විජේවීර දංගෙඩියට යෑවූ
රුපියල් හත් ලක්‌ෂයේ ඔත්තුව

විජේවීර ගැන සමාන්තර කතාව
එස්‌. ඒ. වික්‍රමසිංහගේ අතින්
පීටර් කෙනමන් අතට ගිය දරුවා
....

1988 මැයි මස 20 වැනිදා රෝහණ විජේවීරගේ බාල දරුවා මෙළොවට බිහි වන්නේය. ඔහු ඒ පවුලේ එකම පිරිමි දරුවාද වෙයි. ඔහු උපන් බදුල්ලේ රෝහලේ පොත්වල ලියාපදිංචි කරන ලද පරිදි දරුවාගේ නම අත්තනායක මුදියන්සේලාගේ උවිඳු විදුරය. කොතරම් භෞතිකවාදී මාක්‌ස්‌වාදියකු වුවද විජේවීර සම්ප්‍රදායික සහ හැඟීම්බර පියෙකි.

රෝහණ විජේවීර අද ජිවත්ව සිටියේනම් වයස අවුරුදු 70කි. ඔහු මරාදමා මේ නොවැම්බර් 13වැනිදාට වසර 25කි මෙම ලිපිපෙළ ඔහුගේ ජිවිතයේ දුෂ්කරතම අවසන් දෙවසර පිළිබඳ කතාවය.

ජනතා විමුක්‌ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ නැගී සිටීමේ අවසන් වසර දෙකේදී විජේවීර නිතර රෝගී විය. කොඳු ඇට පෙළෙහි වේදනාව, වාත, අර්ශස්‌, නිරන්තර පපුවේ අමාරු ආදිය ඔහුට වධ දුන්නේය. ඔහුගේ හිස පැළෙන්නට තරම් රිදුම් දුන්නේය. ඒ වන විට හතළිස්‌ හතර වන විය පසු කරමින් සිටි ඔහු යල් පැන ගිය වේදනා නාශක සහ ප්‍රතිජීවක මත යෑපෙමින් දුෂ්කර ජීවිතයක්‌ ගත කළේය. ඔහු ඉතා සුළු දෙයටත් කලබල විය. මේ වන විට විජේවීර සහ පවුලේ අයට පදිංචි වීම සඳහා ජ.වි.පෙ. මගින් සපයා තිබුණේ හල්දුම්මුල්ලේ වලහපුතැන්නේ ගලත්තහේන නමැති ගමේ පිහිටි ආනන්ද විද්‍යාලය ඉදිරිපිට වූ නිවසකි. 1984 දී පéයේ සාමාජිකයකු වූ බැංකු නිලධාරියකු විසින් රුපියල් 13,5000 ක්‌ ගෙවා මේ නිවස නායකයා වෙනුවෙන් මිලට ගත්තේය. මේ නිවසේදී ඔහු ජීවත් වූයේ අංශ භාග රෝගයට බෙහෙත් ගනිමින් සිටින බේබදු මැණික්‌ මුදලාලි කෙනකු ලෙසිනි. ඉදිරි තුන් අවුරුද්දම මේ භූමිකාවෙහි නියෑලෙමින් 1987 වන විට ක්‍රමානුකූල ලෙස සමාජ ගතවීම ඔහුගේ ඉලක්‌කය විය.

