අලියාට දුක කියා
ජීවිතය බේරාගත් තිදෙනකුගේ කතාව!

සමාවෙන්න මගෙ අතින් වැරැද්දක්‌ උනා නම් අනේ දෙවියනේ මාව මරන්න නම් එපා. මට දරුවො තුන් දෙනෙක්‌ ඉන්නවා. දරු පැටව් ඉස්‌කෝලෙ ඇරිලා එනකොට මං මැරිලා හිටියොත් උන් තුන්දෙනාත් මැරෙයි දෙවියනේ කියලා මම කෑගහලා කියන්න මහන්සි උනා. ඒත් මගේ කටින් එක වචනයක්‌ පිට උනේ නැහැ. මං ඒ ටික හිතෙන් හිතනකොට අලියා මගෙ ඇඟට උඩින් තියාගෙන හිටිය කුකුල පැත්තකට ගත්තා. විනාඩියක්‌ විතර බලා හිටියා. එහෙම ඉඳලා ආයෙත් ඇඟට කකුල තියනකොට මං අමාරුවෙන් අත්දෙක එකතු කරල අලියට වැන්දා. ඊට පස්‌සේ එයා කකුල පැත්තකට අරං පොළාවට පයින් ගහලා මගෙ ඇඟ උඩින් මාව පාගන්නේ නැතුව යන්න ගියා.

මනම්පිටිය සිංහල මහ විදුහල පිටුපස පදිංචි රාමයියා දේවිකා තම ජීවිතයේ මුහුණ දුන් ත්‍රාස ජනකම අද්දැකීම විස්‌තර කර සිටියාය.

මනම්පිටිය නගරයේ සිට මඩකලපු පාරේ කිලෝමීටර එකහමාරක්‌ පමණ ගිය තැන හමුවන සිංහල මහ විද්‍යාලය පිටුපස දේවිකාගේ පැල්පතය. පවුල් 26 ක්‌ පදිංචි මේ පුංචි ගම්මානයට තවමත් නමක්‌ නැත. ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්නත් මාත් මේ පුංචි පැල්පතට ගොඩවන විට දේවිකාගේ ආබාධිත සැමියා තම පුතනුවන්ගේ පාසල් වැඩ කටයුතුවලට උදව් කරමින් සිටියේය. මේසයක්‌ නැති නිවසේ පියාගේ ගිලන් ඇඳේ කොටසක්‌ පුතු තම පාඩම් වැඩට යොදාගෙන ඇත. වල් අලියෙක්‌ තම පවුලම එකතැන් කර තැබූ ඒ ත්‍රාසජනක සිදුවීම කණුගලවත්තේ සුනිල් ශාන්ත අපට විස්‌තර කළේ හැඬූ කඳුලෙනි.

මගේ ගම රාගම. පුංචි කාලේ දෙමව්පියො සහෝදරයො එක්‌ක මනම්පිටියට පදිංචියට ආවා. මා විවාහවෙලා ටික කාලයක්‌ මහගෙදර ඉඳලා පස්‌සේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලය පිටුපස මේ ඉඩමට ඇවිත් දැනට අවුරුදු අටක්‌ වෙනවා. මේ ගමේ පවුල් 26 ක්‌ පදිංචිව ඉන්නවා. මේ ඉඩම් අපිට නීත්‍යානුකූලව මැනල දෙන්න කියල අවුරුදු අටක්‌ පුරාවට අපි ඉල්ලනවා. නමුත් තවම කෙරුණේ නැහැ.

