දෙවරක්‌ අයවැය පැරදුණොත් සභාපති ගෙදර!

රනිල් ධර්මසේන

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් 2012 අංක 21 දරන පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව මින් ඉදිරියට පළාත් පාලන ආයතනවල එකම අය වැය ලේඛනය දෙවරක්‌ පරාජයට පත් වුවහොත් අදාළ ආයතනයේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කෙරේ.

යම් අය වැය ලේඛනයක්‌ පළමුවරට ඉදිරිපත් කළ අවස්‌ථාවේ පරාජයට පත්ව යළිත් සති දෙකක්‌ ඇතුළත දෙවැනි වරට ඉදිරිපත් කරන අවස්‌ථාවේදී ද පරාජයට පත් වුවහොත් අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා ඉල්ලා අස්‌වූවා සේ සලකන බවට නීතියක්‌ පනවා ඇති අතර එය පසුගිය ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ පැවැසීය.

ඉකුත් වසරේදී පළාත් පාලන ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක අය වැය පරාජයට පත් වූ අතර මෙවර ද පාලක පක්‍ෂයේ සභිකයන්ගේ ද විරෝධතා නිසා ආයතන රැසක අය වැය පරාජයට පත් වී සභාපතිවරුන්ට සිය ධූර අහිමි වනු ඇතැයි දැඩි අවදානමකට ඔවුහු මුහුණ පා සිටිති.

මේ අතර තම පක්‍ෂයට බලය ඇති පළාත් පාලන ආයතනයක අය වැය ලේඛන උප සභාපතිවරුන්ගේ හා පාලක පක්‍ෂයේ සභිකයන්ගේ කුමන්ත්‍රණවලින් පරාජයට පත් වුවහොත් පුරප්පාඩු වන සභාපති ධුරය උප සභාපතිවරයාට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.