රුපියල් කෝටි දහයක්‌ සමඟ
අතුරුදන් වූ පාර්ලිමේන්තුවේ 'සක්‌විතිගේ' කතාව


* පාර්ලිමේන්තු සේවකයින් 750 ක්‌ ගොනාට
අන්දවා සුබසාධක භාණ්‌ඩාගාරික පැන ගිහින්

අප මෙතෙක්‌ කලක්‌ සිතා සිටියේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බවට කළු පැල්ලම් ඇති කරන්නේ මන්ත්‍රීවරුන් පමණක්‌ කියාය. ඒ සිතිවිල්ල වැරදිය. අද වන විට පාර්ලිමේන්තුවේ සේවය කරන ඇතැම් ඉහළ නිලධාරීන්ද තම බඩ වියත රැකදෙන ආයතනයේ උත්තරීතර බවට කැලැල් ඇති කරන්නට කටයුතු කරමින් සිටී.

අප මේ සූදානම් වන්නේ පාර්ලිමේන්තු සේවකයන්ගේ රුපියල් කෝටි දහයක්‌ වංචා කළ එවන් නිලධාරියෙක්‌ සහ ඔහුට ආධාර අනුබල දෙන ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකු ගැන අනාවරණය කිරීමටය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ සකසුරුවම් සමිතිය මීට වසර පහළොවකට පමණ පෙර පිහිටුවා ගත්තකි. සමිතියට ව්‍යවස්‌ථාවක්‌ ඇති අතර සභාපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාය. උප සභාපති ලෙස විටෙක නියෝජ්‍ය මහලේකම්වරයාත්, තවත් විටෙක වේත්‍රධාරිවරයාත් කටයුතු කර තිබේ. සමිතියක වැදගත්ම පුද්ගලයා වන්නේ භාණ්‌ඩාගාරිකවරයාය. සල්ලි උනන සමිතියක්‌ නම් භාණ්‌ඩාගාරිකවරයාගේ වටිනාකම වැඩිය. අප මේ කියන සකසුරුවම් සමිතියත් එසේමය. සකසුරුවම යනු ඉතිරි කිරීමයි. එනිසාම මේ සකසුරුවම් සමිතියටත් වක්‌කඩ කැඩුවා හා සමානවම මුදල් ගලා එන්නට වැඩි කාලයක්‌ ගත වූයේ නැත.

පාර්ලිමේන්තු සකසුරුවම් සමිතිය ලෙස හැඳින්වුවද මෙය පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝගවලට යටත් වන ආයතනයක්‌ නොවේ. පාර්ලිමේන්තු වහළය යට පවත්වාගෙන යන සමිතියක්‌ බැවින් පාර්ලිමේන්තු සමිතිය ලෙස එය හඳුන්වන්නට සිද්ධ වී තිබේ. පාර්ලිමේන්තුව යන වචනය නම ඉදිරියෙන් කියෑවෙන නිසාම සකසුරුවම් සමිතියට ලැබෙන පිළිගැනීම සහ ඒ කෙරෙහි තිබෙන විශ්වාසයද වැඩිවනවා මිස අඩුවන්නේ නැත.

පාර්ලිමේන්තුවේ සේවකයන් අටසිය පනහකට අධික සංඛ්‍යාවක්‌ සිටී. ඉන් සේවකයින් හත්සියයක්‌ පමණ මේ සකසුරුවම් සමිතියේ සාමාජිකයන්ය. සාමාජික මුදලක්‌ අවශ්‍ය නැත. සමිතියේ යම් මුදලක්‌ තැන්පත් කරන පාර්ලිමේන්තු සේවකයෙක්‌ නිතැතින්ම එහි සාමාජිකයෙක්‌ වේ.

සමිතියේ තැන්පතු ක්‍රම දෙකකි. එකක්‌ කෙටිකාලීන ආයෝජනය. අනෙක දිගුකාලීන ආයෝජනය. කෙටිකාලීන ආයෝජන යනු තැන්පතු මුදල සාමාජිකයාට ඕනෑම අවස්‌ථාවක ආපසු ලබා ගැනීමේ ක්‍රමයයි. දිගු කාලීන ආයෝජන යටතේ කරන තැන්පතු ආපසු ලබා ගත හැක්‌කේ සේවකයා විශ්‍රාම යනදාටය.

