තිස්‌ස අබේසේකරගේ නැන්දණියගේ ඝාතනය හෙළි වූ හැටි
ඊඩා මාග්‍රට්‌ මරාදමා රන් බඩු කොල්ලකෑ ඝාතකයෝ!

කලබලකාරී දිවා කාලය ගෙවී ගොස්‌ වැලිකඩ ප්‍රදේශය අන්ධකාරයෙන් ගිල ගනිමින් තිබුණේය. රාජගිරිය මොරගස්‌මුල්ල ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහඬ බවකි.

ඒ පසුගිය සැප්තැම්බර් 28 වැනිදා රාත්‍රියයි. දිනය නිමා වීමට තවත් ඉතිරිව තිබුණේ හෝරා කිහිපයකි.

වීදි පහන්වලින් ආලෝකමත් වූ පාලු මාවත ඔස්‌සේ ඇවිද යන පුද්ගලයන් දෙදෙනෙකි. වටපිට බලමින් තරමක කලබලයෙන් ගමන් ගත් මේ දෙදෙනා එක්‌තරා නිවසක්‌ අසල එකවරම නතර වුණේය.

නිවස පිssහිටි ඉඩම වටා උසට ඉදිවූ තාප්පයකි. ආගන්තුක පුද්ගලයන් දෙදෙනා බොහොම විමසිල්ලෙන් අවට ප්‍රදේශය පිරික්‌සන්නට වූවෝය. මාර්ගයේ කිසිවකුත් පෙනෙන්නට නැත.

නාඳුනන ආගන්තුකයන් දෙදෙනාගෙන් එකකු තාප්පයට බඩ ගෑවේය. විශාල තාප්පයට ගොඩවූ පුද්ගලයා හොර රහසේම නිවස පිහිටි ඉඩමට පැන්නේය. අනෙකා ද සිය සගයා අනුගමනය කළේය. නිවස දෙසින් කිසිදු හැල හොල්මනක්‌ නැත. ඒ වනවිට නිවසේ විදුලි පහන් කීපයක්‌ දැල්වෙමින් තිබුණේය.

නාඳුනන තරුණයන් දෙදෙනා ගෙවත්තේ විශාල මල්පඳුරකට මුවා වුණේ තම ඉලක්‌කය සපුරා ගැනීමට අවස්‌ථාව එළැඹෙනතුරාය.

"ගෙදර අම්මණ්‌aඩි තාම ඇහැරිලා. ඒ මනුස්‌සය නිදාගන්න කල් ටිකක්‌ වෙලා ඉන්න වෙයි."

වත්තට ඇතුළු වූ තරුණයන් දෙදෙනාගෙන් එකකු අනෙකාගේ කනට කෙඳිරුවේය. පැයකට ආසන්න කාලයක්‌ ඔවුන්ට ගෙවත්තේ නිසොල්මනේ සිටින්නට සිදු විය.

ඒ මහලු කාන්තාව නින්දට යනතුරුය. නාඳුනන තරුණයන් මහා අපරාධයකට අරඅදිමින් සිටිනා බව කිසිවකුත් දැන සිටියේ නැත.

මහලු කාන්තාව දෛනික කටයුතු හමාර කර නිවසේ විදුලි පහන් එකින් එක නිවා දමා නින්දට යැමට සූදානම් වූවාය.

"දැන් අපේ වෙලාව. හෙමිහිට අපේ වැඩේ පටන් ගමු."

නාඳුනන තරුණයන් දෙදෙනා අඳුරේම නිවස දෙසට ගමන් කරන්නට වූවෝය. නිවසේ එක්‌ කාමරයක ජනේලයක්‌ විවෘතව තිබුණේය. එක්‌ තරුණයකු විවෘතව තිබූ ජනේලයෙන් නිවසට හිස යොමා විපරම් කළේය. මොහොතකින් ඔහු ඒ ජනේලයෙන් ගෙතුලට පැන ගත්තේය. අනෙකා ද සිය සගයා පසුපස නිවසට ඇතුළු වූවේය.