මේ අනුව 1984 දී තංගල්ලේ පිහිටි සිය මහ ගෙදරට පණිවුඩයක්‌ යෑවූ විජේවීර එහි තිබූ ලී බඩු සියල්ල හල්දුම්මුල්ලට ගෙන්වා ගත්තේය. මේ කාලයේදී ඔහුගේ පවුලේ කිට්‌ටු සාමාජිකයෙකු ලෙස පෙනී සිටි නුවරඑළිය රෝහලේ සහකාර වෛද්‍යවරයකු වූ දොස්‌තර අයි. ආර්. එච්. එම්. ජයතිලක ඔහුට මහත්සේ උපකාර කළේය. ජයතිලකගේ බිරිඳ ශ්‍රී ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සේවය කළ තැනැත්තියකිs. විජේවීරගේ උපදෙස්‌ මත ඔහුගේ බිරිඳ වූ චිත්‍රාංගනීගේ දිගු කෙස්‌ වැටිය කපා දැමූ ජයතිලක මහත්මිය එය කදිම කෙටි කොණ්‌ඩයක විලාසිතාවකට සකස්‌ කළාය. ඒ වන විටත් චිත්‍රාංගනී විජේවීරට ආහාර පිසීමේ හැකියාව තිබුණේ නැත. ගැහැනිය ආහාර පිසිය යුතුය යන සාම්ප්‍රදායික චින්තනය බැහැර කළ විජේවීර ඇගේ නොහැකියාව සම්බන්ධයෙන් කිසිත් කීවේද නැත. මේ අනුව විජේවීරගේ පවුලේ ඉවුම් පිහුම් කටයුතු සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ කාන්තා අංශයේ නායක සහෝදරියක සම්බන්ධ කිරීමට උපතිස්‌ස ගමනායකට සිදු විය. තවත් ජ.වි.පෙ. සාමාජිකාවක්‌ද ඔවුනට එක්‌ වූවාය. කාලය ක්‍රමයෙන් ඉක්‌ම යද්දී උපතිස්‌ස ගමනායක නිතර නිතර විජේවීර හමුවීමට පැමිණ ඔහු සමග ගමන් ගියේය. ඒ පක්‍ෂයේ රහසිගත රැස්‌වීම් සඳහාය. විජේවීරගේ ගෙදර මෝටර් රියක්‌ නොවීය. එසේම ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ (ඡදකසඑඉමරුaම) කිසිදු සාමාජිකයකු හල්දුම්මුල්ලේ නිවසට ආවේද නැත. ගමනායක සමග නික්‌ම ගිය බොහෝ අවස්‌ථාවලදී විජේවීර දින දෙක තුනක්‌ නිවසින් ඈත්ව සිටියේය. තමන් යන තැනක්‌ ගැන සිය බිරියට හෝ නිවසේ සෙස්‌සන්ට කිසිත් නොකී විජේවීර කිසි විටෙකත් තමන් ආපසු එන දවස ගැන සඳහන් කළේද නැත.

මේ වන විට විජේවීර පවුල අත්තනායක පවුල හැටියට ආණ්‌ඩුවේ රෙජිස්‌ට්‍රර් වී අවසන්ය. 1984 ජූලි 24 වැනිදා විජේවීර චිත්‍රාංගනී යුවළගේ තුන්වැනි දියණිය වූ අත්තනායක මුදියන්සේලාගේ මායා අත්තනායක උපත ලබන්නීය. තම අලුත් නම්වලින් අමතනු ලැබීමට විජේවීර පවුල ඉතා ඉක්‌මණින් පුරුදු විය. විශේෂයෙන් එම පවුලේ කුඩා දරුවන්ට නම් මාරු කිරීම ගැන කිසිදු වැටහීමක්‌ නොවූ බැවින් අලුතින් දැමූ නම්වලට ඔවුහු අවනත වූහ. සියලු සමාජ සම්බන්ධතා, නම් මාරු කිරීම්, බේබදු මැණික්‌ මුදලාලිගේ භූමිකාව යන කරුණුවලට සමගාමීව විජේවීර උනන්දු වූ තවත් වැදගත් කාරණයක්‌ වූයේ තමාගේත් තම පවුලේත් ආරක්‍ෂාවය. 1985 දී චිත්‍රාංගනීගේ සහෝදරයකු වූ සරත් ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ සිට පැමිණියේය. ඔහු බැලීමට යැමට අවශ්‍ය බව චිත්‍රාංගනී පැවසූ විට එයට ඉඩ නොදුන් විජේවීර කියා සිටියේ පක්‍ෂයෙන් එවැනි අනාරක්‍ෂිත පියවරකට අවසර දී නැති බවය. මේ අතර විජේවීරගේ දරුවකුට අපස්‌මාර රෝග තත්ත්වයක්‌ ඇති විය. චිත්‍රාංගනී සිය සහෝදරයකු වූ දොස්‌තර චන්ද්‍රd ප්‍රනාන්දු වෙත දරුවා ගෙන යමු යෑයි යෝජනා කළාය. එහෙත් පක්‍ෂය ඒ සඳහා අවශ්‍ය නිදහස තමාට ලබා දී නැති බව විජේවීර කීවේය.

