මැඩම්ගේ සලාක බූරු පොළ වැටලූ
පොලිසිය මාරු කළ හුලා මොකාද?

  
දඩාවතේ හැදුණු ටොමියා පාරේ නිදන බල්ලෙකි. දිනක්‌ ඉබාගාතේ ඇවිද ගිය ඌ ගිනි මධ්‍යහ්නයක මහමග අයිනේ වූ සෙවන ඇති ගසක්‌ යටට වී නිදන්නට වූයේ කරන්නට දෙයක්‌ නොවූ තැනය.

එසේ නිදන අතරේ ටොමියා අපූරු සිහිනයක්‌ දිටීය. ඒ සිහිනයට අනුව ටොමියා දැන් රටේ පොලිස්‌ සුනඛ බළඇණියේ පොරකි. ලස්‌සන කර පටියක්‌ සේම ඌට දැන් පොලිසියෙන් ලැබෙන සත්කාරද රැසකි.

සුනඛ කණ්‌ඩායමේ වැඩ්ඩෙකු වූ ටොමියාට පැවරී තිබුණු පොලිස්‌ රාජකාරිය වූයේ ඉවකර හොරු ඇල්ලීම විය. එක්‌තරා දවසක රටේ නගරයේ මහා හොරකමක්‌ සිදුවූයේ ටොමියා එසේ සිහිනෙන් පොලිසියට බැඳී සිටින අතරතුරය.

එම සිද්ධියත් සමග පොලිසිය ටොමියාද ගෙන හොරු අල්ලන්නට එය සිදුවූ තැනට ගියේය. කාලයකට පසු වැඩක්‌ දාන්නට වෙලාවක්‌ සෙට්‌ වූ ටොමියා එසේ සොරකම සිදුවූ ස්‌ථානයට ළඟා වීමත් සමග කියන්නටත් පෙර සියල්ල ඉව කර ඒ ඉව ඔස්‌සේ දිවයන්නට විය.

ටොමියා එසේ දිව ගියේ සොරකම කළ සොරා ළඟ ළඟම සිටින බව දැනෙන ඉව අනුව හොඳින් වටහාගෙන සිටි බැවිනි. අවසානයේ හැල්මේ දිව ගිය ටොමියා තමන්ගේ නහයෙන් හඳුනාගත් සොරා එක්‌ තැනෙක සිටිනු දැසින් දැක මහා වියරු සද්දයක්‌ද දමා එක්‌වරම පැන සොරාගේ සරම දැඩිව සපා කා සොරා ඇදගෙන ආපසු එන්නට වූයේ උජාරු ලීලාවෙනි.

පාරේ ඇවිද ආ මාදාවි කොල්ලෙක්‌ ටොමියා නිදා සිටි ගස අසළින් යන්නට ආවේ සිහිනෙන් පොලිසියට ගිය ටොමියා මෙසේ සොරා අල්ලා ඇදගෙන එමින් සිටියදීය. කොල්ලාගේ අතේ තරමක පොල්ලක්‌ද තිබිණ. මෙසේ ගස අසළින් යන අතරේ ගස යට නිදාගෙන සිටි ටොමියා දුටු උගේ සිහින ලෝකය නොදත් කොල්ලා අත වූ පොල්ලෙන් ටොමියාගේ පිටකොන්දට තඩි බෑවේ ඇඟේ තිබූ මදාවි කමටමය.