නිවස පුරා පැතිර තිබුණේ කෑලි කැපිය හැකි තරමේ ඝන අන්ධකාරයකි. එක්‌ තරුණයකු අත විදුලි පන්දමකි. එහි ආලෝකයෙන් ඔවුහු නිවස පිරික්‌සන්නට වූහ. ඒ වනවිට නිවෙසේ සිටි වයෝවෘධ කාන්තාව නින්දට ගොස්‌ සිටියාය.

නාඳුනන තරුණයන් දෙදෙනා නිවසේ බඩු බාහිරාදිය අවුස්‌සමින් වටිනා දේ එකතු කරන්නට පටන් ගත්තේය. මහලු කාන්තාව නිදා සිටි කාමරයේ විදුලි බුබුළක්‌ දැල්වෙමින් තිබුණේය. නිවස තුළ ඇසුණු කිසියම් ශබ්දයකින් ඇය එකවරම අවදි වූවාය.

නාඳුනන තරුණයන් දෙදෙනා දැකීමෙන් ඇය දැඩි සේ බියට පත් වූවාය. ඇය නොනවත්වාම විලාප නගන්නට වූවාය. "මේ ගෑනිගේ කට වහපන්. නැත්නම් අහල පහළ උන් එන්න පුළුවන්."

එක්‌ තරුණයකු අනෙකාට කීවේය. ඔවුන් මේ නිවසට පැමිණ සිටියේ තමන්ට අවශ්‍ය කරන සියලු කළමනා සූදානම් කරගෙනය. ලණු කැරලි කීපයක්‌, ගම්ටේප් පටියක්‌, රෙදි පාන්කඩ කීපයක්‌ ඔවුන් සතු විය.

එකකු මහලු කාන්තාව වෙත පැන ඇය සිය ග්‍රහණයට ගත්තේය. වහාම ක්‍රියාත්මක වූ අනෙකා ඇගේ මුවට පාන්කඩ කීපයක්‌ ඔබා ගම් ටේප් පටියකින් ඇලෙව්වේය.

දැන් ඇයට කෑගැසීමට තබා හුස්‌මගැනීමටවත් බැරිය. අසරණ වූ මහලු මව ජීවිතය යදින්නට වූවාය. එහෙත් ඒ නරුමයන්ගෙන් ඇයට කිසිදු අනුකම්පාවක්‌ ලැබුණේ නැත.

මහලු මවගේ ගෙල දැඩි ලෙස සිර කරගෙන ඇය දුර්වල කිරීම ඒ තිරිසනුන්ගේ අරමුණ විය. ජීවිතය බේරා ගැනීමට විශාල සටනක්‌ කළ ද අවසානයේ ඇය පරාජය වූවාය. මහලු මවගේ නිසල සිරුර ඇඳ මත දැමූ ඒ නරුමයන් දෙදෙනා නැවතත් සිය කාර්යයට අත ගැසූහ.

"මේ අම්මණ්‌ඩිගේ මනුස්‌සය ගෙදර ඉන්නවා. මිනිහවත් ඉවරයක්‌ කරලා දාමු. එතකොට වැඩේ ලේසියි."

වටිනා දේ සොයමින් සිටි එකකු අනෙකාට කීවේය. එහෙත් එදින නිවසේ සිටියේ වයෝවෘධ කාන්තාව පමණි. ඇගේ සැමියා හදිසි අවශ්‍යතාවක්‌ සඳහා නිවසින් බැහැරව සිටියේය. එසේ නොවන්නට ඔහුට අත්විඳින්නට සිදුවන්නේ ද සිය බිරිඳට අත්වූ බිහිසුණු ඉරණමය.

