බෝ නොවන රෝග නිසා මියයන සියයට හැත්තෑවක්‌ පිළිකා රෝගීන්
ආශ්චර්යයේ හීන බො`ද කරන පිළිකා රෝගීන්ගේ රට
දවසකට පිළිකා මරණ 60ක්‌
සිගරැට්‌ටුවකින් වරකට පිළිකා කාරක 60ක්‌ ශරීරගත වේ


කැස්‌ස........ සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍ය තත්ත්වයේ රෝගය... මේවා රෝග ලෙස හඳුන්වනවාටත් ඇතැමුන් අකමැතිය. සෙම්ප්‍රතිශ්‍යාව........ කැස්‌ස නොහැදුණු කෙනෙක්‌ අප අතර සිටීද සිටීනම් ඒ අසාමාන්‍ය පුද්ගලයෙකි. හෙම්බිරිස්‌සාවත් කැස්‌සත් ලෙඩක්‌ද ඇතැමුන් කතාවට එලෙස පවසන්නේ එය සාමාන්‍ය තත්ත්වයක්‌ වන නිසාය.

කැස්‌සත් සෙම්ප්‍රතිශ්‍යාවත් උදාහරණයට ගනිමින් සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා බිය උපදවන ප්‍රකාශයක්‌ කළේය. අපේ රටේ පිළිකා රෝගය කැස්‌ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තරමට වැඩිවී ඇති බව ඇමැතිවරයා කිවේය. මෙය සරලව සිතා බැහැර කළ හැකි ප්‍රකාශයක්‌ නොවේ එමගින් ඇමැතිවරයා කළේ අනතුරු හැඟවීමකි.

එසේනම් පිළිකාවත් අද පත්ව තිබෙන්නේ කැස්‌ස හා සෙම්ප්‍රතිශ්‍යාව මෙන් සාමාන්‍ය රෝගී තත්ත්වයක්‌ ලෙසද... පිළිකාවෙන් දිනකට පනස්‌ දෙනෙක්‌ හැටදෙනෙක්‌ මරණයට පත්වන බවටද ඇමැතිවරයා කීවේය.

මෙය බරපතළ තත්ත්වයකි. ශ්‍රී ලංකාවට පමණක්‌ නොව මුළු ලෝකයටම පිළිකාවක්‌ව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන්ලාගේ ත්‍රස්‌තවාදය නිසාවත් දිනකට පනහක්‌ හැටක්‌ මිය නොයන්නට ඇත.

අපේ රටේ පිළිකා රෝගීන් දහස්‌ ගණනක්‌ සිටී. මහරගම පිළිකා රෝහල පමණක්‌ නොව දිවයිනේ තවත් බොහෝ රෝහල් පිළිකා රෝගීන්ගෙන් පිරී පවතී.

ශරීරයේ සෛලයක්‌ අසාමාන්‍ය ලෙස වර්ධනය වීම පිළිකාව යන්නෙන් අදහස්‌ කෙරේ. එය පිළිකාව සඳහා තිබෙන සරලම නිගමනයයි. මෙසේ සෛලයක්‌ වර්ධනය වීම රසායනික වෙනස්‌වීම මත සිදුවිය හැකිය.

එනිසා බාහිර වශයෙන් ලබා ගන්නා ආහාරපාන නිසා මෙම රසායනික විපර්යාසය ශරීරය තුළ සිදුවිය හැකිය. එමෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී ශරීරය තුළට ඇතුළුවන යම් යම් රසායනිකයන් නිසාද පිළිකාවට ගොදුරු වීමේ අවදානමක්‌ පවතී.

පිළිකාවට ගොදුරුවී සිටින රෝගීන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මුඛ පිළිකා රෝගීන්ය. බුලත්විට, දුම්වැටිය මෙන්ම මත්පැන් භාවිතයද මුඛ පිළිකාව වෙත මිනිසා ගෙන යන මාර්ගයකි.

බුලත්අත, බුලත්විට දැහැත්වට්‌ටිය අපේ සංස්‌කෘතිය හා බැඳි පවතින්නකි. බුලත් කොළයේ පිළිකා කාරක ඇති බවට හඳුනාගෙන නැත. එහෙත් ඒ සමඟ භාවිතයට ගන්නා හුණු, දුම්කොළ සහ පුවක්‌ පිළිකා කාරකයන් බව මේ වනවිටත් හඳුනාගෙන තිබේ. දුම්කොළ තුළ පිළිකා කාරක විසි අටක්‌ද, පුවක්‌ තුළ පිළිකා කාරක හතරක්‌ද අඩංගු බව සොයාගෙන තිබේ. ඒ ආකාරයට හුණුද පිළිකා කාරකවලින් සමන්විතය. එසේනම් යම් කිසි පුද්ගලයෙක්‌ බුලත්විටක්‌ කද්දී ඔහුගේ සිරුරට එක්‌වරකදී පිළිකා කාරක තිස්‌පහක්‌ පමණ ඇතුළුවේ. එසේ නම් දිනකට බුලත් විට පහක්‌ පමණ කන පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කවර කතාද?