මේ ඉඩම් අනවසර නිසා කුලියක්‌ කරල ගන්න ආදායමෙන්වත් ස්‌ථීරවම කාමරයක්‌ හදන්න බැහැ. මේ නිසා අපි හැමෝටම ඉන්නවෙලා තියෙන්නේ ටකරං මඩුවල. මාසෙකට දෙතුන් වතාවක්‌ ගමට අලි පැනලා ගෙයක්‌ දෙකක්‌ කඩලා දමනවා. එදා 2013 අප්‍රේල් මාසෙ 02 දා අපේ ගමට අලියා ඇවිත් ඉන්නව කියලා අහල පහල අය කෑගහන්න පටන් ගත්තා. එතකොට වෙලාව උදේ හතයි හතලිස්‌ පහයි. අපේ දරුවෝ තුන්දෙනාම ඉස්‌කෝලෙ ගිහිං. මමත් ගමේ තව කීපදෙනෙක්‌ එක්‌ක අලියා එලවන්න ගියා. කෑගහලා අලියා එලෙව්වා. එලවලා ආපහු එනකොට මගේ බිරිඳ එයාගෙ මස්‌සිනාගෙ අවුරුදු එකහමාරක පුතාව වඩාගෙන ළඟ ගෙදරක නැන්දා කෙනෙක්‌ එක්‌ක කථා කර කර ඉන්නවා. අපි කීපදෙනා එතන්ට ඇවිත් නතර උනු ගමන් අර නැන්දා කෑගැහුවා පුතේ අලියා පිටිපස්‌සෙන් කියලා. අපි පස්‌ස බලනකොට හොඬය උස්‌සගෙන අලියා එනවා.

අපි හැමෝම හිස හැරුන අතේ දිව්වා. දේවිකාගෙ අතේ හිටිය දරුවා අරං මං දිව්වා. අලියා දේවිකා පස්‌සෙන් එලෙව්වා. යාර දහයක්‌ විතර දුවනකොට දේවිකා වැටුණා. අලියා දේවිකාව හොඬෙන් අරගෙන පද්දනවා. ටිකවෙලාවක්‌ එහෙම පද්දලා එයා පාර මැද තියලා ඉස්‌සරහ කකුල ඇඟ උඩින් තියාගෙන ටික වෙලාවක්‌ හිටියා. දේවිකා අත් දෙක එකතුකරලා අලියට වඳිනවා මට බලන් ඉන්න බැරි තැන මම කෑගැහුවා. අලියා ඒක ගානකටවත් ගත්තේ නැහැ. පස්‌සේ පොළවට පයින් ගහලා දේවිකා වැලිවලින් නාවලා එයාගෙ ඇඟ උඩින් මං දිහාට ආවා. මං පුංචි දරුවත් අරං දිව්වා. අලියත් පස්‌aaaසෙන්ම ආවා. මං දුවලා ගිහිං ළඟ තිබුණු ගෙදරක ඉස්‌සර දොරෙන් ගෙට පැන්නා. ඒත් ගෙදර දොරකඩ තිබුණු කොහොඹ කොටයක හැපිලා දොරකඩම මං වැටුණා. අලියා ආව ගමන් මගෙ කකුලකින් ඇද්දා. මගේ ඇඟෙන් භාගයක්‌ ගේ ඇතුලෙ. දරුවත් වැටුනෙ ගේ ඇතුලට. අලියා මාව අතැරලා ගෙදර ඉස්‌සර පැත්ත කැඩුවා. කඩලා දරුවා හොඬයෙන් අරන් මිදුල මැද තිබ්බා. මං ඒ වෙලාවෙ නැගිටින්න හදනකොට දැනුනා මගේ කකුල වළලුකර හරියෙන් අලියා ඇද්ද පාරට උලුක්‌වෙලා කියලා මං දඟලනකොට අලියා මාවත් උස්‌සලා අරං මිදුලෙ තිබ්බා. තියලා ටිකවේලාවක්‌ අපේ දිහා බලා හිටියා. එහෙම ඉඳලා ළඟට ඇවිත් ඉස්‌සරහ කකුල උස්‌සලා මාව පාගන්න හදනකොට මට දරුවො මතක්‌ වෙලා ඇඬුනා. මං හිතුව මං ඉවරයි තමයි කියලා. අත් දෙකෙන් අලියගෙ කකුල අල්ලගෙන මං කිව්වා උඹලට හු කියලා එලෙව්වා මිසක්‌ මං එක අලිවෙඩිල්ලක්‌ තරමේ දැම්මේ නෑ. මාව මරන්න එපා කියලා. අලියා ඊට පස්‌සේ කකුල පැත්තකට අරං මගෙ ඇඟට යටවෙලා හිටිය ළමයා හොඬෙන් අරං පාර අයිනෙ තියලා ආවා. ඇවිත් ආයෙත් මාව පාගන්න ඉස්‌සරහ කකුල ඇඟට උඩින් ඉස්‌සුවා. මං ආයෙත් අලියගෙ කකුල අත්දෙකෙන් අල්ලගෙන මාව මරන්න එපා කියලා කිව්වා. අලියා ඒ පාර කකුල පැත්තකට අරං බිමට පයින් පාරක්‌ ගැහුවා. ඒ පාර මගේ කලවයට වැදුනා. මට ඒත් එක්‌කම සිහිය නැති උනා.

