කුඩු පොත අලුත් විය

* මෙන්න ඉස්‌තරම් බඩු කිලෝවක්‌ රුපියල් කෝටියයි
* කුඩු පැකට්‌කර ඇත්තේ ලංකාවේ
* ලයිබීරියානුවා ළඟ ව්‍යාජ තානාපති කාර්යාල හැඳුනුම්පතක්‌

කුඩු පොත අලුත් විය. මෙතෙක්‌ කාලයක්‌ වාර්තා නොවූ කුඩු සිද්ධියක්‌ පසුගියදා කටුනායක ගුවන් තොටුපළින් වාර්තා විය. එනම් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරටින් වෙනත් රටකට හෙරොයින් ගෙන යැමට තැත් කළ පුද්ගලයකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන්ම ඉස්‌තරම් වර්ගයේ වයිට්‌ ෂුගර් හෙරොයින් තොගයක්‌ අත්අඩංගුවට ගත් පළමු අවස්‌ථාවද මෙය වේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා ලයිබීරියානු ජාතිකයෙකි. මෙම පුද්ගලයා ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය මස 18 වැනිදාය. දින කිහිපයක්‌ මෙරට රැඳී සිටි ඔහු පසුගිය 26 වැනිදා ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැඹේ නුවරට යැමට කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණයේය. එදින ඔහුගේ හැසිරීම තරමක්‌ වෙනස්‌ විය. ඔහුගේ අත රැඳි ගමන් මල්ල අසාමාන්‍ය ස්‌වරූපයක්‌ ගෙන තිබිණි. රේගු නිලධාරීන්ගේ උකුසු ඇස්‌ ඒ අසාමාන්‍ය ගමන් මල්ල වෙතට යොමු විය. රේගු නිලධාරීන් කිහිප දෙනකු එකතුව ලයිබීරියානුවාගෙන් ප්‍රශ්න කර ඇත. එවිට එම පුද්ගලයා උගන්ඩා තානාපති කාර්යාලයේ සේවකයකු බවත්, නිරන්තරයෙන්ම ලංකාවට යන එන කෙනෙක්‌ බව හඟවමින් ප්‍රශ්න කිරීමට දැඩි ලෙස විරුද්ධවය ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුට රේගු නිලධාරීන්ගෙන් නම් ගැලවිල්ලක්‌ නොමැති විය. ගමන් මල්ල රේගු භාරයට ගත් රේගු නිලධාරීන් ලයිබීරියානුවා නැවතී සිටින කොළඹ ප්‍රදේශයේ හෝටලයට නැවත පිටත් කර හැරියේය. ඔහු නැවතී සිටිනවා කියූ හෝටලයේ නම සහ හෝටලය පිහිටි ඉසව්ව ද රේගු නිලධාරීහු ඔහුගෙන් විමසා සටහන් කර ගත්හ.

එසැනින් ක්‍රියාත්මක වූ රේගු නිලධාරීහු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් උගන්ඩාවේ තානාපති කාර්යාලය ගැන තොරතුරු විමසූහ. එවැනි තානාපති කාර්යාලයක්‌ මෙරට නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන්නේය. එමෙන්ම එවැනි රාජ්‍ය තාන්ත්‍රිකයකු ලයිබීරියාවෙන් එවා නැති බවද මෙරට සිටින අදාළ කන්සියුලර්වරයා තහවුරු කර ඇත. රේගු නිලධාරීන්ගේ සැකය තවත් වැඩි විය. zබෑග් එක තුළ විදේශීය මුදල් තියෙන්න පුළුවන්Z රේගු නිලධාරීහු සිතූහ. එහෙත් ඔවුන්ට ගමන් මල්ලේ අයිතිකරු නොමැතිව විවෘත කිරීමට නොහැකිය. එහෙයින් රේගු නිලධාරීන් දෙදෙනකු ලයිබීරියානුවා ලැගුම් ගෙන සිටිනවා කියූ කොළඹ හෝටලය වෙත පැමිණියහ. එම හෝටල් කළමනාකාරිත්වයෙන් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ එවැනි පුද්ගලයකු හෝටලයේ ලැගුම් ගෙන නැති බවය. 2009 වසරේ නම් එම ලයිබීරියානු ජාතිකයා තම හෝටලයේ නවාතැන් ගෙන ඇති බව නම් හෝටල් කළමනාකාරිත්වය රේගු නිලධාරීන්ට දැනුම් දී තිබිණි. එහෙත් රේගු නිලධාරීහු සැකකටයුතු ලයිබීරියානුවා සෙවීමේ ප්‍රයත්නය අත්නොහලහ. නැවත ක්‍රියාත්මක වූ රේගු නිලධාරීහු සැකකටයුතු ලයිබීරියානුවා පිළිබඳ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්හ. දින සති ගෙවී ගියේය. පසුගිය 5 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රේගු නිලධාරීන්ට සැකකටයුතු ලයිබීරියානුවා ගැන තොරතුරක්‌ ලැබිණි.