දුම්වැටියක ඇති දුම්කොළ තුළ පිළිකා කාරක හැටක්‌ පමණ තිබෙන බවද සොයාගෙන තිබේ. ඇතැමුන් බුලත් විට සහ දුම්වැටිය යන දෙකටම ඇබ්බැහි වී සිටී. එසේ වූ කල ඔහුගේ සිරුර තුළට එක්‌ වරකදී ඇතුළුවන පිළිකා කාරක සංඛ්‍යාව සියයකට ආසන්නය.

දුම්පානය නිසා මුඛ පිළිකාව පමණක්‌ නොව ගලනාලයේ, ආමාශයේ, වෘෂණ කෝaෂ තුළ මොළයේ මෙන්ම පෙනහළු තුළද පිළිකා සෑදේ. සිගරට්‌ පැකැට්‌ටුව මත අනතුරු හැඟවීමේ රූප රාමු ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා යුද්ධයක නිරතව සිටින්නේ මෙම අනතුරුදායක තත්ත්වයෙන් මිනිසුන් බේරා ගැනීම සඳහාය. එහෙත් එම ප්‍රයත්නයටද මේ වනවිට විවිධ බාධා එල්ලවෙමින් තිබේ. පිළිකාවට ගොදුරු වන්නේ දුම්වැටි පානය කරන්නා පමණක්‌ද නැත. සක්‍රීය දුම් පානය මෙන්ම අක්‍රීය දුම්පානයද පිළිකාවට අතවනයි. බොහෝ විට කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාව සහ පියයුරු පිළිකාවට හේතුවක්‌ වන්නේද මෙම අක්‍රීය දුම්පානයයි. සැමියා දුම්වැටි පානය කරන්නෙක්‌ නම් ඒ දුම ආඝ්‍රාණය කිරීම නිසා බිරියද පිළිකාවට ගොදුරු වන්නීය.

මුඛ පිළිකාව නිසා වසරකට මිය යන සංඛ්‍යාව දෙදහසකට ආසන්න බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. සාමාන්‍යයෙන් අපේ රටේ විවිධ රෝගාබාධ නිසා දිනකට දහසක්‌ පමණ මිය යන බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන් සියයට හැටක්‌ මරණයට පත්වන්නේ බෝ නොවන රෝගවලින් බවද ප්‍රකාශ කරයි. බෝ නොවන රෝග නිසා මෙලෙස මියයන සියයට හැටෙන් සියයට හැත්තෑවක්‌ පිළිකාවට ගොදුරු වූවන්ය.

ඕනෑම පිළිකාවක්‌ පළමු, දෙවන, තෙවන සහ සිව්වන වශයෙන් පියවර හතරකින් යුක්‌ත බව ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. පළමු සහ දෙවන පියවර පිළිකාවක මුල් අදියරයි. මෙම අදියරේදී බොහෝ දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමට මැළිවෙති. පූර්ව පිළිකා අවස්‌ථාවේදී පරීක්‍ෂණ පවත්වා රෝගය පිළිබඳ හඳුනාගැනීමක්‌ කරන්නේ නම් එය සුවපත් කළ හැකි බව වෛද්‍යවරු පවසති. එහෙත් බොහෝ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ තෙවන සහ සිව්වන පියවරේදීය. එවිට ශරීරය තුළ පිළිකාව ඔඩුදුවා අවසන්ය.

කාන්තාවන් බොහෝ විට ගොදුරු වන්නේ ගැබ්ගෙල හෝ පියයුරු පිළිකාවටය. දරුවන් ලොකුමහත් කර පාසල් යවන අවධිය මව්වරුන් නිරෝගීව සිටිය යුතුම අවධියයි. එහෙත් බොහෝ මව්වරු මේ වයස්‌ කාණ්‌ඩයේදී එනම් වයස අවුරුදු හතළිහට පසුව පියයුරු සහ ගැබ්ගෙල පිළිකාවට ගොදුරුවීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි. කාන්තාවන් වයස අවුරුදු හතළිහ සම්පූර්ණ කළ පසු වසරකට වරක්‌ හෝ පියයුරු විශේෂ පිළිකා පරීක්‍ෂණ සඳහා යොමුවීම අනිවාර්ය බව වෛද්‍ය මතය වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා සුවනාරි සායන සහ වෙනත් පරික්‍ෂණ මධ්‍යස්‌ථාන රටපුරා රෝහල්වල නොමිලේ පවත්වාගෙන යෑයි. එහෙත් කාන්තාවන් මේ සඳහා යොමුවන ප්‍රවණතාවය ඉතාම අඩුමට්‌ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. පියයුරු පිළිකාව වසර පහකට පෙර හඳුනා ගැනීමේ මැමෝග්‍රාµa යන්ත්‍ර රෝහල්වල තිබෙන බවත් ගැබ් ගෙල පිළිකාව සොයාගත හැකි පැප් පරීක්‍ෂණයන් නිරන්තරයෙන් සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පිළිකාවට ගොදුරුවීමට හේතුව දුම්වැටි, මත්පැන්, බුලත්විට පමණක්‌ද? නැත. අපගේ අවිධිමත් ආහාර රටාවද මීට හේතුවකි. ආහාරපාන භාවිතයේදී ප්‍රවේශම් වන්නේ නම් බොහෝ පිළිකා වළක්‌වා ගත හැක.