මට දැනුනා අලියා මගෙ ඇඟ උඩින් පැනලා යනවා. ටික වෙලාවකින් මට සිහිය එනකොට ගමේ අය මාව වටකරගෙන. එයාලා හිතලා තියෙන්නේ අපි තුන්දෙනාම ඉවරයි කියලා. ගමේ අය මමත්, බිරිඳත්, මස්‌සිනාගෙ දරුවත් රෝහලට අරං ගියා. අලියගෙ හොඬට තදවෙලා බිරිඳ දේවිකාගෙ දකුණු අත පණ නැතුව තිබුණා. දැන් වැඩක්‌ කරන්න පුළුවන් තත්ත්වයට හොඳයි. මගේ කකුල කලවයෙන් කැඩිලා. දැන් ඔපරේෂන් කරලා ඇණදාලා තද කරලා එකතැන්වෙලා ඉන්නවා. පුංචි දරුවගෙ අත කැඩිලා තිබුණා දැන් එයාට හොඳටම හොඳයි."

සුනිල් ශාන්තගේ වැඩිමහල් දියණිය දීපිකා ප්‍රියදර්ශනීට අවුරුදු 1`3 කි. දෙවැනි පුතා අක්‌ෂාන් තරිඳුට අවුරුදු 11 කි. බාලම දියණිය මධුෂිකා මදුවන්තිට අවුරුදු 09 කි. මව්පිය දෙදෙනා අසනීප වීමත් සමඟම මේ දරු තිදෙනා දෙමව්පියන්ගේ කටයුතුත් ගෙදර වැඩත් කරට ගෙන ඇත. අසල්වැසි පදිංචිකරුවන් ඒ අයට පුළුවන් විදිහට උදව් උපකාර කරන බව මේ අය පැවසුවේ කෘතඥපූර්වකවය.

අපේ කථාබහ අතරතුර අක්‍ෂාන් පුතු තම පියා නෑවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු දැකගත හැකි විය. ඉතා පරිස්‌සමෙන් තම ආදරණීය පියා වතුර ටැංකිය ළඟට ගෙන ගොස්‌ අසල්වැසි නිවසකින් ඉල්ලාගත් ප්ලාස්‌ටික්‌ පුටු දෙකකින් එකක පියාව වාඩි කරවා. පොලිතින් බටයක්‌ තුවාල වූ කකුලට ඇතුළු කර පුංචි දරුවෙකු වැඩිහිටියෙකු ලෙස මේ පුංචි පුතා තම පියා නාවයි. මනම්පිටිය සිංහල මහ විදුහලෙන් උගත් ගුණ ධර්ම තමයි මේවා. මගේ පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. දුවල දෙන්නත් ඉගෙන ගන්න දක්‍ෂයි. පුතා තමයි මාව වැසිකිලි එක්‌ක යන්නේ. නාවන්නෙ සේරම. මේ පුංචි අත් දෙකෙන් තමයි කෙරෙන්නේ මහත්තයෝ. සුනිල් ශාන්තගේ ගලායන කඳුළු ඇඟ පිසදමන ගමන් ආක්‌ෂාන් පුතා තුවායෙන් පිස දමයි. මේ උදවිය පත්වී සිටින අසීරුතාවය ගැන අලුතින් ප්‍රශ්න කර දැන ගැනීමේ අවශ්‍යතාවක්‌ නොමැත. ගෙමිදුලට ගොඩවූ විට එය පැහැදිලි වන නමුත් රාමයියා දේවිකා තම අපහසුතාවයන් ගැන අපිට කියා සිටියාය. අපි මනම්පිටිය ගඩොල් කපලා ජීවත් උනේ. මහත්තයා අසනීප උනාට පස්‌සේ මම තනියම ගඩොල් කපන්න යනවා. ගොයම් වැඩ කාලෙට කුලියට යනවා. පුතා ඉස්‌කෝලෙ ඇරිලා ඇවිත් තාත්තා නාවලා ඉස්‌කෝලෙ වැඩ ඉවර කරලා මාව එක්‌ක යන්න එනවා. ඇවිත් මට උදව් වෙනවා. දුවලා දෙන්නත් ඉස්‌කෝලෙ වැඩ කරලා ගෙදර තියෙන වැඩටික කරනවා. දැන් සතියක්‌ ගානේ මෙයාව පොලොන්නරුවට ක්‌ලිනික්‌ අරන් යන්න ඕනෑ. ඒකට ලොකු වියදමක්‌ යනවා. උදේට කන්න දෙයක්‌ නැති උනාම එදාට දරුවෝ ඉස්‌කෝලෙ යන්නේ නෑ. වනජීවී එකෙන් ආධාරයක්‌ උපකාරයක්‌ කරනවා කිව්වා. ඒත් තවම නැහැ.

