මේ සුන්දර දුම්බර ගැන නොහොත් මීමුරේ ගැන අසුන්දර කතාවකි. මනස්‌කාන්ත කඳු යායකින් සමන්විත දුම්බර කඳුවැටිය සහිත වනාන්තරය මෙරට ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරයයි. 2000 වසරේදී එසේ ප්‍රකාශයට පත්කරන ලද මෙම වනාන්තරය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන අතර, මාතලේ සහ මහනුවර පරිපාලන දිස්‌ත්‍රික්‌ක දෙකේ හෙක්‌ටයාර් 21000 ක්‌ පුරා පැතිර පවතී. අතිශය කඳු බෑවුම්වලින් හා ගිsරිදුර්ග, ජලදුර්ගවලින් සමන්විත මෙම වනපෙත දිවයිනේ සංවේදීම පරිසර පද්ධති කලාපයක්‌ (නිකේතනයක්‌) ලෙස හැඳින්වීම වඩාත් නිවැරැදිය.

ආරම්භයේදී දේශගුණික රක්‍ෂිතයක්‌ ලෙසත්, පසුව මිනිසා සහ ජෛවගෝල රක්‍ෂිතයක්‌ ලෙසත් ප්‍රකාශයට පත්කෙරුණු දුම්බර කඳුකරය ලෝක සංරක්‍ෂණ සංගමය ඇතුළු පාරිසරික විද්‍යාඥයන්ගේ පර්යේෂණ නිර්දේශ මත සංරක්‍ෂිත වනාන්තරයක්‌ කිරීමෙන් පසු මෙම වනාන්තරයට යාබද අතිශය සංවේදී පෞද්ගලික හා රජයේ ඉඩම් වනාන්තරයේ ස්‌වාරක්‍ෂක කලාපය ලෙස නම්කර නැවත වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට සංරක්‍ෂණවේදීන් නිර්ණායක ඉදිරිපත් කළේය.

ඒ අනුව පසුව ලෝක උරුම වනාන්තරයක්‌ බවටද පත් කෙරුණු දුම්බර වනාන්තරයේ සංවේදී වන ඉඩම් දුම්බර වනපෙතට පවරා ගැනීම ඇරඹිණ. මෙහි බොහොමයක්‌ම ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම සතු ඉඩම්ය. කෙසේ හෝ දුම්බර වනාන්තරයේ ජෛව විද්‍යාත්මක වටිනාකම, ජල පෝෂක වැදගත්කම හා කඳු බෑවුම් ලෙස පවතින සංවේදීතාව සැලකිල්ලට ගෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රථම වතාවට වනාන්තරය වටා කිලෝ මීටරයක පරිසර සංවේදී කලාපයක්‌ ප්‍රකාශයට පත්කරන්නට යෙදිණි. මේ සියල්ලක්‌ම සිදුකරන ලද්දේ මේ වනාන්තරයේ අද්විතීයත්වය සලකා අනාගතය වෙනුවෙන් සුරක්‍ෂිත කිරීම සඳහාය.

කෙසේ හෝ මාතලේ සහ මහනුවර වශයෙන් පරිපාලන දිස්‌ත්‍රික්‌ක දෙකකට බෙදී පවතින මෙම වනාන්තරය ආශ්‍රිත පරිසර සංවේදී කලාපයේ පෞද්ගලික ඉඩම්ද පිsහිටා ඇති අතර, හඳුනාගත් ඉඩම් සියල්ලම වන්දි ගෙවා පවරා ගැනීම රජය මගින් ගත් ක්‍රියාමාර්ගයයි. මේ අනුව ඉඩම් නැවත අත්පත් කරගැනීමේ පනත ප්‍රකාරව අදාළ ඉඩම් හිමියන් දැනුවත් කර ඉඩම් පවරා ගැනීමේ කටයුතු වසර ගණනාවක සිට, එහෙත් ඉබි ගමනෙන් සිදුවෙමින් පවතී. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉළුක්‌කුඹුර හා ඩීන්ස්‌ටන් නක්‌ල්ස්‌ සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන සහ එම දිස්‌ත්‍රික්‌ වන කාර්යාලවලින් සකස්‌ කරන ලද ඉඩම් නැවත අත්පත් කර ගැනීමේ ලේඛන පරිදි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම අත්පත් කිරීමේ කටයුතු සිදුකර නැවත එම ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියයි.