හොඳට නරකට දෙකට කටමය. අප ජනවහරේ ඇති කියමන සත්‍යයකි. දුම්වැටි, බුලත්විට, මත්පැන් මෙන්ම විෂ සහිත ආහාර පානද සිරුර තුළට දමා ගන්නේ මුඛයෙනි.

අධික පිටි සහිත ආහාර, තෙල් මෙන්ම මාංශවර්ග පිළිකාවේ මිතුරෙකි. වෙළෙඳ පොළේ අලෙවි කරන කෘතීම ආහාර සහ බීම වර්ග, ඒවාට යොදා ඇති වර්ණකද පිළිකා කාරකය. එක්‌වරක්‌ පමණක්‌ නොව දෙවරක්‌, තුන්වරක්‌ බදින ලද තෙල් යොදා ගනිමින් හදන කොත්තු රොටියද පිළිකාවක්‌ බව වෛද්‍යවරු පවසති. රජයකට මෙවැනි ආහාර රටාවන් තහනම් කිරීම අපහසු කටයුත්තකි. මෙය පාලනය කර ගත යුත්තේ ජනතාව විසින්මය. ඒ කට පරෙස්‌සම් කර ගැනීම මගිනි. රජයද මතට තිත මෙන්ම දුමට තිතද අකුරට ක්‍රියාත්මක කරන්නේ නම් පිළිකාවෙන් දිනකට මියයන සංඛ්‍යාව අවම කර ගැනීමට හැකිවන බව සඳහන් කළ යුතුමය. දුම්වැටියෙන්, මත්පැන් බෝතලයෙන් රජයට ලැබෙන බදු මුදලට ලොබවී රටම පිළිකාවට නතු කරනවාද යන්න සිතාබැලීම රට ගැන තීන්දු තීරණ ගන්නා ඉහළ බලධාරීන්ට භාර කරමු.

පිළිකාවෙන් පෙළෙන එක්‌ රෝගියකුට රජය වසරකට රුපියල් ලක්‍ෂ එකසිය පනහක්‌ පමණ වැය කරයි. එවන් විශාල මුදලක්‌ වැය කළත් රෝගියාගේ ජීවිතය බේරා ගත හැකිද නැත. පිළිකාව මාරාන්තිකය. ඇතැම් පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධයක මිල රුපියල් ලක්‍ෂ හතරට අධිකය. එක්‌ රෝගියෙකුට එවන් වටිනා ඖෂධ කොපමණ වාර ගණනක්‌ ලබාදිය යුතු වන්නේද මෙවන් විශේෂිත ඖෂධ මිලට ගැනීම සඳහා අමාත්‍යාංශය සතියකට ලිපිගොනු පනහකට අධික සංඛ්‍යාවකට අත්සන් තබන බවද කියෑවේ.

පිළිකාව සෑදුනු පුද්ගලයකුගේ මානසික තත්ත්වය ගැන සිතන්න ඔහු දිනකට කී වරක්‌ මානසික මැරි මැරි උපදිනවාද යන්න ගැනත් සිතන්න. පිළිකා රෝහල වෙත එක්‌වරක්‌ හෝ ගොඩවදින කෙනෙකුට එහි සිටින රෝගීන් විඳින වේදනාව වටහා ගැනීම අසීරු නැත. රෝගියා පමණක්‌ නොව ඔහුගේ හෝ ඇයගේ පවුලේ ඥතීන්ද ඒ හා සමාන වේදනාවක්‌ විඳිති. තමන් සතු සේසතම විකුණා හෝ රෝගියා ගොඩදමන්න මේ ඥතීහු පෙළඹෙති.

පිළිකාව ගැන මීට වසර විස්‌සකට තිහකට පෙරදී අවධානය යොමු කළා නම් දිනකට පිළිකාවෙන් පනස්‌ දෙනෙක්‌ හැට දෙනෙක්‌ මියයන පුවත අද අපට අසන්නට සිදු නොවනු ඇත. අප අද ප්‍රමාද වී ඇත. ප්‍රමාද වී හෝ මේ පිළිබඳ මුළු රටේම දැඩි අවධානය යොමු කළ යුතුය. රට ආසියාවේ ආශ්චර්ය සඳහා යන ගමනේදී පිළිකා රෝගීන් බහුතරයක්‌ සමග ඒ ගමන යනවාද යන්න ගැන වගකිව යුත්තන්ද සිතා බැලිය යුතුය.

අජිත් අලහකෝන්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.