හෙට හිරු නැගෙන බව කරු කියයි
* දවස්‌ සීයකින් ජය අරගෙන පෙන්වනවා

ප්‍රශ්නය- ඔබට නායකත්ව මණ්‌ඩලයේ සභාපතිත්වය ලැබුණත් එය එජාප අර්බුදය සමනය කරන්න සමත් වූ බවක්‌ පෙනෙන්නට නෑ.

පිළිතුර - නෑ....... එහෙම එකක්‌ නෑ........ එජාපයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානතම තැන වෙන්නේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයයි. එය ඒකමතිකව මෙය සම්මත කළා. අනිත් කාරණය මේක මම ඉල්ලා ගත්ත දෙයක්‌ වත් යෝජනා කළ දෙයක්‌ වත් නොවෙයි. මට අඬගහලා දුන්න දෙයක්‌. මම ඒ මොහොතෙත් කීවේ මට වඩා මේක දෙන්න සුදුසු කෙනෙක්‌ ඉන්නවනම් එයාට දෙන්න කියලා. ගරුතර ස්‌වාමීන් වහන්සේලා පවා යෝජනා කළේ මගේ නම.

ප්‍රශ්නය - ඒක තමයි අපි ඔබෙන් අහන්නේ, එහෙම යෝජනා වුණාට ඊට විරෝධයක්‌ ගොඩ නැඟී ඇති බවක්‌ පේනවා.

පිළිතුර -ඒක විරෝධය පාන අයගෙන් තමයි අහන්න ඕන. සමහරු යම් යම් මත ගොඩනගන්න හදනවා. විවිධ බොරු ප්‍රචාර කරමින් ද්වේෂ සහගත ප්‍රචාරයන් ගෙන යමින් ඔවුන් ක්‍රියාත්මක කරනවා. මම විශ්වාස කරන්නේ මෙහෙම කරන කිසිවෙක්‌ එජාපයට ආදරය කරන අයනම් නෙවෙයි. ඒ සියල්ල පටු අරමුණු මුදුන් පමුණුවා ගන්න ගෙන යන ක්‍රියාදාමයන්.

ප්‍රශ්නය - අපි දැක්‌කා මේ නායකත්ව මණ්‌ඩල කතා බහ ආරම්භයේදීම එය මේ මේ ආකාරයේ ව්‍යqහයක්‌ විය යුතුයි යෑයි යම් යම් එකඟතාවන් ඇති වුණා. රනිල්, සජිත්, කරු ඒ එකඟතා ගැන සාකච්ඡාවේදී නිතර ඇසුනු නම්. දැන් මේ නායකත්ව මණ්‌ඩලය පිහිටුවා තිබෙන්නේ ඒ එකඟතා අනුවද?

පිළිතුර - නියත වශයෙන්ම ඔව්.... එජාපයේ අර්බුද පැවැති වකවානුවේ එජාප පාක්‌ෂිකයන් තුළ පමණක්‌ නොවේ සියලු ආගමික නායකයන් තුළත්, පිළිගත් වෘත්තිකයන් - විද්වතුන් තුළ පවා එය දැඩි කම්පනයක්‌ ඇති කළා. මේක රටට නිදහස ලබා දුන් පක්‌ෂය, රටේ දැවැන්තම පක්‌ෂය ඒ නිසා පක්‌ෂය ආරක්‌ෂා කරගත යුතුයි. කියන තැනයි ඒ අය සිටියේ. ඒ නිසයි මහ නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා මත මහා සංඝරත්නය මේකට මැදිහත් වුණේ.

මේ අහිංසක උත්සාහය තුළ අටවැදැරුම් යෝජනාවලියක්‌ එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් ඉදිරිපත් කළේ. ඒ අටවැදෑරුම් යෝජනාවලිය මාස ගණනක්‌ සාකච්ඡා කරලා අපි කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට ඉදිරිපත් කළා. එය තමයි පසුගියදා සම්මත වුණේ.

ප්‍රශ්නය - යෝජනාවලියට අවසන් මොහොතේ තවත් කරුණු එකතු වුණා කියලත් කතාවක්‌ තියෙනවා.

පිළිතුර - කෘත්‍යාධිකාරි මණ්‌ඩලය රැස්‌වෙන්න පැය 24 කට කලින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක්‌ පරිදි එක්‌සත් භික්‍ෂු පෙරමුණ, මට දැනුම් දුන්නා සාකච්ඡාවක්‌ කරන්න තියෙන නිසා ඒකට එන්න කියලා. ඒ අනුව කුරුණෑගල අශෝක්‌ අබේසිංහ මන්ත්‍රීතුමාගේ නිවසේදී අදාළ සාකච්ඡා කළා. ඊට සජිත් ප්‍රෙAමදාස මහතාත් සහභාගි වුණා. එතැනදී තවත් යෝජනා තුනක්‌ ගැන කතා බහ කළා. නමුත් ඒක එක්‌සත් භික්‍ෂු පෙරමුණ සමග ඇතිකරගත් එකඟතාවල තිබුණු යෝජනාවලට අදාළ නෑ. ඒ යෝජනා ගැන පසුව සාකච්ඡා කරන තැන තමයි තිබ්බේ. මොකද අටවැදෑරුම් යෝජනාවලියට අමතරව පැය 24 කට කලින් ගේන යෝජනා එහෙම සම්මත කරගන්න බෑ.