1986 ජනවාරි මාසයේදී විජේවීරගේ වැඩිමහල් දියණියන් දෙදෙනා වූ දීපානි ශ්‍යාමලී සහ සුරනි විදේශ වල්හපුතැන්නේ මහා විද්‍යාලයට ඇතුළත් කරන ලදී. දරුවන් පාසලට ඇතුළත් කිරීම සඳහා අත්තනායක මුදියන්සේලාගේ යන පෙළපත් නාමය සහිත ව්‍යාජ උප්පැන්න සහතික දෙකක්‌ අවශ්‍ය විය.

"දැන් මොකද කරන්නේ...?" ගමනායක පැමිණි විටෙක විජේවීර විමසීය." පටබැඳිගේ විජේවීර පෙළපත් නාම එක්‌ක තියන උප්පැන්න දුන්නොත් අපිව අහුවෙන්න පුළුවන්. ඊටත් ඒ උප්පැන්න දැන් ඇත්තෙත් නැහැ. ඒ උප්පැන්නවල පිටපත් ගන්න ගියොත් අර්බුදයක්‌ ඇතිවේවි..."

"සහෝදරයා ඒ ගැන හිතන්න එපා..." එසේ කියූ උපතිස්‌ස ගමනායක දෙදිනක්‌ තුළ උප්පැන්න සහතික දෙකක්‌ රැගෙන ආවේය. දරුවන්ගේ නම් වලට අත්තනායක මුදියන්සේලාගේ පෙළපත් නාමය යොදා සාදන ලද එම ලේඛන ව්‍යාජ ඒවා බව විජේවීර හඳුනාගත් නමුත් ඔහු ඒ ගැන ගමනායකගෙන් කිසිත් ඇසුවේ නැත. ගමනායකද ඒ ගැන විජේවීරට කිසිත් කීවේ නැත.

කාලය ක්‍රමයෙන් ගත විය. නැවත වරක්‌ සමාජ ගතවීමේ ක්‍රියාවලිය සඳහා විජේවීර පවුල අවස්‌ථා කිහිපයකදීම කොළඹ ගමන්වල නිරත විය. මේ වකවානුවේදී විජේවීර පෙනී සිටියේ අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමල්සිරි ලෙසය. සමරකෝන් ආරච්චිලාගේ ශ්‍රියානි චන්දිමා ලෙස චිත්‍රාංගනී පෙනි සිටියාය. ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පත්, උප්පැන්න සහතික යනාදිය ඔවුන් අත විය. කොළඹ ගිය ගමන්වලදී ඔවුන්ගේ වාහනය පරීක්‍ෂා කළ පොලිස්‌ සහ හමුදා මුරපළවල සිටි නිලධාරිහු මෙම හැඳුනුම්පත් සත්‍ය ඒවා ලෙස පිළිගත්හ. වරක්‌ අපස්‌මාර රෝගය සහිත දරුවා පෙන්වීම සඳහා විජේවීර සහ බිරිය කොළඹ සෙන්ට්‍රල් රෝහලට ගියහ. දරුවා පරීක්‍ෂා කළේ සුප්‍රකට ස්‌නායු ශල්‍ය වෛද්‍ය කොලීන් සමරසිංහ විසිනි. 1987 දී චිත්‍රාංගනී සිය සිවුවැනි දියණිය වූ ඇනා සශ්‍රී ප්‍රසූත කළාය. සිය බිරිය හා දරුවන් හොඳම වෛද්‍යවරුන්ට පෙන්වුවද තමන්ට තිබූ රෝග තත්ත්වයක්‌ ගැන කිසිදු වෛද්‍යවරයකුට විජේවීර කී බවට වාර්තා නැත. ඔහු ජ.වි.පෙ. ට සම්බන්ධ වෛද්‍යවරුන් හරහා උපතිස්‌ස ගමනායක ගෙනා වේදනා නාශක හා ප්‍රතිජීවක හැර වෙන කිසිවක්‌ පාවිච්චි කළ බවටද සාක්‍ෂි නැත.