"අපි ඒ මොහොතේම විදේශ කටයුතු අමාත්‍යාංශයට ගියා. ඒ පුද්ගලයාත් අමාත්‍යාංශයේ හිටියා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඔහුට කිව්වා ඔයාගේ බෑග් එක ගන්න මේ මහත්වරු උදව් කරයි කියලා. බෑග් එක අරගෙන දෙන මුවාවෙන් ඒ වේලාවේම අපි ඔහුව කටුනායක ගුවන් තොටුපළට ගෙනත් ඔහු ඉදිරියේ බෑග් එක විවෘත කළා. අපි සැක කළේ බෑග් එක ඇතුළේ තියෙන්නේ විදේශීය මුදල් කියලා නමුත් බෑග් එකේ තිබුණේ ලෝකයේ ඉස්‌තරම්ම වර්ගයේ හෙරොයින් ඇසුරූ පැකට්‌. කිලෝ 30 ක්‌. වටිනාකම රුපියල් මිලියන 240 ක්‌. වයිට්‌ ෂුගර් හෙරොයින් කියන්නේ ශරීරයට එන්නත් කර ගන්න පුළුවන් කුඩු වර්ගයක්‌. ඒ වගේම බ්‍රවුන් ෂුගර් හෙරොයින්වලට වඩා වයිට්‌ ෂුගර් හෙරොයින් මිලෙන් ඉතාම වැඩියි. රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

ලයිබීරියානු රජය නිකුත් කළ ගමන් බලපත්‍රයක්‌ ඔහු සතුය. මෙරට උගන්ඩා තානාපති කාර්යාලයේ සේවය කරන බවට ව්‍යාජ හැඳුනුම්පතක්‌ පෙන්වා ඔහු රටින් පිටවීමට තැත් කර ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙනි. විශේෂ අමුතන්ගේ පර්යන්තයෙන් යන එන අයව විශේෂ සෝදිසියකට ලක්‌ කිරීමට රේගු නිලධාරීන්ට අවසර නැත. එහෙත් මේ පුද්ගලයාගේ හැසීරීම් රටාව ගැන සැක සිතූ රේගු නිලධාරීහු ඔහුව සෝදිසි කළහ. එම ලයිබීරියානුවාගේ ගමන් බලපත්‍රයේ ඔහු වෘත්තීයෙන් පතල් කැණීම් විශේෂඥයකු බව ද සඳහන්ව තිබිණි. එමෙන්ම එම පුද්ගලයා කීප වතාවක්‌ම ලංකාවට පැමිණි ඇති අතර මේ වසරේ පමණක්‌ තුන් වතාවක්‌ මෙරටට පැමිණ ඇත.