කොල්ලාගේ පහරත් සමග උන්හිටි තැන් අමතක වූ ගස යට නිදා සිටි ටොමියා හිස හැරුණු අතේ දුවන්නට වූයේ මරහඬ නගමිනි. එසේ දිවගිය ටොමියා අවසානයේ එක්‌ තැනෙක ලැග පහර වැදුණු ස්‌ථානය ලෙවකමින් හති අරින්නට විය. ඒ අතරේ ඌ මෙසේ සිතන්නටද වූවේය. "ඇයි යකෝ.. අනුන්ගේ වත්තකට ගිහින් වල්ගේ ඉස්‌සුවා නම් මෙහෙම පාරක්‌ වැදුණත් කමක්‌ නැහැ.. පොලිසියට ගිහින් හොරු අල්ලුවහමත් පොලුවලින් ගහනවද.."? ඒ සිතුවිලි අතරතුරද වැදුණු පහරේ වේදනාවට ටොමියාට කෙඳිරි ගෑ වුණේය. දඩාවතේ ගිය ටොමියාට එලෙස සිතෙන්නට වූයේ සිහිනෙන් පොලිසියට බැඳී නීතිය රකින්නට යන අතරේ හැබැහින් වැදුණු මදාවි කොල්ලාගේ පොලු පහර නිසාය. නමුත් මහත්වරුනි සිහින ලෝකයක අතරමං වී සිටි ටොමියා වැදුණු පහරින් හොල්මං වී එසේ කල්පනා කරද්දී අද දවසේ පොලිසිය තුළ සිදුවන සියල්ල දැසින් දකින රටේ ජනතාවට ඒ අරබයා සිතෙමින් තිබෙන්නේ කුමක්‌ද?

පොලිසියට අනුව පොලිසිය මහජන මිත්‍රශීලීය. නමුත් ඒ පිළිබඳ කතා කළ යුත්තේ වෙනම දවසකය. හේතුව පොලිසියේ මහජන මිත්‍රශීලී බව ඉකුත් වසරේ පොලිසියට එරෙහිව පොලිස්‌ කොමිසම වෙත ලැබුණු පැමිණිලි ගණන පමණක්‌ හයසිය එකක්‌ වීමෙන්ම පැහැදිලි වන නිසාය.

එහෙත් මේ කුමකින් කුමක්‌ සිදු වුවත් රටේ ජනතාවගේ රැකවරණය වෙනුවෙන් පොලිසිය යමක්‌ නොකරන්නේයෑයි කියන්නට තරම් අපි කලබල නොවන්නෙමු. ඒ පොලිසියේ මහජන මිත්‍රශීලී බව ඇතැම් පොලිස්‌ නිලධාරින්ගේ රෙද්ද පල්ලෙන් බේරුණද සැබැවින්ම රටත් ජනතාවත් පිළිබඳ සිතා කොන්ද කෙළින් තබාගෙන නීතියට අනුව අවංකව රාජකාරිය කරන පොලිස්‌ නිලධාරින් පිරිසකුත් පොලිසියේ සිටින නිසාය.

නමුත් එවන් අවංක පොලිස්‌ නිලධාරින් ඉදිරියේ කාලයක සිට ටොමියාට පොලු පහර දුන් මදාවි කොල්ලාගේ භූමිකාව රඟන ඇතැම් පොලිස්‌ ලොක්‌කන් නිසා අද දවසේ රටේ ජනතාවට ඇති වී තිබෙන්නේ ටොමියාට ඇති වූවාක්‌ මෙන් "යකෝ හොරු ඇල්ලුවහමත් පොලුවලින් ගහනවා" දැයි යන ගැටලුකාරී සිතුවිල්ල බව අමුතුවෙන් කිව යුතු නැත.

එය ජනතාවට පමණක්‌ නොව එසේ අවංකව රාජකාරි කරන පොලිසියේ නිලධාරින්ටද ඇති වී තිබෙන්නකි. තමන්ගේ හෘද සාක්‍ෂිය පසෙක තබා බලය හමුවේ අමනකමට උඩගෙඩි දෙන පොලිසියේත් ආණ්‌ඩුවේත් සිටින වල්මත් වූ "බීරි අලින්ගේ" අවබෝධය පිණිස ඒ බව පැහැදිලිවම සටහන් කළ යුතුය.