පාර්ලිමේන්තුවේ පහළ නිලධාරියාගේ සිට ඉහළ නිලධාරියා දක්‌වාම මෙම ක්‍රම දෙක යටතේම තම මුදල් ආයෝජනය කර ඇත. පහළ නිලධාරීන් සුළු වශයෙන් මාසිකව තැන්පත් කරද්දී ඉහළ නිලධාරීන් විශාල මුදලක්‌ මෙහි ආයෝජනය කරන්නට පෙළඹෙති. සමහරු ඉඩකඩම් විකුණා ලබන මුදල් මෙන්ම කළු සල්ලිද මෙහි ආයෝජනය කරන්නේ සිය වත්කම් පිළිබඳ රහස්‍ය භාවය රැකගත යුතු නිසා විය හැක. තැන්පතු පොලිය සියයට දහතුනකි. ඇතැම් විට බැංකු පොලී අනුපාතයට වඩා වැඩිය.

තැන්පතු භාර ගැනීමට අමතරව සමිතියෙන් සාමාජිකයන්ට ණය මුදල්ද ලබාදේ. එමෙන්ම රුපියල් 35000 ක මරණාධාර මුදලක්‌ද ලබාදී පසුව එය සාමාජිකයාගෙන් අයකර ගැනීමද සිදුකෙරේ.

මේ අනුව මෙම සමිතිය විසින් සිදුකරන්නේ මූල්‍යායතනයකින් සිදුකෙරෙන කාර්ය භාරයක්‌ බව වටහා ගැනීම අසීරු නොවේ. මුල්‍යායතනයක්‌ සේ පවත්වාගෙන යන ආයතනයක්‌ මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බවට නීතියක්‌ ඇත. එහෙත් මෙම සමිතියට එය අදාළ වී නැත. සමිතිය මහ බැංකුවේ ලියාපදිංචිය ලබා නොගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුව යන උත්තරීතර නාමයට ආවරණය වීය. මේ සමිතිය පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන යන නිති විරෝධී මූල්‍යායතනයක්‌ බව කනගාටුවෙන් හෝ සඳහන් කළ යුතුය. රටේ නීතිය මේ සමිතියට අදාළ නොවන්නේ මන්දැයි අපි මහ බැංකුවෙන් විමසා සිටීමටද කැමැත්තෙමු.

රහසේ පවත්වාගෙන යන මූල්‍ය ආයතනයක නීති විරෝධී භාවය පිළිබඳ අනාවරණය වන්නේ එහි ගනුදෙනු "අන්ජබජල්" වූ පසුවය. පසුගිය කාලයේදී එවැනි අත්දැකීම් රැසක්‌ අපට ඇත. මේ මූල්‍ය ආයතනය පවත්වාගෙන යන පාර්ලිමේන්තුවේදී ද නීති විරෝධී මූල්‍යායතන පිළිබඳ අනන්තවත් වාද විවාද කර ඇත. පාර්ලිමේන්තු සකසුරුවම් සමිතියේ සභාපතිවරයා උප සභාපතිවරයාද සභා ගැබෙහි සිටිමින් සහ එහි අනෙකුත් නිලධාරීන් තම තමන්ගේ කාර්යාලවල ඇති රූපවාහිනී යන්ත්‍ර ඔස්‌සේ මේ විවාද කොතෙකුත් නරඹා ඇත.

දැන් අපි මේ සකසුරුවම් සමිතියේ හිටපු භාණ්‌ඩාගාරික දෙසට හැරෙමු. ඔහු කළ රුපියල් කෝටි දහයේ වංචාව දෙසට අවධානය යොමු කරමු.

මේ භාණ්‌ඩාගාරිකවරයා නමින් නම් ධර්මයට ප්‍රිය පුද්ගලයෙකි. අවුරුදු නවයක්‌ තිස්‌සේ සමිතියේ භාණ්‌ඩාගාරික ලෙස කටයුතු කළ ඔහුට පසුගිය නිලවරණයේදී ඒ තැන රැකගන්නට හැකි වූයේ නැත. එනිසා ඔහුට හිටපු භාණ්‌ඩාගාරික යන නාමය හිමිවිය.

පත් වූ අලුත් භාණ්‌ඩාගාරිකට හිටපු භාණ්‌ඩාගාරික සමිතියේ සියලු ලිපි ලේඛන, ගිණුම් වාර්තා ආදිය ලබාදිය යුතුය. එහෙත් මේ ධර්මප්‍රිය... නව භාණ්‌ඩාගාරිකවරයාව මග හරිමින් සේවයට වාර්තා කිරීම පවා නොකර ඇත. සාමාජිකයන්ට ණය ලබාදුන් අයදුම්පත් පවා අස්‌ථානගතව ඇති බව නව භාණ්‌ඩාගාරිකවරයාට අනාවරණය වී ඇත. ඒ අනුව සියලු වංචාවන් හෙළිවන්නට පටන් ගත්තේය.