මහලු මව ඉතාම සාහසික අන්දමින් ඝාතනය කළ ඒ සාහසිකයන් දෙදෙනා නිවසේ තිබූ රන්, රිදී, මුදල් සහ තවත් වටිනා දේ එකතු කරගත්හ. මහලු මවගේ සැමියාට තෑගි ලැබී තිබූ ඉස්‌තරම් වර්ගයේ විස්‌කි බෝතල් හතරක්‌ ද ඔවුන් සොරා ගත්තේය.

පැය තුනකට ආසන්න කාලයක්‌ නිවස අනෙක්‌ පැත්ත පෙරළමින් වටිනා දේ සොරාගත් තරුණයන් දෙදෙනා රාත්‍රි 11.00 ට පමණ පිටව

ගියහ.මහලු මවගේ වැඩිමහල් දියණිය පදිංචිව සිටින්නේ මේ නිවසට නුදුරින් පිහිටි වෙනත් නිවසකය. දිනපතාම උදෑසන තම මවට දුරකථනයෙන් කතා කිරීමට ඇය පුරුදුව සිටියාය.

සැප්තැම්බර් 29 වැනිදා උදෑසන ද ඇය සුපුරුදු ලෙස සිය මවට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නාය. එහෙත් මවගෙන් ඊට ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත. කිහිපවිටක්‌ම මවගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්ත ද පලක්‌ නොවීය. කලබලයට පත් වූ දියණිය වහ වහා සිය මවගේ නිවසට දිව ආවාය.

නිවසේ ප්‍රධාන දොර ඇර දමා තිsබිණි. දියණිය කලබලයෙන් කාමරයට දිව ගියාය. මහලු මව සයනයේ උඩුබැලි අතට වැටී සිටියාය. තම මහලු මව අවසන් ගමන් ගොස්‌ සිටිනු දුටු දියණිය විලාප නගන්නට වූවාය.

වැලිකඩ මොරගස්‌මුල්ලේ පදිංචි 84 හැවිරිදි ඊඩා මාග්‍රට්‌ කුමාරි ප්‍රනාන්දු අබිරහස්‌ අන්දමින් ඝාතනය කළ පුවත මහත් ආන්දොaලනාත්මක එකක්‌ බවට පත්වන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත.

ඊට වඩාත්ම හේතුව වූයේ ඝාතනයට ලක්‌ වූ ඊඩා මාග්‍රට්‌ මහත්මිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුව සිටි තිස්‌ස අබේසේකරගේ නැන්දණිය වීමය. තිස්‌ස අබේසේකරගේ බිරිඳගේ මෑණියන්a ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වහාම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළේය.

පොලිසිය ඊඩා මාග්‍රට්‌ මහත්මියගේ නිවස දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළ ද කිසිදු වැදගත් සාක්‍ෂියක්‌ සොයාගැනීමට හැකි නොවීය. ඒ තරමටම ඝාතකයන් සූක්‍ෂම වූ බවක්‌ පෙනෙන්නට තිබිණි. ඊඩා ඝාතනය කර ඔවුහු රුපියල් විසි ලක්‍ෂයක්‌ පමණ වටිනා දේ කොල්ලකාගෙන ගොස්‌ සිටියහ.

ඊඩා මාග්‍රට්‌ මහත්මිය විශ්‍රාමික හෙද නිලධාරිනියක වූවාය. ඇයට දරුවන් නව දෙනෙකි. තිස්‌ස අබේසේකර විවාහ වී සිටියේ වැඩිමහල් දියණිය සමඟය. ඇගේ දරුවන්ගෙන් වැඩි දෙනෙක්‌ සිටියේ විදේශගතවය. ඊඩා මාග්‍රට්‌ සිය ආදරණීය සැමියා ද සමග මොරගස්‌මුල්ලේ පිහිටි නිවසේ හුදකලා ජීවිතයක්‌ ගත කළාය.