විජේවීරගේ නිවසට අල්ලපු වත්තේ සිටියේ සිරිවර්ධන පවුලේ උදවියය. අත්තනායකලා (විජේවීර) සහ සිරිවර්ධනලා අතර එතරම් සම්බන්ධයක්‌ තිබුණේ නැත. 1987 දවසක සිරිවර්ධනගේ ගෙට හොරු පැන්නාහ. ඒ ගැන කෙරුණු පැමිණිල්ලට අනුව පැමිණි හල්දුම්මුල්ලේ පොලිසිය අල්ලපුගෙදර සිටි අත්තනායක (විජේවීර) මහත්මියගෙන් ප්‍රශ්න කර ඇගේ සැමියා ගැන විමසීය. මේ වෙලාවේදී විජේවීර ගෙදර නොසිටි නමුත් පසුව සිද්ධිය දැනගත් විට මහත්සේ කලබල විය. එම කම්පනය උපතිස්‌ස ගමනායක හරහා සෝමවංශ අමරසිංහ වෙත ගියේය. අමරසිංහ හා එක්‌වූ විජේවීරගේ හිතවත්තු ඔහු ඇතුළු පවුලේ අයගේ පදිංචියට බණ්‌ඩාරවෙල නෙළුවේ පිහිටි ලීවගොඩවත්ත නමැති අක්‌කර 13 ක වත්තක්‌ සහ බංගලාව මිලට ගත්හ. මෙය මැණික්‌ මුදලාලි කෙනෙකුට අයත් දේපළකි. මුදලාලි ඉඩම වික්‌කේ අක්‌කරය රුපියල් ලක්‍ෂය බැගින් රුපියල් දහතුන් ලක්‍ෂයකටය. එහෙත් එවැනි මුදලක්‌ සඳහා ඔප්පුවට ඇලවිය යුතු මුද්දරවලට ලොකු ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නිසා කවුරුත් කරන පරිදි නාමික අඩුමිලක්‌a ඔප්පුවෙහි සඳහන් කිරීමට පක්‍ෂය යොමු විය. ඒ අනුව ඉඩමේ නාමික මිල රුපියල් 3,75,000 ක්‌ ලෙස දමන ලදී. මෙතැන් සිට ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලය මසකට දෙවරක්‌ වතු බංගලාවේ රැස්‌විය. එම මණ්‌ඩලයේ සාමාජික සංඛ්‍යාව 12 කි.

1988 මැයි මස 20 වැනිදා රෝහණ විජේවීරගේ බාල දරුවා මෙළොවට බිහි වන්නේය. ඔහු ඒ පවුලේ එකම පිරිමි දරුවාද වෙයි. ඔහු උපන් බදුල්ලේ රෝහලේ පොත්වල ලියාපදිංචි කරන ලද පරිදි දරුවාගේ නම අත්තනායක මුදියන්සේලාගේ උවිඳු විදුරය. කොතරම් භෞතිකවාදී මාක්‌ස්‌වාදියකු වුවද විජේවීර සම්ප්‍රදායික සහ හැඟීම්බර පියෙකි. ඔහු පිරිමි දරුවකුට මහත් සේ ආසා කළේය. තම දරුවන්ගේ උපන් දිනය සඳහා නොවැරදීම කුඩා සරල සාදයක්‌ සංවිධානය කළ විජේවීර පක්‍ෂයේ හිතවතුන් කැඳවා සතුටු විය. දරුවන් සහ බිරිය සමග සැමරුම් ඡායාරූපයක්‌ද ගත්තේය. මේ සාද හැම විටම මත්පැන් සහ දුම්වැටි නැති සිසිල් බීම පමණක්‌ පිරිනමන සාද විය.

මේ අතර 1987 ජුලි මාසයේ 29 වැනිදා මේ රටේ දේaශප්‍රේමී කොටස්‌ සහ ජ.වි.පෙ. සාමාජිකයන්ගේ බලවත් විරෝධය මැද ජේ. ආර්. ජයවර්ධන සහ රජිව් ගාන්ධි විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. ඒ වකවානුව තුළ ගමනායක සහ විජේවීර ඉන්දු ලංකා ගිවිසුමට එල්ල වූ ජනතා විරෝධය පිළිබඳ තක්‌සේරුවක්‌ ලබාගැනීම සඳහා රටපුරා සංචාරය කළේය. දිනක්‌ ඔහු නැති අතර ලීවගොඩ වත්තට පොලිසිය පැන්නේය.

ලබන සතියේ තවත් කොටසක්‌
* අනුර සොලමන්ස්‌, මනෝඡ් අබයදීර









 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.