මෙම සකසුරුවම් සමිතියට වානිජ බැංකුවකින් ලක්‍ෂ හාරසිය හතළිහක ණය මුදලක්‌ද ලබාදී ඇත. ඒ සාමාජිකයන්ට ණය දීම සඳහාය. මහ බැංකුවේ ලියාපදිංචි වී නැති නීති විරෝධී මූල්‍ය ආයතනයකට අදාළ වානිජ බැංකුව මෙම ලක්‍ෂ හාරසිය හතළිහේ ණය මුදල ලබාදී තිබෙන්නේ "පාර්ලිමේන්තුව" යන වදන සමිතියේ නමේ මුලට ඈඳී තිබෙන නිසා ඊට ගරු කිරීමක්‌ වශයෙන් විය හැක.

මේ බැංකු ණය මුදල උපයෝගී කර ගනිමින් හිටපු භාණ්‌ඩාගාරිකවරයා සාමාජිකයන් හාරසිය පනස්‌ දෙනකුට ණය නිකුත් කර ඇත. ඇතැමුන්ට ලක්‍ෂ දහය බැගින් ණය මුදල් නිකුත් කර ඇති අතර සමිතියේ සාමාජිකයන් නොවන එහෙත් තම පුද්ගලික හිතවතුන් වන පාර්ලිමේන්තු සේවකයින් දස දෙනකුට ධර්මප්‍රිය භාණ්‌ඩාගාරිකවරයා ලක්‍ෂ දහය බැගින් ණය ලබා දී ඇතැයිද පැවැසේ.

සාමාජිකයා ඉල්ලා සිටි සම්පූර්ණ ණය මුදල අනුමත වූවත් මේ භාණ්‌ඩාගාරිකවරයා එකී ණය මුදල නිකුත් කර තිබෙන්නේ රුපියල් තිස්‌දහස බැගින් රඳවාගෙනය. ඒ රක්‍ෂණ මුදල් යෑයි ඔහු විසින්ම හඳුන්වාදී ඇති අතර ණයලාභියා මිය ගියොත් ඇපකරුවන්ගෙන් ණය මුදල අය කර නොගෙන රක්‍ෂණ මුදලින් එය ආවරණය කර ගන්නා බව භාණ්‌ඩාගාරිකවරයා ප්‍රකාශ කර තිබේ.

අවාසනාවකට පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ණය ලබාගත් සාමාජිකයකු මැයි මාසයේදී මරණයට පත්ව ඇත. භාණ්‌ඩාගාරිකවරයා නියෝග කර ඇත්තේ මියගිය අයගෙ ඇපකරුවන්ගෙන් අදාළ මුදල අයකර ගන්නා බවය. මීට එරෙහි වූ ඇපකරුවන් රක්‍ෂණ මුදලක්‌ රඳවා ගත්තේ මොන කෙංගෙඩියකට දැයි භාණ්‌ඩාගාරිකවරයාගෙන් විමසා ඇත. ඒ අනුව සොයා බැලීම් කිරීමේදී ණය ලාභීන් 450 දෙනකුගෙන් රුපියල් 30,000 බැගින් රඳවාගත් රක්‍ෂණ මුදලට සිද්ධ වූයේ කුමක්‌දැයි යන්නට මෙතෙක්‌ පිළිතුරක්‌ නැත. රුපියල් එක්‌කෝටි තිස්‌පන් ලක්‍ෂයක්‌ පමණ වන ඒ රක්‍ෂණ මුදලට සිදුවූ දේ දන්නේ ධර්මප්‍රිය නමැති හිටපු භාණ්‌ඩාගාරිකවරයා සහ ඔහුට අනුබල දුන් පුද්ගලයන් පමණි.

එක්‌තරා බැංකුවකින් සමිතියට රුපියල් ලක්‍ෂ හාරසිය හතළිහක ණය මුදලක්‌ ලබාදුන් බව අපි ඉහතින් සඳහන් කළෙමු. එම විශාල මුදල හිටපු භාණ්‌ඩාගාරිකවරයා විසින් මාස කිහිපයක්‌ තම පුද්ගලික බැංකු ගිණුමක තැන්පත් කරගෙන සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ඒ කාලය තුළදී එම මුදලට හිමි වූ පොලිය තම ගිණුමේ රඳවා ගත් හෙතෙම මූලික මුදල පමණක්‌ සමිතියේ ගිණුමට බැර කර ඇත.

ඇතැම් මාසවලදී මරණ හයක්‌ හතක්‌ සඳහා මරණාධාර මුදල් ලබාදුන් බව පවසා හිටපු භාණ්‌ඩාගාරිකවරයා මුදල් නිකුත් කර ඇත. පසුව සොයා බලද්දී එවැනි මරණ සිදුව නැත. ජීවත්වන අය වෙනුවෙන් ද හිටපු භාණ්‌ඩාගාරිකවරයා මරණාධාර නිකුත් කර ඇත. එපමණක්‌ද නොවේ සමිතියෙන් ණය නොගත් සාමාජිකයන්ගේ තැන්පතුවලින්ද ණය වාරික අඩුකර ගෙන තිබේ. වරින් වර මෙම වංචාවන් ගැන හිටපු භාණ්‌ඩාගාරිකවරයාට එරෙහිව සාමාජිකයන් විසින් ඉහළ නිලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඒවා බීරි අලින්ට වැයූ වීණා වාදනයන් වී ඇත.