ප්‍රශ්නය - ඒ එකඟතාවලට අනුව කටයුතු කළා නම් ඇයි සජිත්, තලතා මේ නායකත්ව මණ්‌ඩලයෙන් ඉවත් වෙන්නේ.

පිළිතුර - ඒක ඇත්තටම අහන්න ඕන ඒ අයගෙන්. එජාපයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ගන්න තීන්දු අනුව සියලු දේ වුණා. ඒ අයට වුවමනා වුණේ අනිත් යෝජනා තුනත් එදාම සම්මත කර ගන්න.

ප්‍රශ්නය - නමුත් භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ම කියනවා, උන්වහන්සේලා සමග ඇති කරගත් එකඟතාවට පිටින් ඔබ කටයුතු කළා කියලා.

පිළිතුර - එහෙම නොවුණා කියලා ඔප්පු කරන්න පුළුවන් ඒ එකඟතා වල පිටපත් අරගෙන ආවොත්. අනික එදා පැය 24 කට කලින් තිබ්බ සාකච්ඡාවේදී මමත් සජිත් ප්‍රේමදාස මහතාත් අත් අකුරින් ලියපු ලියවිල්ලකට අත්සන් කළා. හැබැයි ඒ අත්සන් කරපු ලියවිල්ල පසු දින වනවිට ඇතැම් මාධ්‍යවලට නිකුත් කර තිබුණා. මෙයට පෙරත් එවැනි ලිපි හුවමාරු වූ අවස්‌ථා තිබෙනවා. හැබැයි ඒ එක මොහොතකවත් මම හෝ එක්‌සත් භික්‌ෂු පෙරමුණ එහෙම මාධ්‍යවලට ඒ ලිපි නිකුත් කළේ නෑ.

ප්‍රශ්නය - එම යෝජනා වලියේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය පවා වෙනස්‌ කරන්න බලයක්‌ තිබෙනවා යෑයි සඳහන්ද.

පිළිතුර - ඔව්....... තියෙනවා. ඔන්න ඕක තමයි වරද්දාගෙන තියෙන්නේ. එක්‌සත් භික්‌ෂු පෙරමුණේ භික්‌ෂුන් වහන්සේලා 14 නමක්‌ අතරින් එක්‌ භික්‌ෂුන් වහන්සේ නමක්‌ පමණයි මේ වෙන මතයක්‌ දරන්නේ. ඒක තමයි එක්‌තරා පුවත්පතක්‌ සාවද්‍ය ප්‍රකාශ කරන්නේ මුලින් තිබුණ ක්‍රමවේදයට අනුව නෙවෙයි දැන් වැඩ කරන්නේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය පත් කරන්නේ. අපි. සංවිධානය හෝ අපේක්‌ෂක හෝ පත් කරන්නේ අපි. සිරිකොත මෙහෙයවන්නේ අපි.

මං ඔබතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලීමක්‌ කරනවා. එක්‌තරා පුවත්පතක සඳහන් කරුණු ඇසුරින් ප්‍රශ්න අහන්න එපා කියලා. මොකද ඒ සියල්ල සාවද්‍යයි.

ප්‍රශ්නය - ඔබත් සජිත් ප්‍රෙAමදාස මහතාත් එකඟතාවකට පැමිණ සිටියා නායකත්ව මණ්‌ඩලයට ඔබතුමා දෙන්නෙක්‌ පත්කරන්න.

පිළිතුර - (ප්‍රශ්නය අසා නිමවීමට පෙර) ඒ දෙවැනි යෝජනාව......... මේක පටලවගෙන ඉන්නේ.

ප්‍රශ්නය - ඒත් භික්‌ෂුන් වහන්සේලා කියලා තිබුණා කිහිප දෙනෙක්‌ යෝජනා කරන්නේ උන්වහන්සේලා කියලා.

පිළිතුර - නෑ......... පස්‌සේ ඒක අයින් කර ගත්තා. දේශපාලන පක්‌ෂයක එහෙම කරන්න බැරි නිසා.... මේක පටලවාගෙන ඉන්නේ. පළමු යෝජනාව සහ දෙවැන්න අතර පටලැවිල්ලක්‌. මම මේ සද්භාවයෙන් කියන්නේ. මම අර මුලින් කිව්ව කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමට පෙර සාකච්ඡා කළ යෝජනා තුන හා අටවැදෑරුම් යෝජනාවලිය තමයි ඔය පටලවාගෙන ඉන්නේ. ස්‌වාමීන් වහන්සේලා මුලින් නම් තුනක්‌ යෝජනා කළා. නම් තුන තමයි මමත් සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක මහත්වරුන්. ඊළඟට ප්‍රධාන නිල තුනත් මහ ලේකම්, සභාපති හා මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ලේකම් වශයෙන් යෝජනා වුණා. ඊළඟට තවත් නම් තුනක්‌ ඉතිරිවෙලා තිබුණා. තලතා අතුකෝරල මහත්මිය, ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා රුවන් විඡේවර්ධන ඒ ඉතිරි අය වෙනුවෙන් නම් කළා.

