුවන්නේ තමන්ට ආවේණික එහෙත් ගඟේ බණ්‌ඩාර, කන්දේ දෙවියන් ඇතුළු බලවේගයන්ට මුල්තැන දීමෙනි. විශේෂයෙන්ම කුඹුරු වැපිරීම මෙන්ම අස්‌වනු කපා ලබන පළමු අස්‌වනු පුද දෙන්නේද ගඟේ බණ්‌ඩාර දෙවියන්ගේ නාමයටය. තෙල්ගමුඔයේ සිදුකෙරෙන අඩුක්‌කු පිදීමේ පූජාව ගම්වල පිරිමින්ගේ පමණක්‌ සහභාගිත්වයෙන් සිදුකරන්නකි. සෑම අස්‌වනු කැපීමේ වාරයකදීම මෙම යාතුකර්මය සිදු කෙරේ. ඇටන්වල ගම්මාන වැසියන්ද ඊට කැපවූ පිරිසකි.

කෙසේ හෝ දුම්බර කඳුපාමුල තෙල්ගමු ඔය නිම්නයේ පිහිටි මෙම සුන්දර ගම්මානය දුම්බරටම ආඩම්බරයකි. එවන් ගම්මාන සුරක්‍ෂිතවනු දැක්‌ම අපේ බලාපොරාත්තුවයි. වසර සිය දහස්‌ ගණනක්‌ පැරැණි මෙම ගම්මාන දැන් දැන් ස්‌වාභාවික විපත් වෙනත් වෙනත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට යටවී දුම්බර අඩවියෙන් මැකී යයි නම් එය අපට වාවාගත නොහැකි දුකකි. අද වල්පොලමුල්ල ලෝක සිතියමෙන් මැකී යමින් පවතී. දන්දෙණිකුඹුර වැනි දුම්බර වනගත ගම්මානද සිතියමෙන් දැනටමත් මැකී ගොස්‌ අවසන්ය. එහෙත් එම ෙ€දවාචකය ඇටන්වලට උදාවිය යුතු නැත.

(ලබන සතියේ ඇටන්වල ඇත්තන්ගේ කතා තවදුරටත්)

ජගත් කණහැරආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.