එහෙත් අදාළ ඉඩම් හිමියන් තම ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට ඉදිරිපත් නොවීම, මායිම් නොපෙන්වීම, අයිතිය තහවුරු ඉඩම් මිනින්දොaරු දෙපාර්තමේන්තුවෙන් මැන අවසන් නොකිරීමේ ඉබි ගමනේ ප්‍රතිපත්තීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රමාදයන් දැනටමත් වසර ගණනාවක්‌ මෙම ඉඩම් අත්පත් කරගෙන අදාළ ඉඩම් හිමියන්ට වන්දි ගෙවීම් ප්‍රමාද කර ඇත. මෙනිසාම දුම්බර කඳුකරයේ ඉඩම් අයිතිය ප්‍රශ්නයකට බඳුන්වී තිබෙන අතර, වනාන්තරයේ වන සංරක්‍ෂණයට දැඩි බාධා එල්ල වී ඇත. එනම් වන සංරක්‍ෂණය අතරත්, පෞද්ගලික හිමිකරුවනුත් අතර දොaළනය වෙමින් පවතින ඉඩම් අයිතිය හේතුවෙන් නොයෙකුත් අක්‍රමිකතා නිසා මහ විනාශයන් සිදුවේ.

නිදසුනක්‌ සේ ගතහොත් මාතලේ සහ මහනුවර දිස්‌ත්‍රික්‌ දෙකේම පසුගිය කාලයේදී හෝටල්, අවන්හල්, නිවාඩු නිකේතන හැදෙන්නට පටන් ගත්තේ මෙම පවරා ගැනීමට නියමිත ඉඩම් තුළය. දේශපාලන අධිකාරිය සමග සමීප සබඳතා ඇතිකරගනු ලබන බොහෝ ඉඩම් හිමියෝ වන සංරක්‍ෂණ ජාතික කර්තව්‍යය පසෙකලා මෙම ඉඩම්වල ගොඩනැඟිලි ඉදිකළ අවස්‌ථා බොහොමයක්‌ ඇත. එසේම තමන්ට අයිති ඉඩම් හොර රහසේ කොළඹ නුවර ප්‍රදේශවල ධනවත් පුද්ගලයන්ට, කොම්පැණිකාරයන්ට විකුණා දැමූ පුද්ගලයෝද වෙති. මෙම ධනවත් පුද්ගලයෝ තම ධන බලය, නිල බලය යොදා ගෙන මෙම සංවේදී ඉඩම්වල නිවාඩු නිකේතන සාදා ඇති අයුරු රත්තොට, ඉළුක්‌කුඹුර පාරේ රිවස්‌ටර්න් දුර්ගය බැසයැමේදී හඳුනාගත හැකිය.

එසේම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඩීන්ස්‌ටන් - මීමුරේ මාර්ගයේද මෙවන් ඉදිරිකිරීම් හමුවේ. මේවාට වගකිවයුත්තේ කවුරුන්ද යන්න විමසා බැලිය යුත්තකි. පැහැදිලිවම ඇත්තේ මේ වටිනා සංවේදී වනාන්තර ඉඩම් එම මුල් හිමිකරුවන්ට වන්දි ගෙවා හැකි ඉක්‌මනින් පවරා ගෙන වනාන්තරයට සම්බන්ධ නොකිරීමයි. එනිසාම සිදුව ඇති තවත් අනතුරක්‌ පිළිබඳව අවධානය යොමු කිරීම අද අපගේ ලිපියේ අරමුණයි.

පසුගියදා මහා වනාන්තර විනාශයක්‌ පිළිබඳව මීමුරේ දක්‌වා ගමන් ගන්නා මාර්ගයේ කරඹකැටිය ප්‍රදේශයෙන් වාර්තා විය. ඩීන්ස්‌ටන් නකල්ස්‌ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ සිට මීමුරේ දක්‌වා ගමන් ගන්නා මාර්ගයේ සුළං කපොල්ල හෙවත් කොබර්ට්‌ස්‌ ගැප්" ප්‍රදේශයට ඉහළින් පිහිටි අතිශය සංවේදී වනාන්තරයක දැව හෙලීමක්‌ පිළිබඳවයි ඒ. ඇල්බීසියා, කැන්ද, වෙළං ඇතුළු දැව තොගයක්‌ මෙසේ කපාගෙන හොර රහසේ පිටමං කරගෙන ඇති අතර තවදුරටත් මෙම ප්‍රදේශයේ වනාන්තර (දැව) සංහාරයක ලකුණු පහළ වී ඇත. මේ පිළිබඳව සොයා බැලීම සඳහා අප පසුගියදා මීමුරේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්‌ථාවේදී දැනගන්නට ලැබුණේ මෙම වන විනාශය සිදුවූ ඉඩම්ද දුම්බර සංරක්‍ෂිත වනාන්තරයට පවරා ගැනීමට නියමිත, ඉඩම් අත්පත් කරගැනීමේ පනත ප්‍රකාරව හිමිකරුවන්ට නියෝග නිකුත් කර ඇති (සෙක්‌ෂන් බී) ඉඩම් බවය. මධ්‍යම පළාත් මැතිවරණය අවසන් වූ වහාම සිදුව ඇති මෙම දැව සංහාරය පිටුපස දේශපාලන බලවතකු හා පරිසර සංරක්‍ෂණයට අදාළ ආයතනයක්‌ද පවතින බවට වාර්තා ලැබෙන අතර මෙම වන විනාශය ඡන්ද ප්‍රතිඵලවලට ලැබුණු තුටු පඬුරක්‌ විය හැකි බවද ඇතැම්හු කියා සිටිති.

