තූත්තුකුඩි හිරගෙවල්වලින් ගලන
මීගමුවේ ධීවර කඳුළු ගඟ


කාලාන්තරයක සිට මසුන් මැරීම සඳහා ජාත්‍යන්තර මුහුදට යැමට ලාංකීය ධීවරයන් භාවිත කළ කෙටිම මාර්ගය මාලදිවයින හා ඉන්දීයාව අතර ඇති 'දූපත් දියඹ' ප්‍රදේශයයි. කිසිදු බාධාවකින් තොරව මෙම මුහුදු මාර්ගයේ ගමන් ගත් අපේ ධීවරයන්ට දැන් ඉන්දීය නාවික හමුදාව කුණාටුවක්‌ වී ඇත. එනම් අපේ ධීවර යාත්‍රා වැඩියෙන්ම ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගන්නේ මේ දූපත් දියඹ ප්‍රදේශයේදීය.

මේ වන විට මෙරට ධීවර යාත්‍රා 19 සහ ධීවරයන් 103 දෙනකු ඉන්දීය අත්අඩංගුවේ සිටිති. එයින් යාත්‍රා 8 සහ ධීවරයන් පනස්‌ දෙනකු මීගමු වෙරළින් මුහුදු ගිය ධීවරයෝය. ඔවුන් අදටත් චෙන්නායි තූත්තුකුඩි සිරගෙදර අපා දුක්‌ විඳින්නාහ.

දිගින් දිගටම ඉන්දීය නාවින හමුදාව අපේ ධීවරයන් අත්අඩංගුවට ගන්නේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ව අත්අඩංගුවට ගන්නා නිසාය. කතාව එසේ නම් මේ කරන්නේ පළිගැනීමකි. දකුණු ඉන්දියාවේ අමානුෂික ධීවර දඩයම නිසා මීගමු ධීවරයෝ දැන් මුහුදු යැමට ද බියෙන් කල් මරති.

"ධීවර යාත්‍රා අත්අඩංගුවට අරගෙන දැන් මාසයකටත් වැඩියි. අපි මේවා අරගෙන තියෙන්නේ විශාල මුදලක්‌ ගෙවලා. ඒ වගේම බැංකු ණය අරගෙන. ඒ බැංකු ණය ගෙවන්න නම් අපි මුහුදු යන්න ඕනා. ඒත් දැන් අපේ යාත්‍රා ඉන්දීයාව හිර කරගෙන. අපිට කරන්න කිසිම දෙයක්‌ නැහැ. රජය සොයා බලන්නෙත් නැහැ. අපිට තියෙන වේදනාව කැක්‌කුම නිලධාරීන්ට නෑ. අපේ වේදනාව නිලධාරීන්ට දැනුණා නම් අද මේ ධීවරයන් නිදහස්‌ වෙලා.

ඉන්දියාවේ හිරබත් කන උන්ගේ ගෙවල්වල දරුමල්ලෝ මෙහෙ කඳුළු බොනවා. ඉන්දියන්කාරයෝ කියන්නේ හිතක්‌ පපුවක්‌ නැති නරුමයෝ කොටසක්‌. උන්ට මිනිස්‌සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. අද නිදහස්‌ කරයි... හෙට නිදහස්‌ කරයි කියලා අපිත් බලාගෙන ඉන්නවා. ඒත් නිදහස්‌ කරන බවක්‌ නම් පේන්නේ නැහැ. ඒ පවුල්වල උන්ට කන්න බොන්න නැතිව නොවිඳිනා දුක්‌ විඳිනවා. තවත් මේක බලාගෙන ඉන්න බැහැ. අපිට වෙන්නේ මහ පාරට බහින්න. අපේ උන්ව ගෙනත් දෙනකම් ධීවර අමාත්‍යාංශය ළඟට ඇවිත් ඉන්නවා. පාරේ කෑගහනකොට සමහර විට හමුදාව අපිට වෙඩි තියලා මරා දායි. ඒත් කරන්න දෙයක්‌ නැහැ. අපි පාරට බහිනවා" ඒ මීගමු ධීවරයන්ගේ සමූහ හඬය.

සොබාදහම වියරු වැටුණු විට බැට කන්නේ ද ධීවරයෝය. උතුරු නැගෙනහිර ධීවරයෝ වසර ගණනාවක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහණයේ සිට පීඩා වින්ඳහ. ධීවර යාත්‍රා දෙනවාá ශීතාගාර ඉදිකර දෙනවá ධීවර ආම්පන්න ගන්න ණය පහසුකම් දෙනවාá නිවාස ඉදිකර දෙනවාá රජය මහමෙරකට පොරොන්දු දී මුළා කරන්නේ ද ධීවර ප්‍රජාවමය. දැන් දකුණු ඉන්දියාව මෙරට රජයෙන් පළිගන්න මිනිස්‌ ඇමක්‌ ලෙස පාවිච්චි කරන්නේ ද ධීවරයන්වමය. මේ කරුණු කාරණාවලින් පසක්‌ වන්නේ ලෝකයේ අසරණම ධීවර ප්‍රජාව සිටින්නේ අපේ රටේ බවය. එහෙත් මෙරට වගකිවයුත්තන් අපේ ධීවරයන්ව ඉන්දීය නාවික හමුදාවට කුදලාගෙන යැමට ඉඩ හැර බලා හිඳින්නේය. ඒ වෙන එකක්‌ නිසා නොව අපේ බලධාරීන්ගේ නිවට නියාලුකම නිසාය.

ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයෝ බහුලව මසුන් ගැවසෙන ඉන්දීය මුහුදු සීමාවට නොයති. ඒ නිසා ඉන්දීය නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදු මාර්ගයේදී අපේ ධීවරයන් දඩයම් කරන්නේය. එහෙත් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවරයන්ගේ කුස්‌සියට පැන මාළු ඇතිළිය බලහත්කාරයෙන් ගෙන යන්නා සේ මෙරට මුහුදේ කූනිස්‌සාගේ සිට තෝරු මෝරූ මාළු මරාගෙන යන්නාහ.

වෙරළේ සිට කිලෝ මීටර් දොළහක්‌ දියඹට යන තුරු මුහුදු සීමාව අයිති වන්නේ ආදාළ රටටය. එහෙත් උතුරු නැගෙනහිර මුහුදට දිනකට ඉන්දීය ට්‍රොaලර් යාත්‍රා තිස්‌ හතළිස්‌ දහසක්‌ ඇතුළු වී නීති විරෝධී උපකරණ භාවිත කරමින් මුහුදු පරිසරයත් විනාශ කර මාළු මරාගෙන යන්නාහ. එමෙන්ම මුලතිව් මුහුදේ කිලෝ මීටර් හතරක්‌ පමණ දුරින් එළා ඇති අපේ ධීවරයන්ගේ දැල් ආම්පන්න ද කපාගෙන යන්නාහ. ඉන්දීය ධීවරයන් කරගෙන යන මේ මාළු මංකොල්ලය නිසා උතුරු නැගෙනහිර ධීවර ප්‍රජාවට වසරකට රුපියල් මිලියන 97,500 ක පමණ පාඩුවක්‌ සිදුවන්නේය. කොටි ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ධීවර ජනතාව දැන් ඉන්දීය ධීවරයන් නිසා කබලෙන් ළිපටම වැටී සිටිති.

මේ මාළු මංකොල්ලය දෙස බලාගෙන සිටීමට නොහැකි තැන අපේ නාවික හමුදාව ඉන්දීය ධීවර බෝට්‌ටු එක දෙක අත්අඩංගුවට ගත්තේය. එසේ 2013 වසරේදී පමණක්‌ මේ වන විට ඉන්දීය බෝට්‌ටු අසූ තුනක්‌ සහ ධීවරයන් දෙසීය තිස්‌පස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන අදාළ පොලිස්‌ ස්‌ථානවලට භාරදී ඇත. එසේ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගත් ඇතැම් අවස්‌ථාවල ඉන්දීය තානපති කාර්යාලයෙන් එන එක දුරකථන ඇමතුමට අපේ රජය ඒ ධීවරයන්ව නිදහස්‌ කර යවා ඇත. එමෙන්ම මෙරට අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් නිදහස්‌ කරගැනීමට එරට රාජ්‍ය ලේකම්වරිය පවා මැදිහත් වූ අවස්‌ථා තිබේ. එහෙත් අපේ දේශපාලනඥයන්ට වාචාල කටවල් තිබුණාට කශේරුවක්‌ නැත. ඉන්දීය නාවික මුදාව අපේ ධීවරයන්ව ලංකාවේ හමුහුදු සීමාවට ඇවිත් කුදලාගෙන ගියද අපේ නායකයන් කතා නොකරති. ඒ ධීවර පවුල්වල දරුවෝ කන්න නැතිව මන්දපෝෂණයෙන් මැරුණත් මෙරට බලධාරීන් ඉන්දීය රජයට එරෙහිව කටවල් අරින්නේ නැත.

උතුරු නැගෙනහිර ජීවත් වන ජනතාවගෙන් සියයට අසූවක්‌ දෙමළ ජනතාවය. ඔවුන්ගේ බහුතරය ධීවර ජනතාවය. එසේ නම් ඔවුන්ගේ බඩට පහර දෙන්නේ ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ලේ රත් වෙන තුරු කෑගහන තමිල්නාඩුවමය. දැන් අප තේරුම් ගත යුත්තේ තමිල්නාඩු දේශපාලනඥයන්ට ලංකාවේ දෙමළ ජනතාව ගැන ඇති කැක්‌කුමක්‌ නැති බවය. ඔවුන්ගේ දේශපාලන බලය රඳාපවතින්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සහ මෙරට අතර ඇති වන ගැටලු මත සහ තමිල්නාඩු ධීවරයන්ට ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මැරීම සඳහා වන අයිතිය තහවුරු කිරීමට කරනා ඉල්ලීම මතය. මෙරට දෙමළ ජනතාව තේරුම් නොගන්නා යථාර්ථය එයයි.

තමිල්නාඩුවේ ආධාර නොමැතිව ඉන්දීය මධ්‍යම රජයට බලයේ රැඳීමට ද නොහැකිය. එහෙයින් තමිල්නාඩුවේ ඊනියා කොටි අපේ ධීවරයන්ව මරාගෙන කෑවත් ඉන්දීය රජය ඇහැක්‌ ඇර බලන්නේ ද නැත.

'කාගෙන් කාලා හරි කමක්‌ නැහැ පුතේ මට තාත්තා කියාපන්' යන නෝංජල් න්‍යායේ ඉන්දීය මධ්‍යම රජයත් තමිල්නාඩුවත් සිටිද්දී අපේ ධීවරයෝ 'මන්දපෝෂණයෙන්' මැරෙනා තුරු මෙරට බලධාරීන් දත් පූට්‌ටු කරගෙන බලා සිටින්නාහ.

තරංග රත්නවීර
මහවැව අමරනන්ද ජයසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.