විපක්‍ෂය චොගම් වර්ජනය කරයි

අජිත් අලහකෝන්

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ තීරණය කර ඇත.

විදෙස්‌ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම සිකුරාදා (15 දා) නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උළෙලට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ද රජය විසින් ආරාධනා කර ඇත. එහෙත් ඊට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

නමුත් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමාරම්භක උළෙලට පමණක්‌ සහභාගි වන බව එ.ජා.ප. යේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

විපක්‍ෂ නායකවරයා සමාරම්භක උළෙලට සහභාගි වුවත් විපක්‍ෂ නායකයා සමුළුව ඇමතීමක්‌ සිදු නොකරන බවද එම ප්‍රකාශකයා කීවේය.

මෙය බ්‍රිතාන්‍ය කිරීටයට ගැති ආණ්‌ඩුවල සමුළුවක්‌ බැවින් සහ ජනතා බදු මුදල් වැය කර සිදුකරන බොරු සංදර්ශනයක්‌ බැවින් තමන් මෙම සමුළුව වර්ජනය කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේය.

මෙරට ජාතික වීරයන් ඝාතනය කළ අධිරාජ්‍යවාදීන් රතු පලස්‌ එලා පිළිගන්නා උළෙලකට තම සහාය නොලැබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුවට සහභාගි නොවීමට ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම් ද පසුගිය දිනෙක පැවැති පක්‍ෂ රැස්‌වීමේදී තීරණය කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.