ලංගමට ජංගම දුරකථන තහනම්...!

වාහන පදවන අතරතුර දුරකථන භාවිත කිරීම බොහෝ රටවල මෙන්ම අපේ රටේ ද තහනම් කර තිබේ. එහෙත් මේ තහනම පසුගිය 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංගම බස්‌රථ රියෑදුරන්ට ද පැනවීමට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා බලධාරීන්ට උපදෙස්‌ ලබාදී ඇත.

එපමණක්‌ ද නොව කොන්දොස්‌තරවරුන්ට ද එම තහනම බලපැවැත්වෙන බවත් ඔවුන් රාජකාරිය ආරම්භ කිරීමට, අදාළ බස්‌ රථයට ගොඩවීමට ප්‍රථම සිය ජංගම දුරකථන ද ඩිපෝවට භාරදිය යුතු වේ.

මෙලෙස එම ඇමැතිවරයාට හදිසියේම එවැනි නීතියක්‌ ගෙන ඒමට සිදු වූයේ පසුගිය 05 වැනි දින පුද්ගලයන් 11 දෙනකුට මරු කැඳවමින් සිදුවූ මාරක රිය අනතුර නිසාවෙනි. එම අනතුරෙන් තවත් 18 දෙනකු ද තුවාල ලැබීය. වාහන පදවමින් සිටියදී ජංගම දුරකථන භාවිත කිරීම උසාවි දැමිය හැකි බරපතළ වරදක්‌ වුවද ප්‍රවාහන ඇමැතිවරයාට යළිත් එම නීතිය ලංගම රියෑදුරන්ට මතක්‌කර දීමට සිදු වූයේ ඉහත මාරක අනතුර නිසාවෙන් බව දැන් හෙළිවී තිබේ.

බණ්‌ඩාරවෙල සිට පූනාගල බලා ධාවනය වූ මෙම බස්‌ රථය මාපිටිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළිණි. එම ප්‍රදේශය බෑවුම් සහිත බව බොහෝ දෙනා දන්නා කරුණකි. යම් අතපසුවීමක්‌ සිදුවුව හොත් නවතින්න වෙන තැන ගැන මෙම අනතුර සාක්‍ෂි සපයයි.

අවාසනාවකට එම මාරක අනතුර සිදුව ඇත්තේ ද එතැනය. රිය පදවන අතරතුර එම ලංගම රියෑදුරා සිය ජංගම දුරකථනය භාවිත කිරීම නිසාය. ඔහු රිය පදවමින් සිය දුරකථනයෙන් කතා කරමින් සිටින විට හදිසියේම එය ඔහුගේ අතින් මිදී රියෑදුරුට නැඟීමට ඇති පැති දොර ආසන්නයට වැටී ඇත. ඒ සමගම රියෑදුරු දුරකථනය ගැනීමට නැවෙනවාත් සමගම විපත සිදු විය. රියෑදුරු දුරකථනය ගැනීමට පහත් වෙනවාත් සමගම බස්‌ රථය ක්‍ෂණයකින් ප්‍රපාතය වෙත සුක්‌කානම කරකැවී ඇත.

අනතුර බරපතලය. බස්‌ රථය කුඩුපට්‌ටම් වී ඇත. පිරිසක්‌ මළවුන් අතරය. තවත් පිරිසක්‌ රෝහල්වල ඇඳන් මතය. එදින රියෑදුරු සිය දුරකථනය භාවිත නොකළේ නම් හෝ මඳක්‌ ප්‍රමාද වී භාවිත කළා නම් මෙම අනතුර නොවන්නට ඉඩ තිබිණි.

එහෙත් සියල්ල සිදුවී අවසන්ය. ඇමැති වෙල්ගම මහතා අනතුරින් විපතට පත් අය බලන්නට ගොස්‌ ඔවුනට මුදල් ආධාරයක්‌ ද කොට නැවත කොළඹ බලා එන ගමනේදී ලංගම සේවකයන්ට ද නීතියක්‌ පනවන්නට ඉටා ගත්තේය. ඒ ඉහතින් අප කියූ නීතියයි.

- අකිත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.