දේවිකාගේ කථාව නිමාවට පෙර සුනිල් තම හඬ අවදි කළේය. අලියා තිරිසන් සතෙක්‌ කියලා කිව්වත් ඌ බුද්ධිමත් සතෙක්‌ කියලා මං කියනවා. එදා අපි දෙන්නම මරන්න අවස්‌ථාව තිබුණා. නමුත් අලියා අපි කීව දුක්‌ අෙ¹aනාව තේරුම් අරගෙනද කොහේද දරුවො තුන්දෙනාට අපි දෙන්නා ඉතුරු කළා. මගෙ කකුල කැඩුනෙ ඌ පොළවට ගහපු පාර, පොළවේ වැදිලා ආව නිසා. කෙලින්ම කකුලට ගැහුව නම් කකුල කුඩුවෙනවා. ඊට පස්‌සෙත් කීප සැරයක්‌ අලි ඇවිත් ගියා. අපි නිශ්ශබ්දව අපේ පාඩුවේ හිටියම උන් යනවා. එදා අලියා එලෙව්වට අපි එයාට හිරිහැර කළේ නෑ. පිටිපස්‌සේ තියෙන කරන්ට්‌ වැටේ වැදිලා කේන්තියෙන් තමයි අපි පස්‌සේ ඇවිත් තියෙන්නේ. අලියෙකුට වෙඩිතියලා හරි කෝච්චියෙ හැපිලා මැරිලා කියල හරි ප්‍රවෘත්තියක්‌ ඇහෙනකොට අද මගේ ඇස්‌ දෙකට කඳුළු එනවා. උන් අහිංසක සත්තු මහත්තයො. අපි උන්ගෙ ඉඩම් අල්ලගෙන පදිංචි උනා. අද උන්ට යන්න තැනක්‌ නෑ. මට දැන් අවුරුදු තිස්‌ හයයි. මේ ජීවිතේට මං කවදාවත් පව් කරලා නෑ. ඒ නිසා එදා මං බේරුණා. ඉක්‌මනට සනීප වෙලා දරුවන්ට උගන්න ගන්න එක තමයි දැන් මගේ අරමුණ."

සුනිල්ගේ ගත වාරු නැතත් සිත සවිමත්ය. පුංචි උන් වුවත් දරු පැටවුන් රටටම ආදර්ශයක්‌ය.

ගඩොල් කැපීම සහ වැලිගොඩ දැමීම ජීවන වෘත්තිය කරගත් නමක්‌ නැති ගමේ ගම්වැසියෝ එකා දෙන්නා තම පැල්පත්වලට ඇදෙනු පෙනෙයි. කුප්පි ලාම්පු එළියෙන් ආලෝකවත්වූ සුනිල්ගේ පැල්පතෙන් ආක්‌ෂාන් පුතාගේ පෙළ පොතේ කවි පේලියක්‌ ලයාන්විතව ඇසෙයි. අපි ගොම්මන් අඳුරේ නමක්‌ නැති ගමෙන් පිටත් වුනෙමු.

ප්‍රසන්න සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.