දැන් මේ වංචාවන් එකින් එක හෙළිවන්නට පටන්ගෙන තිබේ. ඒ නිසාම හිටපු භාණ්‌ඩාගාරිකවරයා සේවයට වාර්තා කිරීමද නතර කර ඇති අතර ඔහු සෙවීමේ කටයුත්ත අධිකරණය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. ධර්මප්‍රිය විදෙස්‌ ගත වන්නේ නම් අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන පාලකවරයාටද නියෝග කර තිබේ. ඒ අතරතුරදී ධර්මප්‍රියට ආධාර අනුබල දුන් ඉහළ නිලධාරීන්ගේද ඉහමොළ රත්වන්නට පටන්ගෙන ඇත. ධර්මප්‍රිය මෙන්ම ඔහු කළ වංචාවන්ගේ සියලු සාක්‌ෂි සටහන් මකා දමන්නට විනාශ කර දමන්නට මේ අය උත්සාහ ගන්නා බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

මේ වංචාකාරී ගනුදෙනු ඇතුළත් පරිගණකයේ දෘඩ තැටිය (හාර්ඩ් ඩිස්‌ක්‌) අතුරුදන් වන්නේ ඒ අනුවය. එහෙත් ඉහළ නිලධාරීන් පවසන්නේ පරිගණකයේ හාර්ඩ් ඩිස්‌ක්‌ එක ගලවාගෙන ගොස්‌ නැත පිටතින් ගෙන ආ හාර්ඩ් ඩිස්‌ක්‌ එකක්‌ යළි ගලවාගෙන ගොස්‌ ඇති බවය.

මේ ඉහළ නිලධාරියා පවසන දේ සත්‍යයක්‌ නම් හාර්ඩ් ඩිස්‌ක්‌ එකක්‌ පාර්ලිමේන්තුව තුළට ගෙන යන්නේ සහ යළි එය පිටතට ගෙන එන්නේ කෙසේද ඒ පිළිබඳ වගකියන්නේ කවුරුන්ද?

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී පසුගිය සෙනසුරාදා දිනයක ඉහළ නිලධාරියකු බැංකු නිලධාරීන් කිහිප දෙනකු සමග පාර්ලිමේන්තු සංකීර්ණය තුළ විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා ඇති බවටද කරුණු අනාවරණය වෙමින් පවතී. සමිතියේ පොත්පත් සහ බැංකු ගිණුමද ඔවුන් විසින් රහසේ පරීක්‍ෂා කර අවසානයේ මත්පැන් සාදයක්‌ ද පැවැත්වූ බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

මේ සියල්ල සිදුවන්නේ සැකකාර හිටපු භාණ්‌ඩාගාරිකවරයා රැක ගැනීමේ මෙහෙයුම් ලෙසය. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට පත්කර ඇති කමිටුවේ සිටින්නේද සමිතියේ සිටි නිලධාරීන් කිහිප දෙනෙකි.

මෙම වංචාව පිළිබඳ කෙරෙන පරීක්‍ෂණ සඳහා පාර්ලිමේන්තුවට පිටතින් පුද්ගලයින් පත්කරන ලෙස සාමාජිකයන් විසින් ලිතව ඉල්ලීමක්‌ද කර තිබේ.

හිටපු භාණ්‌ඩාගාරිකවරයා සේවයට වාර්තා කරන්නේ නැත. ඔහු විදේස්‌ගතව ඇති බවටද රාවයක්‌ පවතී. එහෙත් තවමත් ඔහුට වැටුපෙන් අඩක්‌ ලබාදෙන බවද සේවකයෝ පවසති. එය ආයතන සංග්‍රහයට එකඟද යන ප්‍රශ්නයද සේවකයින් විසින් විමසා සිටී.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සේවකයින් පරෙස්‌සමට තැබූ තම ධනය අද ඇලියාවට ගොස්‌ ඇත. පාර්ලිමේන්තුව යන වචනයට නිග්‍රහ කරන මෙම වංචාකාරයින් හඳුනාගෙන නිසි දඬුවම් ලබා දෙන්නැයි වංචාව, දූෂණය පිටුදකින අවංක මහජන නියෝජිතයෙක්‌ වන කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේ අවංක සේවකයෝ ඉල්ලා සිටිති.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.