මෙලෙස ලොකු ලොකු පොලිස්‌ මහත්වරුන් අවංක පොලිස්‌ පොඩ්ඩන් ඉදිරියේ රඟන කොන්ද නැති නපුංසක නාඩගමේ අලුත්ම ජවනිකාවක්‌ ඉකුත් සතිය මැදදී කරළියට පැමිණියේ පොලිසිය මහජන මිත්‍රශීලීද නැතිනම් තක්‌කඩියන්ට, හොරුන්ට හා බලයෙන් මත්වී නීතියට අවමං කරමින් තැන තැන දාදු කෙළින සහ කෙළවන නිශාචර ධනවතුන්ට මිත්‍රශීලී වූයේ දැයි යන ගැටලුව රටට ඉතිරි කරමිනි.

පොලිසියේ එකී අලුත්ම නාඩගම වූ කලී කුමක්‌ද? එය අන් කිසිවක්‌ නොව. කාලයක සිට රට වැනසූ පාතාලයන්ට මෙන්ම රටේ තරුණියන්ගේ ස්‌ත්‍රීත්වය වලත්තයන්ට විකුණාගෙන කෑ වුන්ට, කුඩු ජාවාරමුන්ට හා විනාශයේ දහදුරාවන් සියල්ල සමාජගත කරන්නට වෙර දැරූ පාදඩ ධනකුවේරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් උන් කුදලා නීතිය හමුවට ගෙන එන්නට වෙහෙසුණු ශ්‍රී ලංකා පොලිසියේ තිබූ නොවිසඳුණු අපරාධ ඒකකය පොලිස්‌ ලොක්‌කන් එකතු වී සුන්නද්ධූලි කර දැමීමය.

මෙහිදී එහි සිටි නිලධාරින් විසිතුන් දෙනකුම රට පුරා හතර අතට මාරු කර හරින්නට පොලිස්‌ බලධාරින් ක්‍රියා කරනු ලැබුවේ අරුම පුදුම ලෙසිනි. මෙකී ස්‌ථාන මරු කිරීම් සමග ඒ පිළිබඳ විමසන්නට වූ රටේ මාධ්‍ය වෙත පොලිස්‌ බලධාරින් කියා සිටියේ අදාළ නිලධාරින් දීර්ඝ කාලයක්‌ එකම ස්‌ථානයක සේවය කළ බැවින් සේවා අවශ්‍යතා මත එම ස්‌ථාන මාරු කිරීම් සිදු කළ බවකි. ඒ අතරේ මෙම ඒකකයේ සිටි පොලිස්‌ නිලධාරින් දෙදෙනකු පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කොල්ලකෑමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්වීමේ කතාවක්‌ද ඒ අතර තිබිණි. කෙසේ වෙතත් බලධාරින් කී ඒ කතා හරිම අපූරුය. ඒවා ඇසෙන කල්හි අපේ ජනවහරේ ඇති "එක මකුණෙක්‌ කෑ විට ඔක්‌කොම මකුණන් මරා දැමීමේ කතාව මෙන්ම සිංහල අවුරුදු සමයට කිසිවෙකුත් නොකියාම කොවුලන් මොරදෙන අන්දමද අපට සිහි විය.

කවුරුන් කුමක්‌ කීවද සැබවින්ම මෙකී ස්‌ථාන මාරු කිරීම් තුළ වූයේ පොලිසියේ විනය රැක ගැනීමද යන්න අපට ගැටලුවකි.

එවන් ගැටලුවක්‌ අපට ඇති වූයේ මෙම ස්‌ථාන මාරු කිරීම්වලට හරියටම පැය 48 ට පෙර කොළඹ පුරහල (ටවුන් හෝල්) ප්‍රදේශය ආසන්නයේ එක්‌තරා "සලාක" ගුබ්බෑයමක කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පළක්‌ වැටලූ මෙකී පොලිස්‌ නිලධාරින් එහි සූදු ක්‍රීඩා කරමින් සිටි නිශාචර ධනකුවේරයන්ද ඇතුළු ගණනින් 45 දෙනකු අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නට පියවර ගෙන තිබූ හෙයිනි.