මෙවර ඔහු ලංකාවට එන විට මෙම කුඩු තොගය මෙරටට ගෙනැවිත් නැත. එසේ නම් මේ විදේශිකයාගේ ගමන් මල්ලට කුඩු තොගය ආවේ කොහෙන්ද? කුඩු පැකට්‌ කර ඇති පොලිතින් කවර තුළ මෙරට ප්‍රසිද්ධ වෙළෙඳසලක වෙළෙඳ ලාංඡනයද තිබේ. ලොව ඉස්‌තරම් වර්ගයේ මේ කුඩු තොගය පැකට්‌ කර ඇත්තේ මෙරටදී බව එයින් ඔප්පු වේ. එමෙන්ම ගුවන් තොටුපළ රේගු නිලධාරීන් කියන ආකාරයට ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මාµsයාවේ ප්‍රබල සාමාජිකයෙකි. ලයිබීරියානුවා සහ මෙරට මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙක්‌ අතර මෙම කුඩු ගනුදෙනුව මෙරට තරු පහේ හෝටලයක්‌ තුළදී සිදු වී ඇති බව දැන් අනාවරණය වෙමින් ද තිබේ.

මෙවන් වටපිටාවක දකුණු ආසියාවේදී අත්අඩංගුවට පත් විශාලතම හෙරොයින් තොගය පසුගියදා මෙරටට ආනයනය කර තිබියදී රේගු ගුදමකදී රේගු නිලධාරීහු අත්අඅඩංගුවට ගත්හ. ග්‍රීස්‌ ටින් ගෙන්වන මුවාවෙන් සමාන ටින්වල අසුරා ගෙන්වා තිබූ කුඩු තොගයේ වටිනාකම රුපියල් මිලියන 260 කි. පසුගියදා මෙරටින් උගන්ඩාවට ගෙන යැමට තැත් කළේ ලොව ඉස්‌තරම් වර්ගයේ වයිට්‌ ෂුගර් හෙරොයින් කිලෝ 30 කි. කුඩු නිෂ්පාදනය නොකරන අපේ රටට මේ ඉස්‌තරම් වර්ගයේ කුඩු තොගය සෘද්ධියෙන් පහළ වෙන්නේ නැත. කොහෙන් හෝ රටකින් මෙරටට ගෙන්විය යුතුය. එසේ නම් මේ කුඩු මෙරටට රිංගන්නේ ගුවන් තොටුපළින්ද? වරායෙන්ද? එසේ නැති නම් වෙනත් මාර්ගයක්‌ද? කෙසේ වෙතත් මේ ගනුදෙනුවෙන් ප්‍රකට වන්නේ අපේ රට ජාත්‍යන්තර කුඩු බෙදාහැරීමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත් වී හමාර බවය.

කන්ටේනර් පෙට්‌ටි පිරෙන්න කුඩු ගෙන්වන්නේය. කුඩු රජවරු කුඩු බෙදාගැනීමට නොහැකිව මගතොටේ මරා ගනිති. රට පුරාම කුඩුය. හැම ගමක කුඩු බොන උන් සිටිති. එහෙත් මතට තිත කියා කුඩු උරන උන් අත්අඩංගුවට ගන්නේය. කුඩු විකුණන පහළම උන්ව අත්අඩංගුවට ගෙන කාලාන්තරයකට සිරගෙවල්වල ගාල් කරන්නේය. එහෙත් කුඩු මෙරටට ගෙන් වන මහ උන් නිදැල්ලේය. උන්ට නීතියක්‌ නැත. රේගුව අත්අඩංගුවට ගන්නා සමහර කුඩු තොග කාලයක්‌ යද්දී පාන් පිටි වන්නේය. එවැනි වටපිටාව ලයිබීරියානු කුඩ්ඩාද නිදහස්‌ වී යැමට ඉඩ තිබේ. කුඩු ගැන වැඩි කතා ඇඟට අගුණය. එහෙත් අපි මේ වචන කිහිපය සටහන් කර තබන්නෙමු.

රටේ ආශ්චර්යය කෙසේ වෙතත් කුඩුවලින් නම් රට ආශ්චර්යට ළඟා වී ඇති බව පෙනේ. නීතියක්‌ නැති රටේ දේශපාලනයත් කුඩුත් සමග නිරුවත් වී ඇත. ඉදිරියේදී කුඩු කන්ටේනර් පිටින් ගෙනත් බෑවත් කුඩු ගැසූ උන් සේ මත් වී බලා සිටිනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක්‌ නම් නැත.

තරංග රත්නවීර, ප්‍රභාත් විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.