මෙම වන විනාශය සිදුවූ ඉඩම් කරඹකැටිය ප්‍රදේශයේ පිහිටා ඇති වින්චිල් පාර්ක්‌ සහ සෙන්ට්‌ මාටින්ස්‌ නමැති පැරැණි වතු ඉඩම්ය. පින්චිල් වතුයායේ මීමුරේ මාර්ගයට යාබදව පිsහිටි දැව වර්ග කිහිපයකට අදාළ ගස්‌ බිම හෙලා දැව තොග ගෙනගොස්‌ ඇත. මෙම වින්චිල් වත්ත වූ කලී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට නියෝග නිකුත් කර ඇති වැදගත්ම සංවේදී ඉඩමක්‌ය. පවරා ගැනීමට ඇති වැඩිම ඉඩම් ප්‍රමාණය ඇත්තේද වින්චිල් වතු යායේය. අයිතිකරුවන් 60 ක්‌ පමණ මෙහි ඉඩම් අයිතිය භුක්‌තිවිඳින අතර මීමුරේ මාර්ගයට යාබද වන විනාශය සිදුව ඇති ඉඩම් හෙක්‌ටයාර් 10 කින් පමණ සමන්විත මඩවල ප්‍රදේශයේ මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට අයත් ඉඩමකි. එසේම සෙන්ට්‌ මාටින්ස්‌ වතුයායෙන්ද දැව හෙලීම සිදුව ඇත.

වින්චිල් වත්තේ ඉඩම් පවරා ගැනීමට අදාළව තක්‌සේරු සිදුවී ඇති අතර, දැන්වීම් සිදුකර අදාළ පවරා ගැනීම්වල කටයුතු ප්‍රාදේශීය ලේකම්වරයා (උඩුදුම්බර) විසින් සිදුකර ඇත. එවන් විටෙක මෙම ඉඩම් සඳහා අනුමැතියක්‌ නොමැතිව කිසිදු කටයුත්තක්‌ සිදුකිරීම තහනම් කටයුත්තකි. විකිණීම තහනම්ය. ඉදිකිරීම්, දැව හෙලීම සිදුකළ නොහැකිය. එවන් විටෙක මෙසේ දැව හෙලා දැව තොග රැගෙන යැම තහනම් කටයුත්තකි. එය පාලනය කිරීමේ වගකීම ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියට හා ප්‍රාදේශීය ලේකම්වරයාටය. ඉඩම් පවරා දෙනතුරු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉඩම්වලට අදාළ කටයුතුවලට සම්බන්ධ වීම සිදුවන්නේ අඩු වශයෙනි. එහෙත් වනජ ද්‍රව්‍ය රැගෙන යැම, ඇතුළු ආරක්‍ෂිත දැව කැපීමේ තහනම ක්‍රියාත්මක කිරීමේ බලය වන සංරක්‍ෂණ නිලධාරීන්ට ඇත. නමුත් වැඩි වශයෙන් දැව හෙලා රැගෙන ගොස්‌ ඇත්තේ ඇල්බීසියා, කැන්ද වැනි දැව වර්ගය. මේවා ප්‍රවාහනයටද බලපත්‍ර අවශ්‍ය නොවේ. එහෙත්, එම නීති රීතිවලින් රිංගා දැව ජාවාරම්කරුවන් පවරා ගැනීමට නියෝග නිකුත් කර ඇති නකල්ස්‌ සංවේදී ඉඩම්වල මෙසේ දැව හෙලීම බරපතළ නීති උල්ලංඝනයකි. එහෙයින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමකි. එසේ නැතිව බලධාරීන් ඊට අවසර දුන්නේ නම් ඒ කුමන පදනමකින්ද යන්න ඔවුන් පාපොච්ඡාරණය කළ යුතුව ඇත.