වැලිකඩ පොලිසිය දිගින් දිගටම මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වුව ද ඝාතකයන් පිළිබඳව නිවැරැදි හෝඩුවාවක්‌ සොයා ගන්නට ඉඩ ලැබුණේ නැත. ඊඩා මාග්‍රට්‌ගේ දරුවන් ද ඒ පිළිබඳව සිටියේ තරමක නොසතුටකින් ය.

මේ අබිරහස්‌ ඝාතනය පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ කරන ලෙස බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගෙන් ඉල්ලීමක්‌ කෙරෙන්නේ ඔය අතරතුරදීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ අබිරහස්‌ ඝාතනයේ සුලමුල සෙවීමේ කාර්යයට අත ගසන්නේ ඉන්පසුවය.

ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිමල් කරුණාරත්න, උපපොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පෙරේරා, සැරයන් (28415) ශාන්ත ලක්‍ෂ්මන් ඇතුළු නිලධාරීන් මේ භාරදූර කාර්යයට අත ගසන්නේය.

පොලිස්‌ කණ්‌ඩායම ඊඩා මාග්‍රට්‌ගේ නිවස සහ ඒ අවට ප්‍රදේශය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළේය. ඝාතනය සිදුවූ නිවසින් වැදගත් යමක්‌ සොයා ගැනීමට නොහැකි වුව ද යාබද නිවසින් ඉතාම වැදගත් සාක්‍ෂියක්‌ පොලිස්‌ නිලධාරීන් සොයා ගත්තේය.

යාබද නිවසේ විශාල තාප්පයේ සවි කර තිබූ සී සී. ටී. වී කැමරවේ වැදගත් සාක්‍ෂියක්‌ සටහන් වී තිබිණි. ඊඩා මාග්‍රට්‌ ඝාතනය කළ දින රාත්‍රි 7.00 ට පමණ තරුණයන් දෙදෙනෙක්‌ ඇගේ නිවසේ තාප්පයෙන් පැන එහි ඇතුළු වන අයුරු වීඩියෝ පටවල සටහන් වී තිබිණි.

පැය තුනකට ආසන්න කාලයක්‌ ගිය පසු එම තරුණයන් දෙදෙනා නැවතත් තාප්පයෙන් බිමට පැන පලා යන අයුරු ද වීඩියෝ කැමරාවේ සටහන්ව තිබුණේ පොලිස්‌ නිලධාරීන් දැඩි ලෙස සතුටට පත් කරමින්ය.

එහෙත් ඒ සතුට පොලිස්‌ නිලධාරීන්ට වැඩි වේලාවක්‌ භුක්‌ති විඳීමට ලැබුණේ නැත. නිවසේ තාප්පයෙන් පනින තරුණයන් දෙදෙනාගේ මුහුණු කෙසේවත් හඳුනා ගැනීමට නොහැකි වීම පරීක්‍ෂණ කටයුතු නැවතත් අවුල් කිරීමට සමත් විය.

වීඩියෝ පටයේ සටහන් ව තිබූ මේ පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගත්තද එය ගඟට කැපූ ඉනිමෙන් විය. ඊඩා මාග්‍රට්‌ ඝාතනය සොයා පොලිසිය වෙනත් මාර්ග ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වන්නට වූහ. ඊඩා මාග්‍රට්‌ගේ ඥතීන්ගෙන් තොරතුරු රැස්‌ කරන්නට පොලිසිය පියවර ගත්තේ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීම සඳහාය.

"එක මනුස්‌සයෙක්‌ එනවා අම්මගෙ ගෙදර පොඩි පොඩි වැඩපොළ කරලා දෙන්න. ඔය මනුස්‌සය ගැන අපට පොඩි සැකයක්‌ තියෙනවා."

ඊඩා මාග්‍රට්‌ගේ ඥතීන් ලබා දුන් තොරතුරු පිළිබඳව සොයා බලන්නට පොලිසිය වහාම පියවර ගත්තේ ඒ ඔස්‌සේ ගොස්‌ කිසියම් ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට ය.