ඇත්තටම දැන් මේ අනවශ්‍ය ප්‍රශ්නයක්‌ ඇදගෙන යන්නේ. දැන් ඇත්තටම කතා කරන්න ඕනේ මේවා නොවෙයි ඉස්‌සරහට කරන වැඩ ගැනයි.

ප්‍රශ්නය - නමුත් දැන් මෙතන නැවතත් තීරණ ගැනීමේ බලය එක්‌ අයකුට ගොනුවෙන ආකාරයේ පත්වීම් කරලා කියලයි චෝදනාව තියෙන්නේ.

පිළිතුර - නෑ.... එහෙම වුණොත් මම සභාපතිකමේ ඉන්නෙත් නෑ. මම වගකීමෙන් කියන්නේ, සභාපති පුටුවේ ඉන්නකම් එහෙම කල්ලිවාදයකට මම ඉඩ දෙන්නේ නෑ. මම මේක බාරගත්තෙත් ඒක කියලා. දැන් එජාපයේ කල්ලිවාදය අවසන් විය යුතුයි. එජාපයේ විනාශයට හේතුව කල්ලිවාදයයි.

ප්‍රශ්නය - දැන් ඊළඟ මැතිවරණයකදී එජාපයේ යම් පසුබෑමක්‌ වුණොත් ඔබ එහි වගකීම බාරගන්නවාද?

පිළිතුර - ජයග්‍රහණ හිමි වුණොත් එහි ගෞරවය මගේ කණ්‌ඩායමට හිමි දෙයක්‌. ඊළඟට අපි පරාජය ගැන බලාපොරොත්තුවක්‌ නෑ. අපි සුබවාදීව හිතනවා.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයකදී ප්‍රශ්නයක්‌ එන්න පුළුවන්, කවුද ජනාධිපති අපේක්‍ෂකයා කියලා. එතැනදී ඔබද නායකයා වෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාද?

පිළිතුර - කල්පිතයක්‌ මත නැගෙන ප්‍රශ්නයකට පිළිතුරු දීමේ අවශ්‍යතාවක්‌ නෑ. එවැනි තත්ත්වයක්‌ පැන නැගුණොත් එයට ඒ මොහොතේ ක්‍රියාත්මක විය යුතුයි.

ප්‍රශ්නය - නෑ.... අපි ඇහුවේ නායකයා කවුද කියලා...

පිළිතුර - ඒ මොහොතේ සුදුසු කෙනෙක්‌ තෝරයි.

ප්‍රශ්නය - කොහොම නමුත් අවසාන විග්‍රහය හැටියට සමාජගත වෙලා තියෙන්නේ "කරු ගේමක්‌ ගැහුවා" එහෙම නැත්නම් කරු පාවා දුන්නා කියලයි... මේක සාධාරණීකරණය කරන්නේ කොහොමද?

පිළිතුර - පළමු කාරණය මම "ගේම්" කාරයෙක්‌ නොවෙයි... හිතට එකඟව තීන්දු තීරණ ගන්න කෙනෙක්‌. ප්‍රතිපත්තිගරුක කෙනෙක්‌. මේක ගේමක්‌ද? සද්භාවයෙන් ක්‍රියාකිරීමක්‌ද කියන එක ඉදිරි කාලයේ අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වනවා. අපේ සටන ජනතාව පෙළන ආණ්‌ඩුවට එරෙහිව මිසක්‌, පක්‍ෂයේ බලතල ගන්න නොවෙයි.

ප්‍රශ්නය - නායකත්ව මණ්‌ඩලය යටතේ ඉදිරි සැලසුම් පෙළගැහෙන්නේ කොහොමද?

පිළිතුර - දින තුනක්‌ පමණ කාලයක්‌ තවමත් ගතවෙලා තියෙන්නේ, නායකත්වය මණ්‌ඩලය පත්වෙලා. අපි දින 100 ක කඩිනම් වැඩපිළිවෙළක්‌ යටතේ ඉදිරි ඡන්දයට සූදානම් වෙනවා. අපි ජය අරගෙන පෙන්වනවා අපිට සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ තියෙනවා. 24 වැනිදා නිල වශයෙන් වැඩ භාරගත් පසුව අපි එය රටට ඉදිරිපත් කරනවා.

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ සහ එරික්‌ ගාමිණී ජිනප්‍රිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.