කැමරන්ට සෙල්ලම් බෑ
සාකච්ඡා කිරීමට පුළුවන් සමුළුවේ
න්‍යාය පත්‍රයට ඇතුළත් යෝජනා පමණයි


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතත් ඊට ඉඩ නොදීමට තීරණය කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

ඒ අනුව සමුළුවේ න්‍යාය පත්‍රයෙන් බැහැරව යෝජනා ඉදිරිපත් කිරීමට කැමරන්ට හැකියාවක්‌ නැතැයි එම ප්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ද්විපාර්ශ්වික කරුණු ගැන සමුළුවේදී සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ නොමැත.

අගමැති ඩේවිඩ් කැමරන් එම යෝජනාව සමුළුව වෙත යොමුකරන බව තමා සමග සාකච්ඡා කළ කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ද්‍රවිඩ සංවිධාන ප්‍රධානීන් හමුවේ ප්‍රතිඥා දී තිබේ. එසේම ඔහු උතුරට ගොස්‌ කොටි හිතවාදී පුවත්පතක කාර්යමණ්‌ඩලය හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට ද තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා උතුරට පැමිණෙන අවස්‌ථාවේ උතුරින් ආරක්‌ෂක හමුදා ඉවත්කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සංදේශයක්‌ භාරදීමටද සැලසුම් කර තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාවට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයන් සඳහා බ්‍රිතාන්‍ය අගමැති සමඟ එකඟතාවකට නොඑන බවද රජයේ ආරංචි මාර්ග පැවැසීය.

අගමැති කැමරන් විදේශ ලේකම් විලියම් හේග් පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ලේකම් ඇල්ස්‌ටර් බර්ට්‌ සහ චාල්ස්‌ කුමරු මෙම 14 දා මෙරටට පැමිණේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.