ඊඩා මාග්‍රට්‌ගේ නිවසේ සුළු සුළු වැඩ කිරීමට ඉඳහිට පැමිණෙන මේ පුද්ගලයා සම්පත් බව පොලිසිය සොයා ගත්තේය. නිවස ශුද්ධ පවිත්‍ර කිරීම, කොස්‌ කඩාදීම, වත්ත ශුද්ධ කිරීම වැනි දේ කරදී සම්පත් කුලියක්‌ ලබා ගත්තේය.

සම්පත් නමැති පුද්ගයා කාගේ කවුදැයි ඔහු කොහේ සිටින්නේදැයි පොලිසිය සොයන්නට පටන් ගත්තේය. වැඩි දවසක්‌ යන්නට පෙර සම්පත් පිළිබඳව සියලු තොරතුරු හෙළි කර ගැනීමට පොලිසියට හැකි විය.

සම්පත් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූවේය. මොහු කලක්‌ පොලිස්‌ කොස්‌තාපල්වරයකුව සිට සේවයෙන් පහ කළ අයෙකි. පොලිස්‌ කොස්‌තාපල්වරයකු ලෙස පරිවාස කාලය ගෙවා දමද්දී හොර රහසේම විවාහ වීම මොහු පොලිස්‌ සේවයෙන් ඉවත් කිරීමට හේතු වී තිබිණි.

සම්පත් වලාන දූෂණ මර්දන ඒකකයේ කාලයක්‌ රාජකාරි කළ නිලධාරියකු බවද සොයා ගත්තේය. පොලිස්‌ සේවයෙන් ඉවත් කිරීමෙන් පසු මොහු විවිධ කුලී වැඩ කරමින් ජීවිතය ගැට ගසා ගත්තේය. මේසන්බාස්‌ කෙනකුගේ අත් උදව්කරුවකු ලෙස සේවය කළ සම්පත් ඊඩා මාග්‍රට්‌ගේ නිවස ආසන්නයේ නිවසක්‌ ඉදිකිරීම සඳහා පැමිණ සිටියේ මීට මාස කීපයකට උඩදීය. ඒ සිටින අතරතුර
ඔහු ඊඩාගේ නිවසේ සුළු රාජකාරි කරදී අමතර වැටුපක්‌ ලබා ගත්තේය.

"ඔය සම්පත් කියන මිනිහ මේ මරණය ගැන මොනව හරි දන්නව ඇති. ඒ නිසා මිනිහට නොදැනෙන්න මිනිහගෙ හැසිරීම හොයලා බලන්න."

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගෙන් සිය නිලධාරීන්ට උපදෙස්‌ ලැබුණේය. ඒ උපදෙස්‌ අනුව පරීක්‍ෂණ ඉදිරියට පවත්වාගෙන ගිය නිමල් කරුණාරත්න ඇතුළු නිලධාරීන් සම්පත් පසුපස ලුහුබඳින්නට පටන් ගත්තේය.

වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සම්පත්ගේ ගාල්ලේ පිහිටි නිවස ආසන්නයේ රැකවල්ලා ගෙන ඔහුගේ දින චර්යාවන් සොයන්නට වූහ. පසුගිය කාලයේ දැඩි ආර්ථික අපහසුතාවන්ගෙන් හෙම්බත් වී සිටි සම්පත් ටික කාලයක සිට කිසියම් වත්පොහොසත්කම් ඇත්තකු ලෙස හැසිරෙන බව සොයා ගැනීමට පොලිසිය සමත් වුණේය. ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය සම්පත් අත්අඩංගුවට ගත්තේ ඉන්පසුවය.