මෙම බූරු පළ වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබූවන් අතරේ සිටි ප්‍රබලයන් අතර නමගිය නීතිඥවරුන් දෙදෙනකු සහ රාජ්‍ය බලධාරියකුද සිටි වග මේ වන විට හෙළිදරව් වී ඇත්තේය. එය එසේ වෙද්දී බූරු පළ පවත්වාගෙන ගියේ රැස්‌ විහිදුවමින් සිටින එක්‌තරා සුන්දර මැඩම් කෙනකු බවද ඒ බව දැන සිටින්නෝ පවසති. එකී වැටලීමෙන් පසු පොලිසියට හසුවූ කිහිපදෙනකු බේරා ගැනීම සඳහා නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින්ට කොළඹ ප්‍රදේශයේ එක්‌තරා නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු බලපෑම් කර ඇතත් එකී නිලධාරින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ ඉල්ලීම්ද පසෙක දමා අත්අඩංගුවට ගත් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරනුයේ නීතියට මුල් තැන දෙමින්ය.

ඉදින් මෙම ඒකකයේ නිලධාරින් මාරු කර හැරියේ පොලිසියේ විනය පවත්වා ගනිමින් සේවා අවශ්‍යතා සපුරා ගැනීමට නම් නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු සූදු පළ වැටලූ අවස්‌ථාවේ ඔවුන්ගේ රාජකාරියට හරස්‌ වූයේ ඇයිද සහ එසේ කළේ කවරෙක්‌ද යන වගද සොයා බැලීම පොලිස්‌ බලධාරින්ගේ යුතුකමක්‌ නොවන්නේද?

නමුත් එවැන්නක්‌ සිදු කෙරෙන බවක්‌ මේ මොහොත වනතුරුත් පෙනෙන්නට නොවේ. සිදුව ඇත්තේ නොවිසඳුණු අපරාධ ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න මහතා පොලිස්‌පතිවරයාට ඉදිරිපත් කළ ලිපියකට අනුව එහි සිටි පොලිස්‌ නිලධාරින් මාරු කර හැරීම පමණි.

මේ අන්දමින් කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින් කාලයෙන් කාලයට මාරු කර හැරීම ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව එය ආරම්භ කළ 2003 වසරේ සිටම විටින් විට කරගෙන එන්නේය. එකී මාරු කිරීම් සිදු කෙරුණු සෑම අවස්‌ථාවකදීම දකින්නට ලැබුණු එක්‌තරා සුවිශේෂී ලක්‍ෂණයක්‌ද විය.

ඒ මෙම ඒකකයේ නිලධාරින් කොළඹ නගරයද ඇතුළුව රට පුරා විවිධ ප්‍රදේශවල පාතාලයන්, කුඩු රජවරුන්, ගණිකා මඩම්, රාත්‍රි සමාජ ශාලා ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා අඩපණ කිරීමේ අදිටනින් වැටලීම් සිදු කර අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවේ නඩු පවරා තිබියදී එම නඩුවලට නිසි පරිදි සාක්‍ෂි දීමටවත් නොහැකි මානසිකත්වයක්‌ ඇති වන පරිදි එකී පොලිස්‌ නිලධාරින් හතර අතට මාරු කර හැරීමය.

එහිදී පැහැදිලිවම සිදු වූයේ සාක්‍ෂි පරස්‌පර වීම වැනි කරුණු මත පොලිස්‌ අත්අඩංගුවට ගෙන නඩු පවරා සිටි අපරාධකරුවන් නීතියෙන් ගැලවී යැම විය. සුපුරුදු පරිදි මෙවරද නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින් 23 දෙනකු රට පුරා තැන් තැන්වලට මාරු කර හැරීමෙන් සිදුව ඇත්තේ ඒ ටිකම නොවේයෑයි වගකීමෙන් ප්‍රකාශයක්‌ කරන්නට පොලිසියේ බලධාරින්ට හැකියාවක්‌ තිබේද?

