චොගම් සතිය ඇරැඹේ

අජිත් අලහකෝන්

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළු සතිය අද (10) ඇරැඹේ.

මෙම සමුළුවේ සුවිශේෂී අවස්‌ථාව වන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන්ගේ සමුළුව මෙම 15 වැනිදා (සිකුරාදා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී ඉදිරි දෙවසර සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පවරනු ලැබේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල තරුණ සමුළුව අද

(10 දා) හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරැඹෙන අතර එම සමුළුව මෙම 14 වැනිදා අවසන් වේ. පොදු රාජ්‍ය මණ්‌ඩල ජනතා සමුළුව ද අද හික්‌කඩුව ජායා ට්‍රාන්ස්‌ හෝටලයේදී ඇරැඹේ. එයද මෙම 14 වැනිදා දක්‌වා පැවැත් වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල ව්‍යාපාරික සමුළුව අනිද්දා (12 දා) සිට 14 දා දක්‌වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

මීට අමතරව පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට පෙර පැවැත්වෙන එම රටවල විදේශ ඇමැතිවරුන්ගේ රැස්‌වීම 13 සහ 14 යන දිනවල බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන්ගේ භාර්යාවන්ගේ වැඩසටහන 15 සහ 16 දා යන දිනවල කොළඹ සහ මහනුවරද, විදේශ ඇමැතිවරුන්ගේ භාර්යාවන්ගේ වැඩසටහන 13 දා සිට 16 දක්‌වා කොළඹ, ගාල්ල සහ මහනුවරදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක විධායක රැස්‌වීම් සහ රාජ්‍ය නායක භෝජන සංග්‍රහය ද මෙම 15 සිට 17 දා දක්‌වා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සහ වෝටර්ස්‌ එඡ්හිදී පැවැත් වේ.

මීට අමතරව තරුණ සංවාදය, 15 වැනිදා ද, සිවිල් සමාජ වටමේස සාකච්ඡාව 14 වැනිදා ද බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කරන දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් දහසක පිරිස සඳහා පහසුකම් සහිත මාධ්‍ය මධ්‍යස්‌ථානය ද බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්‌ථාපිත කර ඇත. සමුළුවට අදාළව මෙම 14 දා සිට 17 දා දක්‌වා දිනපතා පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡා ද මාධ්‍ය මධ්‍යස්‌ථානයේදී පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.