චොගම් වෙනුවෙන් පැවැත්වෙන
ඉතිහාසයේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය


පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව 'Reflection of Sri Lanka' මැයෙන් දැවැන්ත ප්‍රදර්ශනයක්‌ ද රජය විසින් සංවිධානය කර ඇත. නොවැම්බර් 13 වැනිදා සිට 17 වැනිදා දක්‌වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්‌ඩලය, ශ්‍රී ලංකා සංචරණය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ද සමග එක්‌ව සංවිධානය කරයි. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර වෙළෙඳ, සංචාරක හා ආයෝජන ප්‍රදර්ශනයකි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ප්‍රදර්ශන කුටි 800 කින් පමණ සමන්විත වන මෙය ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ පැවැති දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වනු ඇති බවයි. මෙය බැලීමට මහජනතාවට ද අවස්‌ථාව උදා වන නිසා මේ ප්‍රදර්ශනය සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට එන රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරුන් සහ වෙනත් රාජ්‍ය දූත පිරිස්‌වලට අමතරව පොදු රාජ්‍ය මණ්‌ඩල ව්‍යාපාරික සමුළුවට විදෙස්‌ රටවල ව්‍යාපාරික නායකයන්, විදෙස්‌ ආයෝජකයන් සහ ආර්ථික, වෙළෙඳ හා සංචාරක යන ක්‍ෂේත්‍රවල විශාල පිරිසක්‌ ද පැමිණෙන බව අපි දනිමු. මේ දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ එම විදෙස්‌ ගැනුම්කරුවන් සහ වෙළෙඳ දූත පිරිස්‌ ඉලක්‌ක කරගෙනය. ඒ අතරම මේ ප්‍රදර්ශනය නැරමීමට මහජනතාවට ද විවෘත වන නිසා අපේ දේශීය ව්‍යාපාරිකයන්ට මීට සහභාගි වී නව ව්‍යාපාරික අවස්‌ථා උදාකර ගැනීමට හැකියාව ඇත. එසේම අපේ පාසල් සිසුන්ට ද මේ ප්‍රදර්ශනය නරඹා විශාල දැනුම් සම්භාරයක්‌ ලබාගැනීමට ද අවස්‌ථාව උදාවෙයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදර්ශනයට ඉන්දියාව, චීනය, කැනඩාව, එක්‌සත් රාජධානිය, ඉරානය, පිලිපීනය, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, පකිස්‌තානය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, සී ෂෙල්ස්‌ රාජ්‍යය ඇතුළු රටවල් රැසක්‌ නියෝජනය කරමින් දහසකට අධික විදෙස්‌ ගැනුම්කරුවන් පිරිසක්‌ සහභාගි වීමට නියමිත බවයි. මේ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි සඳහා ශ්‍රී ලාංකීය සෘජු අපනයනකරුවන් 300 දෙනෙක්‌ ද සමග සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්, විදේශ තාක්‍ෂණ සැපයුම්කරුවන්, දේශීය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදකයින් සහ සංචාරක ක්‍ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් දායක වී සිටිති. ඒ නිසා මෙය ශ්‍රී ලාංකික අපට දැවැන්ත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයක්‌ දැක ගැනීමට ලැබෙන මහඟු අවස්‌ථාවක්‌ ලෙස ද හඳුන්වා දිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.