අප එසේ ප්‍රශ්න කරනුයේ ඉකුත් කාලයේ මෙම ඒකකයේ නිලධාරින් සිදු කළ වැටලීම් හමුවේ දැනට කොළඹ මහාධිකරණය සහ මහෙස්‌ත්‍රාත් අධිකරණ හමුවේ විභාග වෙමින් තිබෙන නඩු පිළිබඳව සහ එකී නිලධාරින් තැන් තැන්වලට විසිරී යන පරිදි මාරු කර ඇති ආකාරය දෙස අවධානයෙන් බැලීමෙනි.

මෙවර නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින් මාරු කර හරින අවස්‌ථාව වන විට එම ඒකකය මගින් පසුගිය දෙවසරක පමණ කෙටි කාලය තුළදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ පවරා ඇති නඩු ප්‍රමාණය 13 කි. එසේම මහෙස්‌ත්‍රාත් අධිකරණ හමුවේ නඩු 39 ක්‌ පවරා තිබිණි. "ඔව් මේ නිලධාරින්ව අද වහාම ක්‍රියාත්මක වන පරිදි කියලා රටේ හතර කොනට මාරු කරලා තිබෙනවා.. එතනදී පැහැදිලිවම සිදු වන්නේ අදාළ නඩුවලදී නිරවුල් මානසිකත්වයකින් යුතුව සංවිධානාත්මක ලෙස අපරාධකරුවන් සම්බන්ධයෙන් සාක්‍ෂි මෙහෙයවීමට ඔවුන්ට නොහැකි වීම..

එය අපරාධකරුවන්ට පොලිසිය විසින්ම වක්‍රව ලබා දෙන සහයෝගයක්‌ කියලා හැඳින් වුවහොත් වරදක්‌ නැහැ.. අනෙක මේ මාරු කෙරුණු නිලධාරින් පසුගිය කාලයේ කළ මෙහෙයුම් අතරේ රටේ විශාල බලයක්‌ සහිතව ධනවතුන් ලෙස වැජඹුණු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අවස්‌ථාත් තිබුණා..

ඒ ධනවතුන් එහිදී පොලිසිය සමග නඩු කිව්වේ රටේ ඉන්න ඉහළම නීතිඥයන්ගේ සහාය ලබාගෙන. ඉතින් එවන් තත්ත්වයක්‌ තුළ සාක්‍ෂි අඩපණ වෙනවා කියන්නේ එකී ධනවත් අපරාධකරුවන් නීතියෙන් ගැලවී යැම.." අදාළ ස්‌ථාන මාරුකිරීම් සමග මේ වන විට පොලිසිය තුළින්ම එක්‌තරා අපරාධකරුවන් පිරිසකට නීතියෙන් බේරීම සඳහා දැන හෝ නොදැන අවස්‌ථාවක්‌ ලැබී තිබෙන අන්දම පිළිබඳ එසේ අපට යථාර්ථය පැහැදිලි කර සිටියේ පොලිසියේම එක්‌තරා උසස්‌ නිලධාරියෙකි.

එම පොලිස්‌ ප්‍රධානියා කියා සිටි අන්දමට නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින් විසින් ඉකුත් දෙවසරක කාලය තුළ සිදු කළ වැටලීම්වලදී මෙසේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ගිය ප්‍රබලයන් වූයේ කවුරුන්ද?

ඉන් ප්‍රධාන තැනක සිටියේ මෙරට නමගිය කැරොකේ සමාජ ශාලාකරුවකු වන කැරොකේ වසන්තගේ ජාවාරමේ ප්‍රබලයන්ය. ඉකුත් කාලයේ කැරොකේ වසන්ත සතුව තිබූ නීති විරෝධී කැරොකේ සමාජ ශාලා ගණනාවක්‌ වටලා ඒවායෙහි සිටි ගණිකාවන් පවා අත්අඩංගුවට ගනිමින් වසන්තගේ ව්‍යාපාර ජාලයට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට එකී පොලිස්‌ නිලධාරින් අධිෂ්ඨාශීලීව කටයුතු කළේය.