මේ පිළිබඳව අප වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නකල්ස්‌ සංරක්‍ෂණ නිලධාරියකුගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ ඉඩම් අත්පත් කරගැනීමේ පනත ප්‍රකාරව පවරා ගැනීමේ නියෝග නිකුත් කර ඇති වින්චිල් පාර්ක්‌ වත්තේ දැව හෙලීම ඇතුළු වෙනත් ඕනෑම කටයුත්තක්‌ සිදුකිරීම නීති විරෝධී වන බව හා මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (උඩදුම්බර) අවසර ලබාදී ඇත්නම් එයද වැරදි කටයුත්තක්‌ බවයි.

මෙම කරුණු වඩාත් පැහැදිලිකර ගැනීමේ අරමුණින් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු භාර නිලධාරින්ගෙන් කරුණු විමසූ විට දැනගන්නට ලැබුණේ වින්චිල් වත්තේ දැව හෙලීම සඳහා අදාළ හිමිකරුවකුගෙන් ඉල්ලීමක්‌ ලැබුණු බවත්, එහෙත් එය විධිමත් ඉල්ලීමක්‌ නොවූ බැවින් අදාළ ලිපි ලේඛණ සමඟ විධිමත්ව එය ඉදරිපත් කිරීමට දැනුම් දුන් බවයි. එම ඉල්ලීම මේ වන තුරුත් ලැබී නැති බවද හේ පැවසීය.

සැබෑව නම් විධිමත් ඉල්ලීම පසෙක ලා ගස්‌ටික කපාගෙන යාමය.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් අදාළ ඉඩම් හිමියාට අවසරය ලබාදුන්නේ දැයි දැනගැනීමට අප මහනුවර (මධ්‍යම පළාත්) මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ කිරිඇල්ල මහතාගෙන් විමසූ විට හේ කියා සිsටියේ තමන් දන්නා පරිදි එවැනි අවසරයක්‌ නිකුත් කර නොමැති බව හා ඒ පිළිබඳව සොයා බලා පිළිතුරක්‌ ලබාදෙන බවකි. කෙසේ හෝ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත ප්‍රකාරව අත්පත් කිරීමේ නියෝග නිකුත් කර හඳුනාගත් ඉඩම්වල දැව හෙලීම කළ නොහැකි බවද පැවසූ කිරිඇල්ල මහතා එසේ වන්නේ නම් එය නීති විරෝධී වන බවද කියා සිටී.

කෙසේ හෝ දැන් විනිචිල්වත්තේ දැව හෙලා ෙරැගන ගොස්‌ ඇත. ඉතිරි කොටස්‌වලද දැව හෙලීමේ අනතුරක්‌ ඇත. එසේම උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අත්පත් කරගැනීමේ අංශය කියන පරිදි පවරා ගැනීමට නියමිත ඉඩම් කොටස්‌ 147 ක්‌ අතුරෙන් දැනටමත් වන්දි ගෙවා පවරාගෙන ඇත්තේ 20 ක්‌ පමණකි. තවත් කොටස්‌ 40 ක්‌ මැන අවසන් කරවත් නැත. ඉතිරි ඉඩම්වල තක්‌සේරුකිරීම් හා අයිතිය පෙන්වීම සිදුවීද නැත.

මිනින්දොaරු දෙපාර්තමේන්තුව තම කාර්ය මණ්‌ඩලයේ හා පහසුකම් වල හිඟය පෙන්වමින් ඉඩම් මැනීම අතිශය ප්‍රමාදයට ලක්‌කර ඇත. මේ ආකාරයෙන් බලන කල දුම්බර වනපෙතේ සංවේදී ඉඩම් අත්පත් කරගැනීම තවත් කාලයකට ඉටුවන බවත් පෙනෙන්නට නැත. මෙවන් දුර්වලතා මැද වනපාලුවෝ ක්‍රියාත්මක වී තමන්ගේ ඉලක්‌ක සපුරා ගනිති. නිලධාරීන් 'බකං නිලාගෙන' සිටිති. සුන්දර දුම්බර මෙන්ම මීමුරේ සුන්දරත්වය හා එහි අද්විතීයත්වය 'කොටන්' උඩින් දර්ශනය වෙනු පෙනේ. එසේම මීමුරේ මාර්ගය නායයැමේ අවදානමකට ලක්‌වීමේ ඉඩකඩද මේ නිසා වැඩිවී ඇත.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ අනුග්‍රහයෙනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.