පොලිස්‌ නිලධාරීන්ගේ සැකය තහවුරු කරන්නට වැඩි කාලයක්‌ ගත වුණේ නැත. ප්‍රශ්න කිරීම් හමුවේ සම්පත් සියලු දේ එකින් එක හෙළිකරන්නට පටන් ගත්තේ තවදුරටත් මේ අබිරහස යටපත් කරගෙන සිටිය නොහැකි බව තේරුම් ගත් නිසාය.

"සර් මම මගේ හොඳම යාළුව පුබුදු එක්‌ක එකතුවෙලා මේ වැඩේ කළේ. හොරකම් කරපු සේරම අපි දෙකට බෙදා ගත්තා. සම්පත් ලබා දුන් තොරතුරු මත ඔහුගේ සමීපතම මිතුරා වූ පුබුදු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලා ගිය සෙබළකු වූ පුබුදු අවිවාහකයෙකි. මූල්‍ය ගැටලුවලින් හෙම්බත් වී සිටි පුබුදු මේ අපරාධයට සම්බන්ධ වූ බව අනාවරණය විය.

මේ අපරාධය සිදු කළ ආකාරය සම්පත් හෙළි කරන්නට වූයේ ඉන් අනතුරුවය.

"ඊඩා නෝනා හරි හොඳ කෙනෙක්‌. ඒ නෝනව මම අඳුනා ගත්තේ මේ ළඟ ගෙයක්‌ හදන්න ආව වෙලාවෙ.

පසුගිය දවසක මම ලොකු බාස්‌ හම්බ වෙන්න එහෙම ආවා. වැඩ කරපු දවස්‌ කීපයක සල්ලි ඉල්ලා ගන්න. එදා එයා මට සල්ලි දුන්නේ නැහැ.

මම ඒ වෙලාවේ ඊඩා නෝනලගෙ දිහා ගියා. එදා හොඳටම රෑවෙලා නිසා මට ආපසු ගමට යන්න විදිහක්‌ තිබුණේ නැහැ. මම ඊඩා නෝනට කිව්වා එදා නවතින්න දෙන්න කියලා. නෝනත් මාව නතර කර ගත්තා.

ගෙයි ඉස්‌තෝප්පුවෙ ලොකු සැටියේ මම නිදාගත්තෙ. එදා තමයි මම ප්ලෑන් කළේ ඊඩා නෝනගේ ගේ කොල්ල කන්න ඕනෙ කියලා. නෝනා ළඟ සල්ලි ගොඩක්‌ තියෙනව කියලා මම දැනගත්තේ එදා තමයි.

ගේ කොල්ල කන්න ප්ලෑන් කරගෙන මම ගමට ගියා. මේ වැඩේ තනියම කරන්න බැරි නිසා පුබුදුවත් මේකට හවුල් කරගත්තා."

ඊඩා මාග්‍රට්‌ අබිරහස්‌

අන්දමින් ඝාතනය

කිරීමේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු ඒ වනවිට හෙළිදරව් වී තිබිණි. ඊඩා මාග්‍රට්‌ගෙන් සොරාගත් රන් මාලයකින් සම්පත් කර සරසාගෙන සිටියේය.සොරාගන්නා ලද සුදු රත්‍රං මාල, රන් මාල, ඇතුළු වටිනා දේපළවලින් කොටසක්‌ද පොලිසිය සොයා ගත්තේය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුව සිටි තිස්‌ස අබේසේකරගේ නැන්දණිය

අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දොaලනයට ලක්‌වූ සිදුවීමක්‌ විය. එහෙත් වැඩිකාලයක්‌ ගත වීමට පෙර ඒ අපරාධය කළ උන් නීතියේ රැහැනට නතු කර ගැනීමට හැකිවූයේ මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ

නිලධාරීන්ගේ දක්‍ෂතාව නිසාය.

එසේ නොවන්නට ඊඩා මාග්‍රට්‌ගේ මරණය ද තවත් එක්‌ අබිරහස්‌ ඝාතනයක්‌ ලෙස ඉතිහාසයට එක්‌වීමට ඉඩ තිබිණි.a

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.