එම මෙහෙයුම් සිදු කෙරුණේද රට පුරා විසිරී සිටින කොල්ලකරුවන්, කප්පම්කරුවන්, කුලී ඝාතකයන් වැනි දරුණු අපරාධකරුවන් අපරාධ මගින් උපයන මුදල් වියදම් කිරීම සඳහා කැරොකේ සමාජ ශාලා භාවිත කරන බවට පොලිසිය තුළින් මතුවූ කතිකාවතකට අනුවය.

මෙම වැටලීම්වලදී කැරොකේ වසන්තගේ කලු සල්ලි ජාලයට ප්‍රහාර එල්ල කෙරුවාක්‌ සේම එම ඒකකයේ පොලිස්‌ නිලධාරින් විසින් නීතියේ දැලට හසු කර ගත් ධනවත් ජාවාරම්කරුවන් තවත් විය.

කොම්පඤ්ඤවීදියේ ප්‍රියන්තගේ කැරොකේ සහ ගණිකා ජාවාරමට පහර දීම දැවැන්ත දේශපාලන සබඳතා සමග රට වැනසූ මෝදර කුඩු ඇන්ටන් අත්අඩංගුවට ගෙන නඩු පවරා මරණීය දණ්‌ඩනය දෙන තැන දක්‌වාම රැගෙන යැම, ගාලු සමන්ගේ පාතාලයට පහර දීම ආදිය ඇතුළු ප්‍රධාන පෙළේ වැටලීම් රාශියක්‌ම ඒ අතර තිබිණ. මෙකී වැටලීම් කෙරුණු අවස්‌ථාවන්හිදී කැරොකේ වසන්ත ඇතුළු අපරාධකරුවන් බේරා ගැනීම සඳහා අප ඉහත කී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින්ට දැඩි ලෙස බලපෑම් කළ බව මෙවර සිදුවූ එම ඒකකයේ ස්‌ථාන මාරුවත් සමග ප්‍රසිද්ධ රහසක්‌ සේ අද කියෑවෙමින් තිබෙන්නේය. එය ඇතැම් විට විවිධ අයුරින් අපරාධකරුවන් පිදූ දොළ පිදේනි හමුවේ සිදු වූවාද විය හැකිය.

එසේ නම් මේ අයුරින් කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරින් මාරු කර හැරීමෙන් ඉදිරියේදී සිදු විය හැක්‌කේ කුමක්‌ද? දෙකක්‌ නැත. කැරොකේ වසන්තගේ සහ කොම්පඤ්ඤවීදියේ ප්‍රියන්තගේ ප්‍රබලයන් පමණක්‌ නොව එම නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව නීතිය හමුවට රැගෙන ගිය බොහෝ අපරාධකරුවන්ට නීතියෙන් බේරීම සඳහා සිදුරු නිර්මාණය වීම අනිවාර්යයෙන්ම සිදු වන්නේය.

ඇතැම් විට තවමත් විභාග වන නඩු කිහිපයක්‌ ඇති මෝදර කුඩු ඇන්ටන්ද ඉන් එකකින් නිදහස්‌ වූ කල එය පෙරට දා ලැබුණු මරණීය දඬුවමට එරෙහිව ඉදිරිපත් කරන අභියාචනයකින් දඬුවමින් බේරී යළි සමාජයට පැමිණ සුපුරුදු ජාවාරමේ යෙදෙනු ඇත.

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අඩපණ වූ අපරාධකරුවන් යළිත් සක්‍රීය වී රට වැනසී යැමය. පොලිස්‌ බලධරයනි, මහජන මිත්‍රශීලී පොලිසියේ වැජඹෙමින් නුඹලා මේ කරන සේවය කෙතරම් අගනේද?

අපූරුය, උත්කෘෂ්ටය, ආශ්වාදජනකය. තවත් කියන්නට සිංහල භාෂාවේ හොඳ හොඳ වචන ඇත. නමුත් පොඩිදරුවන් අතටද මෙය පත්විය හැකි නිසා ඒවා අප කියන්නේ නැත. එහෙත් මේවා දකින කල්හි අපට සිහි වන්නේ "හුලා ඩාන්ස්‌" බව නම් නොකියාම බැරිය.

සමන් ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.