ජාතික පාසල් විදුහල්පතින්ට රතු එළියක්‌

නිලන්ත මදුරාවල

අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු අඩු කිරීමේ නව යෝජනාවක්‌ අනුව ජාතික පාසල්වල විදුහල්පති ධුර දරන අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරීන්ට එම විදුහල්පති තනතුරු අහිමි වීමේ අවදානමක්‌ මතුව තිබේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පරිපාලන සේවයට අයත් අතිරේක ලේකම් තනතුරුද එම සේවයෙන් ඉවත් කිරීමට මේ වනවිට යෝජනා කර ඇත. අධ්‍යාපන සංවර්ධන සහ සැලසුම් යන අංශ දෙපාර්තමේන්තු බවට පත්කර ඒවායේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස පරිපාලන සේවා නිලධාරීන් පත්කර ගැනීමේ උත්සාහයක්‌ද පවතින බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති. එමෙන්ම විභාග කොමසාරිස්‌ ජනරාල් හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් යන තනතුරු ද අධ්‍යාපන පරිපාලන සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඒ සඳහා ද පරිපාලන සේවා නිලධාරීන් යෙදවීමේ අවශ්‍යතාව මතය යන්න අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ගේ මතය වී තිබේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම නව යෝජනා නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු නිලධාරීහු දැඩි නොසන්සුන්තාවට පත්ව සිටිති. අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්‌ථාව අනුව එම සේවයේ පළමු, දෙවැනි හා තෙවැනි ශ්‍රේණි සඳහා තනතුරු දෙදහස්‌ දෙසිය විසිතුනක්‌ පවතින අතර නව යෝජනාව අනුව එම තනතුරු සංඛ්‍යාව එක්‌දහස්‌ හත්සියය දක්‌වා අඩු කර ඇත.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.